මහනුවර ගිලිහුණු කිරුළ නැවත හිමි කර ගනී!

Matercard A Division Inter Club Rugby 2024/25

12

2024/25 Mastercard A කොටසේ රග්බි ලීග් තරගාවලියේ දහතුන් වැනි සතියට අදාළ තරග ගෙවුණු සති අන්තයේ දී ක්‍රියාත්මක වුනා. 

යුද හමුදාව සහ CH & FC  

ලීගයේ පලඟ ශූරතාව වෙනුවෙන් ක්‍රියාත්මක වූ මෙම තරගයෙන් පහසු ජයක් ලබාගැනීමට CH & FC කණ්ඩායම සමත් වුනා. 

තරගයේ පළමු අර්ධය තුළ ම CH & FC ක්‍රීඩකයින් තම ආධිපත්‍ය පතුරවාලීමට සමත් වූ අතර, මෙහි දී ඔවුන් උත්සාහක දිනුම් 4ක් සමඟ ලකුණු 26ක් ලබා ගැනීමට සමත් වූ අතර, යුද හමුදාව ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 07ක් පමණයි. 

තරගයේ දෙවැනි අර්ධය තුළ CH & FC ක්‍රීඩකයින් තවත් ලකුණු 07ක් ලබා ගැනීමට සමත් වුනත්, යුද හමුදාව එකදු ලකුණක් හෝ ලබා ගැනීමට සමත් වුනේ නැහැ. 

  • CH & FC 33 (5T, 4C) – යුද හමුදාව 07 (1T, 1C) 

තරගයේ වීරයා උදේශ් මදුශංක (CH & FC) 

පොලිස් ක්‍රීඩා සමාජය සග නාවික හමුදාව 

පලඟ ශූරතාව වෙනුවෙන් ක්‍රියාත්මක වූ මෙම තරගයෙන් පොලිස් ක්‍රීඩකයින් දැවැන්ත ජයක් ලබා ගැනීමට සමත් වුනා. 

තරගයේ පළමු අර්ධය තුළ පොලිසිය විසින් උත්සාහක දිනුම් පහක් සමඟ ලකුණු 33ක් වාර්තා කර ගැනීමට සමත් වූ අතර, එම කාලය තුළ නාවික හමුදාව ලකුණු 12ක් ලබා ගැනීමට සමත් වුනා. 

තරගයේ දෙවැනි අර්ධය තුළ පොලිසිය විසින් තවත් උත්සාහක දිනුම් 06ක් වාර්තා කරමින් සමස්ත ලකුණු සංඛ්‍යාව 67ක් දක්වා ඉදිරියට රැගෙන යාමට සමත් වූ අතර, මේ කාලය තුළ නාවික හමුදාව ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 07ක් පමණයි. 

  • පොලිසිය 67 (11T, 6C) – නාවික හමුදාව 19 (3T, 2C) 

තරගයේ වීරයා ප්‍රින්ස් චාමර (පොලිස් ක්‍රීඩා සමාජය) 

Havelock සහ ගුවන් හමුදාව 

මේ අතර ගෙවුණු සති අන්තයේ දී ලීගයේ ශූරතාව වෙනුවෙන් ද තරග ද්විත්වයක් ක්‍රියාත්මක වුනා. මේ අතරින් Havelock සහ ගුවන් හමුදාව අතර පැවැත්වුණු තරගය තරමක් තරගකාරී ලෙස ක්‍රියාත්මක වුනා. 

මෙම තරගයේ පළමු අර්ධය තුළ Havelock ක්‍රීඩකයින් ලකුණු 19ක් ලබා ගන්නා අතරේ, ගුවන් හමුදාව පාර්ශවයෙන් ලකුණු 17ක් වා‍ර්තා වුනා. 

කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධය තුළ තරගයට වඩාත් තරගකාරී ලෙස අවතීර්ණ වූ Havelock ක්‍රීඩකයින් තවත් ලකුණු 21ක් වාර්තා කිරීමට සමත් වුනේ තරගයේ ජය තහවුරු කර ගනිමිනුයි. මේ අතරවාරයේ දී ගුවන් හමුදාව ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 05ක් පමණයි. 

  • Havelock 40 (6T, 5C) – ගුවන් හමුදාව 22 (4T, 1C) 

තරගයේ වීරයා ජයතු රාජරත්න (Havelock) 

මහනුවර සහ CR & FC 

ලීගයේ තවත් එක් තරගයක් ක්‍රීඩා කිරීමට ඉතිරිව තිබිය දීම ශූරතාව තහවුරු කර ගැනීමට මහනුවර කණ්ඩායම ඊයේ (09) සමත් වුනා. 

පසුගිය වසරේ දී CR & FC කණ්ඩායම හමුවේ අමිහිරි පරාජයක් ලබමින් රග්බි කිරුළ අහිමි කරගත් මහනුවර ක්‍රීඩකයින්, මෙවර ලීගයේ දී තම අපරාජිත ගමන රැක ගනිමින් ම ශූරතාව තහවුරු කර ගත්තා. 

CR & FC සමඟ ඊයේ පැවැත්වුණු තරගයේ පළමු අර්ධය තුළ මහනුවර ක්‍රීඩකයින් ලකුණු 22ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඔවුන් තම ප්‍රතිවාදීන්ට ලබා දුන්නේ ලකුණු 13ක් පමණයි. 

තරගයේ දෙවැනි අර්ධය තුළ ද මහනුවර ක්‍රීඩකයින් පහසුවෙන් ලකුණු ලබමින් ජය තහවුරු කර ගැනීමට සමත් වුනා. 

එහි දී ඔවුන් තවත් ලකුණු 17ක් ලබා ගැනීමට සමත් වූ අතර, CR & FC ක්‍රීඩකයින් ලකුණු 07ක් ලබා ගැනීමට සමත් වුනා. 

  • මහනුවර 39 (5T, 4C, 2P) – CR & FC 20 (2T, 2C, 2P) 

තරගයේ වීරයා හේශාන් ජැන්සන් (මහනුවර) 

දිනෙන් දින උණුසුම් වන දේශීය රග්බි පිටියේ නැවුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<