Bloomfield 508/10

SLC Major Club 3 Day Tournament

5
SLC Major Club 3 Day Tournament

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දෙවැනි දිනය (6) නිමාවෙද්දී පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි Bloomfield කණ්ඩායම තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 508ක් ලබා ගත්තා.

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමු දිනය නිමා වෙද්දී  Bloomfield කණ්ඩායම කඩුල්ලක් පමණක් දැවී ලකුණු 260ක් ලබා සිටි අතර ඒ වෙද්දී නොදැවී ලකුණු 140ක් ලබා සිටි රොන් චන්ද්‍රගුප්ත අද තම ඉනිම ද්විත්ව ශතකයක් කරා රැගෙන යෑමටත් සහ පෙර දිනයේ නොදැවී ලකුණු 62ක් ලබා සිටි අසිත වන්නිනායක ලකුණු 96ක් දක්වා තම ඉනිම ඉදිරියට ගෙන යෑමටත් සමත් වුනා.

ඔවුන් දෙදෙනා එක් ව පළමු දිනය අවසන් වෙද්දී  2 වැනි කඩුල්ලට නොබිඳුණු ලකුණු 141ක සබඳතාවක් ගොඩ නගා තිබූ අතර අද දිනයේ දී ඊට තවත් ලකුණු 59ක් එක් කරනවා. ඒ අනුව අසිත වන්නිනායක දිනයේ පළමු කඩුල්ල ලෙසින් දැවී යද්දී 2 වැනි කඩුල්ලේ සබඳතාව පන්දු 442කට ලකුණු 200ක් බවට පත් ව තිබුණා.

අසිත තම ඉනිමට පන්දු 225ක් වැය කර තිබූ අතර ඊට හතරේ පහර 13ක් එක් කර තිබුණා. එම ඉනිමේ ඔහුගේ 20ක් වන පළමු පෙළ තරගවලට හොඳම ඉනිම බවට ද පත් වුනා.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව පිටියට පිවිසි කසුන් අබේරත්නට වැඩි වේලාවක් පිටියේ රැඳී සිටිමට හැකි වූයේ නැහැ. ඔහුගේ ඉනිම ලකුණු 4කට සීමා වෙනවා.

අනතුරු ව රොන් සහ නිපුන් කරුණානායක 4 වැනි කඩුල්ලට පන්දු 149ක දී ලකුණු 75ක සබඳතාවක් ද සහ රොන් සහ ලහිරු මදුශංක 5 වැනි කඩුල්ලට පන්දු 174ක දී ලකුණු 94ක් ද එක් කළා.

නායක නිපුන් කරුණාරත්න පන්දු 86කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 37ක් ද සහ ලහිරු මධුශංක පන්දු 91කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 55ක් ද ලබා ගත්තා.

රොන් චන්ද්‍රගුප්ත Bloomfield ඉනිමේ 6 වැනි කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 493කට මුහුණ දෙමින් හතරේ පහර 20ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 237ක් ලබා සිටියා. එය ඔහුගේ 89ක් වන තම පළමු පෙළ තරග දිවියේ මංගල ද්විත්ව ශතකය මෙන් ම ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වුනා.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව ලකුණු 12ක් තුළ ඉතිරි කඩුලු 4 දවා ගැනීමට NCC කණ්ඩායම සමත් වුනා. ඒ අනුව රවිඳු ප්‍රනාන්දු (4), ඉසිත විජේසුන්දර (0), ජෙෆ්රි වැන්ඩර්සේ (9) සහ දුලාජ් සමුදිත (0) තම ඉනිම් අඩු ලකුණුවලට සීමා කර ගත්තා. ඉනිම අවසන් වන විට සහන් නානායක්කාර නොදැවී ලකුණක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී Bloomfield ඉනිමේ දැවී ගිය අවසන් කඩුලු 5 ම දවාගත් ලහිරු කුමාර ඉනිම අවසන් වන විට ලකුණු 87කට කඩුලු 6ක් දවා ගනිමින් කැපී පෙනෙන දක්ෂතා දැක් වූවා. එය ඔහුගේ 61ක් වන පළමු පෙළ තරගවල හොඳම පන්දු යැවීම බවට ද පත් වුනා.

ඊට අමතර ව අශේන් ඩැනියෙල් කඩුලු 2ක් ද සහ අසේල් සිගේරා කඩුල්ලක් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • Bloomfield– පළමු ඉනිම සියලුම දෙනා දැවී 508 (174.0) හසිත බෝයගොඩ 52, රොන් චන්ද්‍රගුප්ත 237, අසිත වන්නිනායක 96, නිපුන් කරුණානායක 37, ලහිරු මදුශංක 55, ලහිරු කුමාර 6/87, අශේන් ඩැනියෙල් 2/93

මෙම තරගය හෙට (07) 3 වැනි දිනයට ආරම්භ වීමට නියමිතයි.

SLC Major Club ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<