ශූරයන්ගේ කුසලානයට එක් වෙන ශූරයෝ

ICC Champions Trophy

60
ICC Champions Trophy

9 වැනි වරටත් පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය මේ මස 19 වැනිදා සිට මාර්තු මස 9 වැනිදා දක්වා පාකිස්තානයේ දී සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලිය මීට පෙර පාකිස්තානයේ දී පැවැත්වීමට තීරණය වී තිබුණ ද ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින දේශපාලන අර්බුදකාරීත්වය මත තරගාවලයේ තරග කිහිපයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ද පැවැත්වීමට තීරණය කෙරනවා.

ඒ අනුව පැවැත්වෙන තරගාවලිය කාණ්ඩ 2ක් යටතේ ක්‍රියාත්මක අතර ඒ ඒ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු අනුව පළමු කණ්ඩායම් ද්විත්වය අවසන් පූර්ව වටය සඳහාත් සහ ඉන් ජයග්‍රහණය කරනු ලබන කණ්ඩායම් අවසන් මහා තරගය සඳහාත් සුදුසුකම් ලබා ගන්නවා. තරගාවලිය නිල වශයෙන් මේ මස 19 වැනිදා පාකිස්තානය සහ නවසීලන්තය අතර තරගයෙන් පාකිස්තානයේ කරච්චි නුවර දී ආරම්භ වන අතර අවසන් මහා තරගය එළැඹෙන මාර්තු 09 වැනිදා පාකිස්තානයේ දී හෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට යෝජිතයි.

  • A කාණ්ඩය – බංග්ලාදේශය, ඉන්දියාව, නවසීලන්තය සහ පාකිස්තානය
  • B කාණ්ඩය – ඇෆ්ගනිස්තානය, ඕස්ට්‍රේලියාව, එංගලන්තය සහ දකුණු අප්‍රිකාව

මෙවර මෙම තරගාවලියට එක් වෙන කණ්ඩායම් අතුරින් ඇෆ්ගනිස්තානය පළමු වතාවට ද සහ බංග්ලාදේශය 6 වැනි වතාවට ද සහභාගී වෙන අතර අනෙකුත් සියලු කණ්ඩායම් පැවැති සෑම වසරකදී ම මෙම තරගාවලිය හා එක් ව තිබෙනවා.

මෙවර මෙම තරගාවලිය පැවැත්වෙන්නේ 2017 වසරට පසුව බැවින් තරගාවලියේ තරගකාරීත්වය වඩාත් තීව්‍ර වනු ඇතැයි අපේක්ෂා කළ හැකියි.

පාකිස්තානය

පාකිස්තාන කණ්ඩායම මෙවර තරගාවලියට එක් වෙන්නේ ආසන්නත ම වසරේ ශූරයන් වූ අභිමානයත් සමඟිනුයි. ලැබූ එම කුසලානය නැවත වරක් තමන් සන්තකයේ ම තබා ගැනීම ඔවුන්ගේ බලාපොරොත්තුව විය හැකියි.

ඒ වෙනුවෙන් නම් කරන ලද කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ Mohammad Rizwan වෙතයි. කඩුල්ල පිටුපස ආරක්ෂකයා ලෙසින් ද සිටින Mohammad Rizwan මේ දක්වා එක්දින තරග 86කට සහභාගී වෙමින් ලබා ඇති ලකුණු සංඛ්‍යාව 2523ක්. ඊට ශතක 4ක් සහ අර්ධ ශතක 15ක් එක් කිරීමට ද ඔහු සමත් වෙනවා.

කෙසේ වෙතත් පාකිස්තාන කණ්ඩායමේ වඩාත් බලාපොරොත්තු සහගත පිතිකරු බවට පත් වෙන්නේ Babar Azam. ඔහු මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 126කට සහභාගී වෙමින් ලබා ඇති ලකුණු සංඛ්‍යාව 6019ක්.

පාකිස්තාන කණ්ඩායම

Mohammad Rizwan (නායක සහ කඩුලු රකින්නා), Babar Azam, Fakhar Zaman, Tayyab Tahir, Khushdil Shah, Kamran Ghulam, Saud Shakeel, Salman Agha, Faheem Ashraf, Usman Khan, Abrar Ahmed, Haris Rauf, Mohammad Hasnain, Naseem Shah, Shaheen Afridi

ඉන්දියාව

සුපුරුදු ලෙසින් ම ඉන්දීය කණ්ඩායමේ නායකත්වය Rohit Sharma වෙත හිමි ව ඇති අතර කණ්ඩායමේ සිදු වූ ප්‍රධානත ම වෙනස්කම වී ඇත්තේ වේග පන්දු යවන Jasprit Bumrah වෙනුවට 22 හැවිරිදි වියේ පසුවෙන Harshit Rana නම් කිරීමයි.

