පැතුම්, සොහාන් සහ දිලුම් දක්ෂතා දක්වයි

National Super League 4 day Tournament 2025

52
National Super League 4 day Tournament 2025

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ සිව් වැනි සතියේ පළමු දිනය වූ අද (03) දිනයේ කැපී පෙණෙන ක්‍රීඩකයන් බවට පත් වීමට පැතුම් නිස්සංක, සොහාන් ද ලිවේරා සහ දිලුම් සුදීර සමත් වුනා.

මේ අතර ගාල්ල කණ්ඩායමේ නායක රමේෂ් මෙන්ඩිස් අද තම පළමු පෙළ තරග දිවියේ කඩුලු 300 කඩඉමට පිවිසීමට ද සමත් වෙනවා. ඔහු අද ක්‍රීඩා කරන්නේ තම පළමු පෙළ තරග දිවියේ 99 වැනි තරගයටයි.

  • මහනුවර සහ දඹුල්ල අතර තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

මහනුවර කණ්ඩායම

 

පැතුම් නිස්සංක (නායක), ජනිශ්ක පෙරේරා, පවන්ත වීරසිංහ, කසුන් අබේරත්න, අශේන් බණ්ඩාර, සොහාන් ද ලිවේරා (කඩුලු රකින්නා), රවිඳු ප්‍රනාන්දු, අශේන් ඩැනියෙල්, ශිරාන් ප්‍රනාන්දු, සහන් නානායක්කාර සහ ලහිරු කුමාර.

දඹුල්ල කණ්ඩායම

 

ධනංජය ද සිල්වා (නායක), නිශාන් මදුශ්ක, රොන් චන්ද්‍රගුප්ත, දිනුර කළුපහන, සහන් කෝසල, දසුන් ශානක, විශාද් රන්දික (කඩුලු රකින්නා), චමිඳු විජේසිංහ, ලසිත් ඇඹුල්දෙණිය, අකිල ධනංජය සහ දුලාජ් සමුදිත.

කාසියේ වාසිය දිනා ගත් දඹුල්ල කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මහනුවර ක්‍රීඩකයෝ තරගයේ පළමු දිනය වර්ෂාව හේතුවෙන් අතර මඟ දී නතර කරද්දී කඩුලු 4ක් දැවී ලකුණු 322ක් ලබා සිටියා.

එම ඉනිමේ වෙනුවෙන් පැතුම් නිස්සංක සහ සොහාන් ද ලිවේරා ශතක වාර්තා කිරීමට සමත් වීම කැපී පෙණුනා. ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පන්දු 200කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සමඟින් නොදැවී ලකුණු 160ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ 17 වැනි ශතකයයි.

24 වැනි වියේ පසුවෙන වමත් පිතිකරු සොහාන් ද ලිවේරා නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 110ක්. ඔහු මේ වෙද්දී පන්දු 136කට මුහුණ දී සිටින අතර හතරේ පහර 12ක් තම ඉනිමට එක් කර ගන්නවා. මෙය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ 5 වැනි ශතකයයි.

ඔවුන් දෙදෙනා එක් ව මේ වන විට පන්දු 237කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 198ක සබඳතාවක් මහනුවර කණ්ඩායමට එක් කර තිබෙනවා. ඔවුන් මෙම ගමන ආරම්භ කරන්නේ කඩුලු 4ක් ලකුණු 35කට අහිමි වූ පසුව එක් වෙමිනුයි.

කඩුලු දවා ගැනීමේ දී අකිල ධනංජය කඩුලු 3ක් ද සහ දිනුර කළුපහන කඩුල්ලක් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • මහනුවර – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 322 (71.0)පැතුම් නිස්සංක නොදැවී 160, පවන්ත වීරසිංහ 20, සොහාන් ද ලිවේරා නොදැවී 110, අකිල ධනංජය 3/102

මෙම තරගය හෙට (04) 2 වැනි දිනයටත් ක්‍රියාත්මකයි.

  • ගාල්ල සහ යාපනය අතර තරගය සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

ගාල්ල කණ්ඩායම

 

රමේෂ් මෙන්ඩිස් (නායක), ඕෂද ප්‍රනාන්දු, නිපුන් ධනංජය, දිනේෂ් චන්දිමාල්, ක්‍රිශාන් සංජුල (කඩුලු රකින්නා), අවිශ්ක පෙරේරා, දුනිත් වෙල්ලාලගේ, නිසල තාරක, දිලුම් සුදීර, නිම්සර අතරගල්ල සහ උදිත් මදුශාන්.

යාපනය කණ්ඩායම

 

ජනිත් ලියනගේ (නායක), රවිඳු රසාන්ත, ‍ශෙවෝන් ඩැනියෙල්, තනුක දාබරේ, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල (කඩුලු රකින්නා), චාමික කරුණාරත්න, නිමේෂ් විමුක්ති, ජෙෆ්රි වැන්ඩර්සේ, සිතුම් දිසානායක සහ අසංක මනෝජ්.

කාසියේ වාසිය දිනූ ගාල්ල කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි යාපනය ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 305ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ගාල්ල ක්‍රීඩකයෝ තරගය පළමු දිනයට තරගය නරත කරන විට තම  පළමු ඉනිමට කඩුල්ලක් දැවී ලකුණු 35ක් ලබා සිටියා.

පළමුවෙන් පන්දුවට පහර දුන් යාපනය කණ්ඩායම වෙනුවෙන් 2 වැනි කඩුල්ලට පන්දු 151ක දී ලකුණු 134ක සබඳතාවක් ගොඩ නැගීමට ශෙවෝන් ඩැනියෙල් සහ තනුක දාබරේ සමත් වුනා. ඔවුන් මෙම සබඳතාව ගොඩ නගන්නේ පළමු කඩුල්ල කිසිදු ලකුණක් ලබා නොගනිමින් අහිමි වීමත් සමඟයි.

තනුක දාබරේ පන්දු 80කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 81ක් ද සහ ශෙවෝන් ඩැනියෙල් පන්දු 88කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුනු 56ක් ද ලබා ගත්තා.

ඉන් අනතුරු ව ඇන්ජලෝ මැතිව්ස් ද පන්දු 96කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 52ක් ලබා ගනිමින් යාපනය ඉනිම ශක්තිමත් කළා.

කඩුලු දවා ගැනීමේ දී දිලුම් සුදීර ලකුණු 60කට කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූ අතර දුනිත් වෙල්ලාලගේ, උදිත් මදුශාන්, රමේෂ් මෙන්ඩිස්, නිසල තාරක සහ නිම්සර අතරගල්ල කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ගාලු ඉනිමේ නිපුන් ධනංජය ලකුණු 14කට තම ඉනිම අහිමි කර ගත් අතර, ඕෂද ප්‍රනාන්දු මේ වන විට පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 13ක් ලබා ගෙන පිටියේ රැඳී සිටිනවා.

දැවී ගිය කඩුල්ලේ හිමිකාරීත්වය සිතුම් දිසානායක සතු වුනා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • යාපනය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 305 (69.1)ශෙවෝන් ඩැනියෙල් 56, තනුක දාබරේ 81, ඇන්ජලෝ මැතිව්ස් 52, ජනිත් ලියනගේ 28, චාමික කරුණාරත්න 35, දිලුම් සුදීර 5/60
  • ගාල්ල – පළමු ඉනිම කඩුල්ලක් දැවී 35 (6.4)

මෙම තරගය හෙට (04) 2 වැනි දිනයටත් ක්‍රියාත්මකයි.

National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<