T20 තරගාවලිය 1-1ක් ලෙසින් සම වෙයි

Sri Lanka Women tour of New Zealand

58
Sri Lanka women's Tour of New Zealand - 3rd T20

සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර තරග 3කින් සමන්විත වූ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 1-1ක් ලෙසින් සම වෙමින් අද (18) නිමා වූවා.

දෙරට අතර අද Dunedin හී University Oval ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණා. ඒ වෙද්දී තරගයේ ක්‍රියාත්මක ව තිබුණේ පන්දුවාර 14.1ක් පමණයි.

අද තරගයේ දී ශ්‍රී ලංකාව සහභාගී වෙන්නේ වෙනස්කම් 3ක් සහිතවයි. ඒ අනුව පෙර තරගයට ක්‍රීඩා කළ විශ්මි ගුණරත්න, නිලක්ෂිකා සිල්වා සහ අචිනි කුලසූරිය වෙනුවට ඉමේෂා දුලානි, රශ්මිකා සෙව්වන්දි සහ කෞෂිනි නුත්‍යාංගනා එක් කර තිබුණා.

නවසීලන්ත කණ්ඩායමේ එක් වෙනස්කමක් කර තිබූ අතර ඒ අනුව පෙර තරගයට ක්‍රීඩා කළ Jess Kerr වෙනුවට 26 වැනි වියේ පසුවෙන දකුණතින් මඳවේග පන්දු යවන Rosemary Mair එක් කර තිබුණා.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම

චමරි අතපත්තු (නායිකාව), හර්ෂිතා සමරවික්‍රම, කවීෂා දිල්හාරි, රශ්මිකා සෙව්වන්දි, කෞෂිනී නුත්‍යාංගනා, අනුශ්කා සංජීවනී (කඩුලු රකින්නිය),  සුගන්දිකා කුමාරි, මල්කි මදාරා, මනුදි නානායක්කාර, ඉනෝෂි ප්‍රියදර්ශනී, ඉමේෂා දුලානි.

නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම

Suzie Bates (නායිකාව), Georgia Plimmer, Emma McLeod, Brooke Halliday, Izzy Sharp, Maddy Green, Flora Devonshire, Polly Inglis (කඩුලු රකින්නිය), Rosemary Mair, Eden Carson, Bree Illing

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායිකාව පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව සත්කාරක කණ්ඩායම සතු කළ අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් වර්ෂාව හේතුවෙන් තරග නතර කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 101ක් ලබා සිටියා.

ඉනිම ආරම්භ කළ Suzie Bates සහ Georgia Plimmer එක් ව පළමු කඩුල්ලට පන්දු 50ක් තුළ ලකුණු 60ක සබඳතාවක් එක් කරමින් තරගයට හොඳ ප්‍රවිශ්ඨයක් ලබා ගත්තා. එහි දී Suzie Bates පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් 31ක් ලබා ගනිමින් පළමු කඩුල්ල ලෙසින් දැවී යනවා.

ඇය ගේ දැවී යෑමත් සමඟින් යැවුණ පන්දු 15ක් තුළ තවත් කඩුලු 2ක් දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වුනා.

අනතුරු ව වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට ආරම්භක පිතිකාරිනී Georgia Plimmer පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 46ක් ද සහ Izzy Sharp පන්දු 14කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 17ක් ද ලබා සිටියා.

ඔවුන් දෙදෙනා සිව් වැනි කඩුල්ල වෙනුවෙන් නොදැවී එක් කළ ලකුණු 27ට වැය කර තිබුණේ පන්දු 20ක් පමණයි.

කඩුලු දවා ගැනීමේ දී චමරි අතපත්තු, කවීෂා දිල්හාරි සහ ඉනෝෂි ප්‍රියදර්ශනී කඩුල්ල බැගින් බෙදා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 3ක් දැවී 101 (14.1) Suzie Bates 31, Georgia Plimmer නොදැවී 46, Izzy Sharp නොදැවී 17, චමරි අතපත්තු 1/19

තරගයේ විසඳුමක් නෑ.

  • තරගාවලියේ වීරයා – චමරි අතපත්තු (ශ්‍රී ලංකාව)

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<