ලෝක එක්දින තරග පිටියේ වර්තමාන පිතිකරුවන් අතර ඉහළින් ම ශ්‍රේණිගත ව ඇති Virat Kohli සහ නායක Rohit Sharma ඉන්දීය කණ්ඩායමේ සිටින වඩාත් ම භයානය පිතිකරුවන් ලෙසින් හැඳින්විය හැකියි.

ලෝකයේ වැඩිම එක්දින ලකුණුලාභීන්ගේ ලැයිස්තුවේ 3 වැනි ස්ථානයේ රැඳී සිටින Virat Kohliට එහි දෙවැනි ස්ථානයේ රැඳී සිටින කුමාර් සංගක්කාර සමඟ සම ව අසුන් ගැනීමට තවත් අවශ්‍ය ව ඇත්තේ ලකුණු 271ක් පමණයි.

එමෙන් ම මේ වෙද්දී ලෝක පිතිකරු ලැයිස්තුවේ 10 වැනි ස්ථානයේ රැදී සිටින Rohit Sharmaට මෙම තරගාවලියේ දී තවත් ලකුණු 375ක් වාර්තා කර ගත හැකි නම් එම ලැයිස්තුවේ 9 වැනි ස්ථානය හිමි ඉන්දියාවේ ම Sourav Ganguly හා සම සම ව අසුන් ගැනීමට හැකි වෙනවා.

ඔවුන්ට අමතර ව ලෝක එක්දින තරග ඉතිහාසයේ වැඩිම කඩුලුලාභීන් අතරට එක් වෙන වර්තමාන ක්‍රීඩකයන් අතර Ravindra Jadeja ද ඉහළ ස්ථානයක රැඳී සිටිනවා. ඔහු මේ දක්වා ලබා ඇති කඩුලු සංඛ්‍යාව 226ක්.

එමෙන් ම මේ දක්වා තරග 103කට සහභාගී වෙමින් කඩුලු 197ක් ලබා සිටින Mohammed Shami ද සහ තරග 108ක දී කඩුලු 174ක් ලබා සිටින Kuldeep Yadav ද මෙම කණ්ඩායමේ අසුන් හිමිකර ගෙන සිටිනවා.

එවැනි ක්‍රීඩකයන්ගෙන් සමන්විත ඉන්දීය කණ්ඩායම මෙම තරගාවලිය හා එක් වෙන්නේ 2002 වසරේ සම ශූරයන් ලෙසත් සහ 2013 වසරේ ශූරයන් ලෙසත් හිමිකර ගත් අභිමානයත් සමඟිනුයි. එමෙන් ම නිමා වූ ලෝක කුසලාන තරගාවලියේ අනුශූරයන් ද වන ඉන්දියාව මෙම තරගාවලියේ දී තමන්ට අහිමි වූ එම කුසලානය වෙනුවෙන් මෙම කුසලානය දිනා ගනිතැයි විශ්වාස කෙරෙන කණ්ඩායම් අතර ඉහළින් ම පසුවෙනවා.

ඉන්දීය කණ්ඩායම

Rohit Sharma (නායක), Shubman Gill, Virat Kohli, Shreyas Iyer, Hardik Pandya, Ravindra Jadeja, Axar Patel, Washington Sundar, KL Rahul (කඩුලු රකින්නා), Rishabh Pant, Kuldeep Yadav, Mohammed Shami, Arshdeep Singh, Varun Chakravarthy, Harshit Rana

බංග්ලාදේශය

Najmul Hossain Shanto ගේ නායකත්වයෙන් යුත් බංග්ලාදේශ කණ්ඩායමේ සිටින ක්‍රීඩකයන් අතුරින් වඩාත් දක්ෂතා දක්වනු අතැයි බලාපොරොත්තු වන පිතිකරු වෙන්නේ Mushfiqur Rahim. ඔහු මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 272කට මුහුණ දෙමින් ලකුණු 7793ක් ලබා සිටින අතර ඔහු ලෝක ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු ලැබූ පිතිකරු ලැයිස්තුවේ 35 වැනි ස්ථානය හිමි කර ගෙන සිටිනවා. එම දක්ෂතාව මෙවර මෙම තරගාවලියට එක් වෙන පිතිකරුවන් අතර ලැයිස්තු ගත වෙන්නේ නම් ඔහුට හිමි ස්ථානය 3 වැන්නයි.

