Clifford කුසලාන අර්ධ අවසන් පූර්ව තරග අවසන් වෙයි

Matercard Inter Club Clifford Cup Knokout Championship 2025

66

2024/25 Mastercard පිළිමළුන් පිටුදැකීමේ රග්බි ශූරතාවයේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග ගෙවුණු සති අන්තයේ දී ක්‍රියාත්මක වුනා. 

මහනුවර සහ Sri Lions කණ්ඩායම් අතර 

අපරාජිත ව ලීග් ශූරතාව ජයග්‍රහණය කිරීමෙන් පසුව මෙම සති අන්තයේ පළමු අවසන් පූර්ව තරගයට සහභාගී වූ මහනුවර ක්‍රීඩකයින් තවදුරටත් තම අපරාජිත බව රැක ගැනීමට මෙහි දී සමත් වුනා. 

තරගයේ පළමු අර්ධයේ පටන් ම ඉතා පහසුවෙන් ලකුණු රැස් කරමින් තරගයේ පෙරමුණට පැමිණි මහනුවර ක්‍රීඩකයින් පළමු අර්ධය නිමා වන විට ලකුණු 17ක් ලබා ගැනීමට සමත් වී තිබුණේ, Sri Lions ක්‍රීඩකයින්ට ලකුණු 05ක් පමණක් ලබා ගැනීමට ඉඩ ලබා දෙන අතරේදියි. 

තරගයේ දෙවැනි අර්ධය තුළ මහනුවර ක්‍රීඩකයින් තවත් උත්සාහක දිනුම් හතරක් සමඟ ලකුණු 24ක් ලබා ගැනීමට සමත් වූ අතර, Sri Lions ක්‍රීඩකයින් මෙම අර්ධය තුළ ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 03ක් පමණයි. 

මහනුවර 41 (7T, 3C) – Sri Lions 08 (1T, 1P) 

  • තරගයේ වීරයා දිලුක්ෂ දන්ගේ (මහනුවර) 

CH & FC සහ ගුවන් හමුදාව 

තරගාවලියේ දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය ලෙස ක්‍රියාත්මක වූ මෙම තරගයේ දී ද CH & FC ක්‍රීඩකයින් ඉතා පහසු ජයක් කරා යෑමට සමත් වුනා. 

තරගයේ පළමු අර්ධය තුළ CH & FC ක්‍රීඩකයින් ලකුණු 19ක් ලබා ගැනීමට සමත් වූ අතර, ගුවන් හමුදා ක්‍රීඩකයින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 10ක් පමණයි. 

කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධය ඉතා උණුසුම් මුහුණුවරක් ලබා ගත් අතර, එම කාල සීමාව තුළ දෙපිළ ම කරට කර සටනක නිරත වෙමින් තරග වැදුණා. මේ නිසාම තරගයේ දෙවැනි අර්ධය තුළ වාර්තා වුනේ ලකුණු 03ක් පමණක් වූ අතර, එම ලකුණු ත්‍රිත්වය CH & FC කණ්ඩායමට හිමි වුනා. 

CH & FC 22 (3T, 2C, 1P) – ගුවන් හමුදාව 10 (1T, 1C, 1P) 

  • තරගයේ වීරයා චරිත් සිල්වා (CH & FC) 

CR & FC සහ පොලිස් ක්‍රීඩා සමාජය 

ගෙවුණු සති අන්තයේ ක්‍රියාත්මක වූ වඩාත් උණුසුම් තරගය ලෙස හඳුන්වාදිය හැකි මෙම තරගයේ පළමු අර්ධය තුළ පොලිසිය පෙරමුණ ගැනීමට සමත් වුනේ ලකුණු 13ක් ලබා ගනිමිනුයි. මේ අතරවාරයේ දී CR & FC ක්‍රීඩකයින් විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 07ක් පමණයි. 

කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධය තුළ ඉතා විශිෂ්ට ක්‍රීඩා රටාවක් සමඟ තරගයට අවතීර්ණ වූ CR & FC කණ්ඩායම උත්සාහක දිනුම් ත්‍රිත්වයක් සමඟ ලකුණු 24ක් ලබා ගැනීමට සමත් වූ නමුත්, පොලිස් ක්‍රීඩකයින් විසින් මෙම අර්ධය තුළ ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 07ක් පමණයි. අනුව CR & FC කණ්ඩායම මෙම තරගයෙන් ජය ලබා ගැනීමට සමත් වුනා. 

CR & FC 31 (4T, 4C, 1P) – පොලිස් ක්‍රීඩා සමාජය 20 (2T, 2C, 2P) 

  • තරගයේ වීරයා මුර්ශීඩ් දොරේ (CR & FC) 

Havelock සහ යුද හමුදාව අතර 

තරගාවලියේ සිව්වැනි අර්ධ අවසන් පූර්ව තරගය වූ මෙම තරගයෙන් Havelock ක්‍රීඩකයින් ඉතා පහසු ජයක් ලබා ගැනීමට සමත් වුනා. 

තරගයේ පළමු අර්ධය තුළ Havelock කණ්ඩායම උත්සාහක දිනුම් 04ක් සමඟ ලකුණු 26ක් ලබා ගන්නා අතරේ යුද හමුදා ක්‍රීඩකයින් ලකුණු 11ක් ලබා ගැනීමට සමත් වුනා. 

තරගයේ දෙවැනි අර්ධය තුළ Havelock ක්‍රීඩකයින් තවත් ලකුණු 14ක් ලබා ගැනීමට සමත් වූ අතර, යුද හමුදාව පාර්ශවයෙන් වාර්තා වුනේ ලකුණු 07ක් පමණයි. 

Havelock 40 (6T, 5C) – යුද හමුදාව 18 (2T, 1C, 2P) 

  • තරගයේ වීරයා සුදේශ් ජයවික්‍රම (Havelock ක්‍රීඩා සමාජය) 

දිනෙන් දින උණුසුම් වන දේශීය රග්බි පිටියේ නැවුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<