ශ්‍රී ලංකා Mastersලා කොදෙව්වෝ ද පරාජය කරයි

International Masters League 2025

24
international-masters-league-X-west-indies-masters

රටවල් 6ක සුපිරි ක්‍රීඩකයන් සහභාගී වෙන International Masters League ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පැවැති තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 21ක ජයග්‍රහණයක් ලබා ගන්නවා.

 ඉන්දියාවේ Vadodara හී BCA ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ උරගා බැලුණ කාසියේ වාසිය දිනා ගත් බටහිර ඉන්දීය මාස්ටර්ස් කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා Masters කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 173ක් ලබා ගත් අතර  ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් Masters කණ්ඩායම තම පන්දුවාර 20 තුළ කඩුලු 5ක් දැවී ලබා ගත්තේ ලකුණු 152ක් පමණයි.

මෙම ජයග්‍රහණයත් සමඟින් ශ්‍රී ලංකා Masters කණ්ඩායම තවත් තරගයක් තිබිය දී ම අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට වරම් ගැනීමට සමත් වෙනවා.

ශ්‍රී ලංකා Masters කණ්ඩායම

කුමාර් සංගක්කාර (නායක සහ කඩුලු රකින්නා), උපුල් තරංග, ලහිරු තිරිමාන්න, අසේල ගුණරත්න, ජීවන් මෙන්ඩිස්, චින්තක ජයසිංහ, සීක්කුගේ ප්‍රසන්න, ඉසුරු උදාන, චතුරංග ද සිල්වා, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්.

බටහිර ඉන්දීය කොදෙව් Masters කණ්ඩායම

Denesh Ramdin (නායක සහ කඩුලු රකින්නා), Dwayne Smith, Lendl Simmons, Chadwick Walton, Jonathan Carter, Ashley Nurse, Narsingh Deonarine, Fidel Edwards, Jerome Taylor, Tino Best, Sulieman Benn.

සුපුරුදු ලෙසින් උපුල් තරංග සහ කුමාර් සංගක්කාර ඉනිම ආරම්භ කළ ද පළමු කඩුල්ලේ ජීවය රැඳී තිබුණේ පන්දු 3කට පමණයි. උපුල් තරංග ලකුණක් ලබා සිටිය දී දුවද්දී දැවී යෑමකට ලක් වෙමින් පළමු දැවී ගිය පිතිකරු බවට පත් වුනා.

අනතුරු ව ලහිරු තිරිමාන්න පිටියට පිවිසි අතර ඔහු හා එක් වූ කුමාර් සංගක්කාර 2 වැනි කඩුල්ලට ලකුණු 47ක සබඳතාවක් එක් කරනවා. එවර කඩුල්ල අහිමි කර ගන්නේ ලහිරු තිරිමාන්න. ඔහු දැවී යන විට පන්දු 13කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 14ක් ලබා සිටියා.

ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 97ක් වෙද්දී කුමාර් සංගක්කාර ද ඉනිම හැර යනවා. ඒ වෙද්දී ඔහු පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 47ක් ලබා සිටියා. ඔහු සහ අසේල ගුණරත්න අතර ඒ වෙද්දී තෙවැනි කඩුල්ලට එක් ව තිබූ ලකුණු සංඛ්‍යාව 50ක්.

අනතුරු ව පිටියට පිවිසි ජීවන් මෙන්ඩිස් (1), චින්තක ජයසිංහ (0), සීක්කුගේ ප්‍රසන්න (0) සහ ඉසුරු උදාන (6) තම ඉනිම් අඩු ලකුණුවලට සීමා කර ගනිද්දී අසේල ගුණරත්නට සිදු වෙන්නේ තනිව ශ්‍රී ලංකා ඉනිම ගොඩ නැගීමට උර දීමටයි. ඔහු ඉනිමේ 8 වැනි කඩුල්ල ලෙසින් දැවී යන විට පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 7ක සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 64ක් ලබා සිටියා.

ඉනිමේ 9 වැනි කඩුල්ල ලෙසින් සුරංග ලක්මාල් (0) දැවී යන අතර ඉනිම අවසන් වන විට චතුරංග ද සිල්වා පන්දු 8කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 17ක් ලබා සිටියා.

ශ්‍රී ලංකා ඉනිමේ තිදෙනෙක් ම දුවද්දී දැවී යද්දී, කඩුලු දවා ගැනීමේ දී Ashley Nurse ලකුණු 23කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව Tino Best කඩුලු 2ක් ද සහ Jerome Taylor කඩුල්ලක් ද දවා ගත්තා.