ඔහුට ඉහළින් ලැයිස්තු ගත වෙන්නේ ඉන්දියාවේ Virat Kohli සහ Rohit Sharma පමණයි.

එමෙන් ම බංග්ලාදේශ කණ්ඩායමේ සිටින තවත් දක්ෂ පිතිකරුවෙක් ලෙසින් Mahmudullah ද හැඳින්විය හැකියි. ඔහු මේ වෙද්දී එක්දින තරග 283කට සහභාගී වෙමින් ලකුණු 5685ක් ලබා සිටිනවා.

පන්දු යවන්නන් අතුරින් බංග්ලාදේශයේ බලාපොරොත්තුව වී ඇත්තේ Mustafizur Rahman වෙතයි. ඔහු මේ වන විට එක්දින ජාත්‍යන්තර තරග 107කට සහභාගී වෙමින් කඩුලු 172ක් ලබා සිටිනවා.

බංග්ලාදේශ කණ්ඩායම

Najmul Hossain Shanto (නායක), Soumya Sarkar, Towhid Hridoy, Tanzid Hasan, Mahmudullah, Mehidy Hasan Miraz, Mushfiqur Rahim (කඩුලු රකින්නා), Jaker Ali, Parvez Hossain Emon, Rishad Hossain, Mustafizur Rahman, Taskin Ahmed, Nahid Rana, Nasum Ahmed, Tanzim Hasan Sakib

නවසීලන්තය

නවසීලන්තය 2000 වසරේ දී පැවැති 2 වැනි ශූරයන්ගේ කුසලානයේ හිමිකරුවෝ වන අතර 2009 වසරේ අනුශූරයෝයි.

එම මතකයන් ද සමඟින් මෙවර තරගාවලියට එක් වෙන නවසීලන්ත කණ්ඩායමේ නායක්තවය හිමි වෙන්නේ  Mitchell Santner වෙතයි. 33 හැවිරිදි වියේ පසුවෙන ඔහු එක්දින තරග 113ක කඩුලු 117ක් හිමි ක්‍රීඩකයෙක්.

කණ්ඩායමේ සිටින වඩාත් දක්ෂතම පිතිකරු ලෙසින් හැඳින්වෙන්නේ Kane Williamson. ඔහු මෙම විශ්වාසය දිනා ගන්නේ එක්දින ජාත්‍යන්තර තරග 168ක දී ශතක 14ක් සහ අර්ධ ශතක 46ක් සමඟින් ලකුණු 7035ක් ලබා ගැනීමේ දක්ෂතාවත් සමඟිනුයි.

ඔහුගේ මෙම දක්ෂතාව ලෝකයේ වැඩිම එක්දින ලකුණු ලැබූ පිතිකරු ලැයිස්තුවේ 46 වැනි ස්ථානය හිමි කර ගන්නවා.

නවසීලන්ත කණ්ඩායම

Mitchell Santner (නායක), Mark Chapman, Kane Williamson, Will Young, Daryl Mitchell, Rachin Ravindra, Michael Bracewell, Glenn Phillips, Nathan Smith, Devon Conway (කඩුලු රකින්නා), Tom Latham, William ORourke, Lockie Ferguson, Matt Henry, Jacob Duffy

ඇෆ්ගනිස්තානය

ශූරයන්ගේ කුසලාන තරගාවලිය හා පළමු වරට එක් වෙන ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ නායකත්වය ඉදිරි පෙළ වමත් පිතිකරු Hashmatullah Shahidi වෙත හිමි ව තිබෙනවා. ඔහු මේ දක්වා එක්දින තරග 87කට සහභාගී වෙමින් එකඳු ශතකයක් හෝ නොමැතිව අර්ධ ශතක 22ක් පමණක් ලබා ගනිමින් ලකුණු 2375ක් ලබා ඇති ක්‍රීඩකයෙක්.

ඔහුත් සමගින් එක් වෙන පිතිකරු ලැයිස්තුව අභිබවා යන පන්දු යවන්නන්ගේ බලඇණියක් ඔවුන් සතුයි. ඒ අනුව කණ්ඩායමේ සිටින වඩාත් භයානක ම පන්දු යවන්නා ලෙසින් හැඳින්වෙන්නේ Rashid Khan. ඔහු මේ දක්වා සහභාගී වූ එක්දින තරග 111 දී කඩුලු 198ක් ලබා ගනිමින් දක්ෂතා දක්වා තිබෙනවා.

