දිනද දිනයේ වීරයා වෙමින් විශිෂ්ට ශතකයක් කරා!

Schools Big Match Season 2025

60

පාසල් ක්‍රිකට් වසන්තයේ තවත් මහා තරග දෙකක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. 

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සහ සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර ‍රන් මහා සටන මෙන්ම, කොළඹ ආනන්ද නාලන්ද සුලෝහිත සංග්‍රාමයේ ද දෙවැනි දිනය ඊයේ (01) ක්‍රියාත්මක වුනා. මෙම තරග ද්විත්වයට ම පළමු දිනයේ දී වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා සම්පූර්ණ දිනයක් ක්‍රීඩා කිරීමට ක්‍රීඩකයින්ට අවකාශය හිමි වුනේ නැහැ. 

රන් මහා සටනේ දෙවැනි දිනය ආරම්භ වන විට වේල්ස් කුමරුවන් කඩුලු 4ක් දැවී ලකුණු 111ක් ලබා සිටි අතර, අද දිනයේ දී ඔවුන්ගේ ඉනිම ලකුණු 161කට සීමා කිරීමට සෙබස්තියන් පන්දු යවන්නන් හට හැකියාව ලැබුණා. 

මෙහි දී සෙබස්තියන් නායක රයන් දිසානායක කඩුලු 4ක් දවාගන්නා අතරේ, ශෙනාස් හශේන් කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා. 

ඊට පිළිතුරු ඉනිම ආරම්භ කළ සෙබස්තියන් ක්‍රීඩකයින් ඊයේ දිනය නිමා වන විට කඩුලු 7ක් දැවී ලකුණු 129ක් ලබා ගැනීමට සමත් වී සිටි අතර, සෙබස්තියන් ඉනිමට පණ ලබා දුන් ලශේන් ප්‍රනාන්දු අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වුනා.  

මොරටු රන් මහා සටන 

  • වේල්ස් කුමර විද්‍යාලය – 161/10 (68.4) රිවිත් ජයසූරිය 50, ගවේශ ප්‍රනාන්දු 38, රයන් දිසානායක 4/33, ශෙනාස් හශේන් 3/35, අදේශ් අල්මේදා 2/41 
  • සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 129/7 (43.2) ලශේන් ප්‍රනාන්දු 50, රුසඳු සිල්වා 2/19 

දෙවැනි දිනයට තරගය නතර කළා. 

මේ අතර කොළඹ SSC ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සුලෝහිත සංග්‍රාමයේ දෙවැනි දිනය ආරම්භ වන විට සිය පළමු ඉනිම දියත් කරමින් සිටි ආනන්ද විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 154ක් ලබා ගැනීමට සමත් වී සිටි අතර, අද දිනයේ දී ඔවුන් සිය ඉනිම ලකුණු 324ක් දක්වා රැගෙන යාමට සමත් වුනා. මෙහි දී විශිෂ්ට ඉනිමක් දියත් කළ දිනද අතලගේ පන්දු 288ක් වැය කරමින් ලකුණු 131ක් ලබා ගැනීමට සමත් වුනා. මීට අමතරව කෙනුල් ද සොයිසා ලකුණු 74ක් ලබා ගනිමින් ඉනිමට දායක වුනා. කඩුලු 6ක් දැවී යාමෙන් පසුව ලකුණු 324ක් ලබා සිටි ආනන්ද විද්‍යාලය සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළ අතර, ඊයේ දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රියාත්මක කරමින් සිටි නාලන්දා විද්‍යාලය කිසිවකු නොදැවී ලකුණු 58ක් ලබාගැනීමට සමත් වී සිටියා. 

සුලෝහිත සංග්‍රාමය  

  • ආනන්ද විද්‍යාලය – 324/6d (92.2) දිනද අතලගේ 131, කෙනුල ද සොයිසා 73, නෙතුල එදිරිමාන්න 49, කිත්ම විදානපතිරණ 32, පුන්සර රාජකරුණා 2/69, ඔසඳ පමුදිත 2/80 
  • නාලන්දා විද්‍යාලය – 58/0 (20) 

පළමු දිනය සඳහා තරගය නතර කළා.  

පාසල් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<