ලකුණු 174ක හඹා යන ඉනිමේ ආරම්භක කඩුල්ල ලකුණු 13 දී දැවී ගිය ද 2 වැනි කඩුල්ලේ දී පන්දු 49ක දී ලකුණු 59ක සබඳතාවක් එක් කිරීමට Dwayne Smith සහ  Narsingh Deonarine සමත් වෙනවා.

එම කඩුල්ලේ සබඳතාව නිමා කරමින් Dwayne Smith ලකුණු 50කට දැවී යනවා. ඒ වෙද්දී ඔහු පන්දු 43කට මුහුණ දී සිටි අතර තම ඉනිමට හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් එක් කරගෙන තිබුණා.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරුව ලකුණු 2ක් පමණක් බටහිර ඉන්දීය කොදෙව් ලකුණු පුවරුවට එක් වෙද්දී Narsingh Deonarine දුවද්දී දැවී යෑමකට ගොදුරු වෙමින් පිටියෙන් ඉවත් වෙනවා. ඒ වෙද්දී ඔහු පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 14ක් ලබා සිටියා.

ඒ සමඟින් ශ්‍රී ලංකා Masters ක්‍රීඩකයෝ තරගයේ පාලනය සියතට ගන්නවා. එසේ වූවත් Jonathan Carter එය තරමක් දුරස් කළා. ඔහු පන්දු 10ක දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 17ක් රැස් කළ අතර ඔහු සහ Lendl Simmons එක් ව 4 වැනි කඩුල්ලට ලකුණු 30ක් එක් කරනවා.

එම දැවී යෑමෙන් අනතුරු ව බටහිර ඉන්දීය කොදෙව් ඉනිමේ වේගය අඩාල වෙන අතර නැවතත් ඔවුන් 6 වැනි කඩුල්ලේ දී ජයග්‍රහණය විවර කර ගැනීමට අසාර්ථක උත්සාහයක යෙදෙනවා. එහි දී Lendl Simmons සහ Denesh Ramdin එක් ව ඉනිම අවසන් වන විට නොදැවුණ ලකුණු 30ක සබඳතාවක් ගොඩ නගනවා.

ඒ වෙද්දී Lendl Simmons පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 37ක් ද සහ Denesh Ramdin පන්දු 11කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 15ක් ද ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී ඉසුරු උදාන ලකුණු 15කට කඩුලු 2ක් දවා ගනිමින් දක්ෂතා දක්වන අතර ඊට අමතර ව ජීවන් මෙන්ඩිස් සහ චතුරංග ද සිල්වා කඩුල්ල බැගින් දවා ගන්නවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

ශ්‍රී ලංකා Masters – කඩුලු 9ක් දැවී 173 (20.0) කුමාර් සංගක්කාර 47, අසේල ගුණරත්න 64, චතුරංග ද සිල්වා නොදැවී 17, Tino Best  2/43, Ashley Nurse 3/23

 

බටහිර ඉන්දීය කොදෙව් Masters – කඩුලු 5ක් දැවී 152 (20.0) Dwayne Smith 50, Lendl Simmons නොදැවී 37, Denesh Ramdin නොදැවී 15, ඉසුරු උදාන 2/15

 

ශ්‍රී ලංකා Masters කණ්ඩායමට ලකුණු 21ක ජයක්.

ශ්‍රී ලංකාව මේ වන විට මෙතෙක් සහභාගී වූ තරග 4 නිමා කර තිබෙන්නේ 3-1ක් ලෙසයි. ඒ අනුව ඔවුන් සහභගී වූ මෙම තරගයත් සමඟින් ඕස්ට්‍රේලියාවට එරෙහි ව කඩුලු 3ක ජයක් ද සහ දකුණු අප්‍රිකාවට එරෙහි ව කඩුලු 7ක ජයක් ද සහ ඉන්දියාව වෙතින් ලකුණු 4ක පරාජයක් ලෙසින් ද සේ තරග අවසන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව සහභාගී වෙන මීළඟ තරගය මේ මස 10 වැනිදා එංගලන්තය සමඟින් පැවැත්වීමට නියමිතයි.

International Masters League ක්‍රිකට් තරගාවලියේ සජීවී දසුන් ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව Thepapare හරහා දැල බලා ගැනීමේ අවස්ථාව ද ඔබට හිමි වනවා. ThePapare 1 ( නාලික අංක 62) & ThePapare 1 HD ( නාලිකා අංක 126) ඔස්සේ තරගය සජීවී ව නරඹන්න, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<