එමෙන් ම Mohammad Nabi ද ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ සිටින වඩාත් විශ්වාසවන්ත පන්දු යවන්නෙක් ලෙසින් හැඳින්විය හැකියි. ඔහු මේ විශ්වාසය දිනා ගන්නේ එක්දින ජාත්‍යන්තර තරග 170කට සහභාගී වෙමින් කඩුලු 172ක් ලබා ගනිමිනුයි.

ඇෆ්ගනිස්තාන කණ්ඩායම

Hashmatullah Shahidi (නායක), Rahmat Shah, Sediqullah Atal, Ibrahim Zadran, Gulbadin Naib, Azmatullah Omarzai, Mohammad Nabi, Rashid Khan, Nangeyalia Kharote, Rahmanullah Gurbaz (කඩුලු රකින්නා), Ikram Alikhil, Fazalhaq Farooqi, Fareed Ahmad Malik, Noor Ahmad, Naveed Zadran

එංගලන්තය

මංගල ශූරයන්ගේ තරගාවලිය හා සමඟ එක්වෙමින් මේ දක්වා සෑම තරගාවලියකට සහභාගී වූ එංගලන්ත කණ්ඩායම මෙම තරගාවලියේ වැඩි ම තරගාවලි ප්‍රමාණයකට සත්කාරකත්වය ලබා දුන් රටයි. ඔවුන් 2004, 2013 සහ 2017 වසරවල සත්කාරකත්වය දක්වන අතර 2004 වසරේ මෙන් ම 2013 වසරේ ද අනුශූරයන් ලෙසින් අභිශේක ලැබීමට සමත් වෙනවා.

මෙවර එංගලන්ත කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ලත් Jos Buttler වර්තමාන ක්‍රිකට් පිටියේ වඩාත් සටන්කාමී පිතිකරුවෙක් ලෙසින් හැඳින්විය හැකියි. ඔහු මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 184කට සහභාගී වෙමින් ලකුණු 5114ක් ලබා සිටිනවා.

එමෙන් ම Joe Root මෙම තරගාවලිය හා එක් වෙන්නේ එංගලන්ත කණ්ඩායමේ සිටින සාමාජිකයන් අතුරින් වැඩිම එක්දින ලකුණු ලබා සිටින ක්‍රීඩකයා ලෙසයි. ඔහු මේ දක්වා එක්දින තරග 174කට සහභාගී වෙමින් ලකුණු 6634ක් ලබා සිටිනවා.

පන්දු යවන්නන් අතුරින් මේ දක්වා තරග 146කට සහභාගී වෙමින් කඩුලු 212ක් ලබා සිටින Adil Rashid ද මෙම කණ්ඩායම හා එක් වෙන්නේ කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨත ම පන්දු යවන්නා ලෙසයි.

එංගලන්ත කණ්ඩායම

Jos Buttler (නායක), Harry Brook, Ben Duckett, Joe Root, Liam Livingstone, Jamie Smith (කඩුලු රකින්නා), Philip Salt, Brydon Carse, Jamie Overton, Gus Atkinson, Jofra Archer, Adil Rashid, Saqib Mahmood, Mark Wood

ඕස්ට්‍රේලියාව

ලෝක ශූර අභිමානයත් සමඟින් මෙම තරගාවලියට එක් වෙන ඕස්ට්‍රේලියා කණ්ඩායම ශූරයන්ගේ කුසලාන තරගාවලියේ පිට පිට අවස්ථා 2ක දී ජයග්‍රහණය කළ එක ම රට බවට ද පත් වෙනවා. ඔවුන් එම දක්ෂතාව සිදු කරන්නේ 2006 සහ 2009 වසර ද්විත්වයේයි.

එවන් අභිමානයක් සහිත ඕස්ට්‍රේලියා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී ඇත්තේ Steven Smith වෙතයි.

මේ වෙන විට එක්දින තරග 167කට සහභාගී වෙමින් ලකුණු 5703ක් ලබා සිටින ඔහු ලෝක එක්දින ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු ලබා සිටින පිතිකරුවන් අතර ලැයිස්තු ගත ව ඇත්තේ 75 වැනි ක්‍රීඩකයා ලෙසයි.

