ලෙසඳු සහ සදෙව් නව 20න් පහළ ජාතික වාර්තා දෙකක් කරා

National Athletics Selection Segment 2 - 2025

14

ජාතික මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේ දෙවැනි අදියරේ තරග ඉසව් ඊයේ (09) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී සාර්ථකව නිමාව දුටුවා. 

තරගාවලියේ දෙවැනි දිනය වූ ඊයේ දිනයේ දී සුමේධ රණසිංහ විසින් පිරිමි හෙල්ල විසි කිරීම ඉසව්වෙන් නව ජාතික වාර්තාවක් පිහිටුවීමට සමත් වීම විශේෂ අවධානයක් දිනාගත්තා. 

සුමේධ මේ සමඟින් මෙම වසරේ හෙල්ල විසි කීරීමේ ඉසව්වේ ලොව හොඳම දක්ෂතාව ප්‍රදර්ශනය කරමින් ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා. 

මීට අමතරව පිරිමි උස පැනීම ඉසව්ව නියෝජනය කළ ලෙසඳු අර්තවිදු විසින් මීටර් 2.22 උසක් තරණය කරමින් නව 20න් පහළ ජාතික වාර්තාවක් පිහිටුවීමට සමත් වුනා. 

මේ අතර පිරිමි මීටර් 200 ඉසව්ව නියෝජනය කළ වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලයේ සදෙව් රාජකරුණා විසින් තත්පර 21.08 කාලයකින් තරගය නිමා කරමින් එහි දෙවැනි ස්ථානයට පත් වුනා. මෙය නව 20න් පහළ ජාතික වාර්තාවක් ලෙස සටහන් වුනා. එම ඉසව්වේ ජය තත්පර 20.77කින් තරගය නිමා කළ කාලිංග කුමාරගේ හට හිමි වුනා. 

මීට අමතරව ඊයේ පැවැත්වුණු ඉසව්වල දී පිරිමි මීටර් 110 කඩුලු පැන දිවීම ඉසව්ව ජය ගැනීමට නදුන් කවීශ බණ්ඩාර සමත් වූ අතර, මීටර් 100 කඩුලු පැන දීවීම කාන්තා ඉසව්වේ ජය H.W.K. හපුආරච්චි හට හිමි වුනා. 

මේ අතර කාන්තා දුර පැනීම ඉසව්ව ජය ගත් මදුශානි හේරත් විසින් කාන්තා තුන් පිම්ම ඉසව්ව ද පහසුවෙන් ජයග්‍රහණය කිරීමට සමත් වුනා. කාන්තා මීටර් 800 ඉසව්වේ ජය W.K.L.A.නිමාලි හට හිමි වූ අතර, කාන්තා මීටර් 400 කඩුලු පැන දිවීම ඉසව්ව ජය ගැනීමට K.H.A.D. කෞශල්‍යා සමත් වුනා. 

පිරිමි මීටර් 400 කඩුලු පැන දිවීම ඉසව්වේ ජය තත්පර 51.33කින් තරගය නිමා කළ අයෝමාල් අකලංක හට හිමි වුනා. කාන්තා මීටර් 200 ඉසව්ව ජය ගැනීමට A.W.G.J. විජේතුංග විසින් විසින් සමත් වුනා. 

දේශීය මලල ක්‍රීඩාවේ උණුසුම් තතු විත්ති නිරන්තරයෙන් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>>තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<