Major Club ශූරතාව Bloomfield දිනා ගනී

SLC Major Club 3 Day Tournament

29
SLC Major Club 3 Day Tournament

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ Major Club ක්‍රිකට් තරගාවලියේ ශූරයන් බවට පත් වීමට Bloomfield කණ්ඩායම අද (08) සමත් වෙනවා.

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී NCC කණ්ඩායම සමඟින් සිව් දිනක් පුරා පැවැති අවසන් මහා තරගය විසඳුමකින් තොරව අවසන් වූව ද පළමු ඉනිමේ ලත් ජයග්‍රහණයත් සමඟින් Bloomfield ක්‍රීඩකයෝ මෙම කුසලානයට හිමිකම් කිව්වා.

තරගයේ සිව් වැනි දිනය වූ අද දවස ආරම්භ වෙන්නේ Bloomfield කණ්ඩායම කිසිවෙක් නොදැවී ලකුණු 2ක් ලබා සිටිමිනුයි. ඒ වෙද්දීත් ඔවුන් ප්‍රතිවාදී NCC කණ්ඩායමට වඩා ලකුණු 198ක් ඉදිරියෙන් සිටියා. අද ඔවුන් තරගය නතර කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 242ක් ලබා සිටි අතර ඒ අනුව Bloomfield ක්‍රීඩකයෝ ප්‍රතිවාදීන්ට වඩා ලකුණු 438ක් ඉදිරියෙන් සිටියා.

අද දවසේ දී Bloomfield ඉනිමේ පළමු කඩුල්ල ලෙසින් දැවී යන්නේ සහන් නානායක්කාර. ඔහු දැවී යන විට ලකුණු 6ක් ලබා සිටි අතර ලකුණු පුවරුව දැක වුණේ ලකුණු 9ක් ලෙසයි. පෙර දිනයේ දී ද්විත්ව ශතකයක් වාර්තා කළ රොන් චන්ද්‍රගුප්ත ගේ ඉනිම ලකුණු 4කට සීමා වූ අතර හසිත බෝයගොඩ ට ද ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණු 14ක් පමණයි.

ඒ අනුව Bloomfield 2 වැනි ඉනිමේ පැයක් යෑමට පෙර ලකුණු 41කට කඩුලු 3ක් දැවී යනවා. ඉන් අනතුරු ව අසිත වන්නිනායක සහ කසුන් අබේරත්න එක් ව පන්දු 108කට මුහුණ දෙමින් ලකුණු 53ක සබඳතාවක් එක් කරමින්  Bloomfield ඉනිමට සැනසිලිදායක සබඳතාවක් එක් කරනවා.

කසුන් අබේරත්න පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 31ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් ඉනිමේ සිව් වැනි කඩුල්ලේ සබඳතාව බිඳී යනවා.

අනතුරු ව අසිත වන්නිනායකට එක් වෙන්නේ නායක නිපුන් කරුණානායක. ඔවුන් දෙදෙනා එක් ව තරගය නිමා වන විට 5 වැනි කඩුල්ලට පන්දු 264ක දී නොදැවුණ ලකුණු 148ක් එක් කරනවා.

පළමු ඉනිමේ දී ලකුණු 4කින් තම ශතකය අහිමි කර ගත් අසිත වන්නිනායක 2 වැනි ඉනිමේ දී තම කණ්ඩායමට ශතකයකින් සංග්‍රහ කිරීම කැපී පෙණුනා. තරගය නතර කරන විට අසිත පන්දු 242කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සමඟින් නොදැවී ලකුණු 104ක් ලබා සිටියා. එය ඔහුගේ පළමු පෙළ මංගල ශතකයයි.

නිපුන් කරුණානායක නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 75ක්. ඔහු ඒ වෙනුවෙන් පන්දු 120කට මුහුණ දී සිටි අතර ඊට හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් එක් කර තිබුණා.

Bloomfield 2 වැනි ඉනිම පාලනය කිරීමට NCC නායකයා විසින් පන්දු යවන්නෝ 8 දෙනෙක් කැඳවූව ද ඒ අතුරින් සාර්ථක වූයේ දෙදෙනෙක් පමණයි. ඒ අශේන් ඩැනියෙල් සහ චාමික කරුණාරත්නයි. ඔවුන් දෙදෙනා කඩුලු 2ක් බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Bloomfield – පළමු ඉනිම සියලුම දෙනා දැවී 508 (174.0) හසිත බෝයගොඩ 52, රොන් චන්ද්‍රගුප්ත 237, අසිත වන්නිනායක 96, නිපුන් කරුණානායක 37, ලහිරු මදුශංක 55, ලහිරු කුමාර 6/87, අශේන් ඩැනියෙල් 2/93

 

NCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 312 (85.5) ලහිරු උදාර 145, පැතුම් නිස්සංක 29, කමිල් මිෂාර 40, කවින් බණ්ඩාර 36, ජෙෆ්රි වැන්ඩර්සේ 4/64, රවිඳු ප්‍රනාන්දු 3/84

 

Bloomfield – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 242 (78.0) අසිත වන්නිනායක නොදැවී 104, කසුන් අබේරත්න 31, නිපුන් කරුණානායක නොදැවී 75, අශේන් ඩැනියෙල් 2/42, චාමික කරුණාරත්න 2/18

තරගයේ විසඳුමක් නෑ.

  • අවසන් මහා තරගයේ වීරයා – රොන් චන්ද්‍රගුප්ත (Bloomfield)
  • තරගාවලියේ වීරයා – රවිඳු ප්‍රනාන්දු (Bloomfield)
  • තරගාවලියේ දක්ෂතම පිතිකරු – සහන් කෝසල (Kandy Customs)
  • තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා – දිලුම් සුදීර (Police)

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<