ඔවුන් මෙම තරගාවලිය හා එක් වීමේ දී මුහුණ දුන් ප්‍රධානත ම අභියෝගය වූයේ දක්ෂ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ම ආබාධයන්ට ලක් වීමයි. එමෙන් ම මෙම තරගාවලියට එක් වීමට පෙර මෙරට කළ සංචාරයේ දී එක්දින තරගාවලිය 2-0ක් ලෙසින් පරාජයට පත් වීම ද ඔවුන්ගේ කණ්ඩායමේ තරම නැවත නැවතත් පරීක්ෂා කිරීමට සිදු වූ කාරණයක් ලෙසින් සැලකිය හැකියි.

ඕස්ට්‍රේලියා කණ්ඩායම

Steven Smith (නායක), Jake Fraser-McGurk, Travis Head, Marnus Labuschagne, Matthew Short, Aaron Hardie, Glenn Maxwell, Alex Carey (කඩුලු රකින්නා), Josh Inglis, Sean Abbott, Ben Dwarshuis, Nathan Ellis, Spencer Johnson, Tanveer Sangha, Adam Zampa

දකුණු අප්‍රිකාව

ශූරයන්ගේ කුසලාන තරගමාලාවේ මංගල ජයග්‍රාහකයන් වන දකුණු අප්‍රිකානුවෝ මෙවර තරගාවලියට එක් වෙන්නේ Temba Bavuma ගේ නායකත්වයෙන් යුතුවයි.

එක්දින පිටියේ දක්ෂතා දක්වන දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් අතුරින් වඩාත් කැපී පෙණෙන සහ විශ්වසනීය පන්දු යවන්නා ලෙසින් Kagiso Rabada නම් කළ හැකියි. ඔහු මේ දක්වා තරග 103කට සහභාගී වෙමින් කඩුලු 162ක් ලබා ගනිමින් දක්ෂතා දක්වා තිබෙනවා.

දකුණු අප්‍රිකා කණ්ඩායම

Temba Bavuma (නායක), Aiden Markram, Tony de Zorzi, Rassie van der Dussen, David Miller, Marco Jansen, Wiaan Mulder, Corbin Bosch, Ryan Rickelton (කඩුලු රකින්නා), Heinrich Klaasen, Tristan Stubbs, Kagiso Rabada, Keshav Maharaj, Tabraiz Shamsi, Lungi Ngidi

තරග කාලසටහන

  • පෙබරවාරි 19 වැනිදා

පාකිස්තානය සහ නවසීලන්තය අතර පාකිස්තානයේ කරච්චි නුවර දී.

  • පෙබරවාරි 20 වැනිදා

බංග්ලාදේශය සහ ඉන්දියාව අතර ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

  • පෙබරවාරි 21 වැනිදා

ඇෆ්ගනිස්තානය සහ දකුණු අප්‍රිකාව අතර පාකිස්තානයේ කරච්චි නුවර දී.

  • පෙබරවාරි 22 වැනිදා

ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පාකිස්තානයේ Gaddafi ක්‍රීඩාංගණයේ දී.

  • පෙබරවාරි 23 වැනිදා

පාකිස්තානය සහ ඉන්දියාව අතර ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

  • පෙබරවාරි 24 වැනිදා

බංග්ලාදේශය සහ නවසීලන්තය අතර පාකිස්තානයේ Rawalpindi ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

  • පෙබරවාරි 25 වැනිදා

ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර පාකිස්තානයේ Rawalpindi ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

  • පෙබරවාරි 26 වැනිදා

ඇෆ්ගනිස්තානය සහ එංගලන්තය අතර පාකිස්තානයේ Gaddafi ක්‍රීඩාංගණයේ දී.

  • පෙබරවාරි 27 වැනිදා

පාකිස්තානය සහ බංග්ලාදේශය අතර පාකිස්තානයේ Rawalpindi ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

  • පෙබරවාරි 28 වැනිදා

ඇෆ්ගනිස්තානය සහ ඕස්ට්‍රේලියාව අතර පාකිස්තානයේ Gaddafi ක්‍රීඩාංගණයේ දී.

  • මාර්තු 01 වැනිදා

එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පාකිස්තානයේ කරච්චි නුවර දී.

  • මාර්තු 2 වැනිදා

ඉන්දියාව සහ නවසීලන්තය අතර ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

  • මාර්තු මස 4 වැනිදා

1 වැනි අවසන් පූර්ව තරගය ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

  • මාර්තු මස 5 වැනිදා

2 වැනි අවසන් පූර්ව තරගය පාකිස්තානයේ Gaddafi ක්‍රීඩාංගණයේ දී.

  • මාර්තු 9 වැනිදා

අවසන් මහා තරගය පාකිස්තානයේ Gaddafi ක්‍රීඩාංගණයේ දී හෝ ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<