ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දු- පාකිස්තානුවෝ එක්වෙති!

6
Sri Lanka vs Wills XI

1996 ලෝක කුසලානය, ඉන්දීය උපමහද්වීපයේ දී ආරම්භ වීමට සියලු කටයුතු සූදානම් වෙමින් තිබූ මොහොතකි.

ලෝක කුසලානය ආරම්භවීමට හරියටම සති දෙකකට පෙරාතුරව කොළඹ, ශ්‍රී ලංකා මහ බැංකු ගොඩනැගිල්ල අසල දෙමළ ඊළාම් විමුක්ති සංවිධානය විසින් දැවැන්ත බෝම්බ පිපිරුමක් සිදු කළහ.

ජීවිත 91ක් බිළිගත් මෙම ප්‍රහාරය බලපෑමක් ඇති කළේ ශ්‍රී ලංකා ආර්ථිකයට පමණක් නොවේ. සති කිහිපයකින් මෙරට පැවැත්වීමට නියමිතව තිබූ ලෝක කුසලාන තරගවලටත් එයින් සිදුවූ බලපෑම සුළුපටු නොවීය.

ඉන්දියාව, පාකිස්තානය සහ ශ්‍රී ලංකාවේ සම සත්කාරකත්වයෙන් පැවැත්වුණ එවර ලෝක කුසලානයේ තරග හතරක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබුණි.

ශ්‍රී ලංකාවේ ආරක්ෂක තත්වය අයහපත්බව පවසමින් ඔස්ට්‍රේලියානුවන් මෙරටට නොපැමිණෙන බව ප්‍රකාශ කළ අතර බටහිර ඉන්දියානු කොදෙව්වන්ද ඔස්ට්‍රේලියානුවන්ගේම අඩිපාරේ යන බව පෙනෙන්නට තිබුණි.

ශ්‍රී ලංකාවට පැමිණීමට අදිමදි කළ ඔස්ට්‍රේලියානුවන්ට මෙරට ක්‍රිකට් බලධාරීන් අපූරු යෝජනාවක් ගෙන එන්නේ මේ අතරේදී ය

මෙරටට පැමිණෙන ඔස්ට්‍රේලියානු කණ්ඩායම කෙලින්ම කටුනායක ගුවන්තොටුපොළින් ප්‍රේමදාස ක්‍රීඩාංගණයට ගෙන ඒමටත් එකඳු ප්‍රේක්ෂකයෙකු නොමැතිව තරග පැවැත්වීමටත් ශ්‍රී ලාංකික බලධාරීන් යෝජනා කළද ඔස්ට්‍රේලියානුවන් ඊට කැමතිවූයේ ද නැත.

තත්ත්වය මෙසේ දෝලනය වෙමින් තිබියදී ලෝක කුසලානයේ සමාරම්භක උළෙලට සතියකට පෙර අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ රැස්වීමක් කල්කටාවේදී පැවැත්වුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ආනා පුංචිහේවා මහතා ඇතුළු සෙසු ශ්‍රී ලාංකික සාමාජිකයින් කල්කටා බලා පිටත්ව ගියේ අනිවාර්යයෙන්ම ඔස්ට්‍රේලියානු සහ කොදෙව් කණ්ඩායම් මෙරටට නොපැමිණෙන බව සක්සුදක් සේ දැනගෙනය.

ශ්‍රී ලංකාවට පැමිණීම ප්‍රතික්ෂේප කළ ඔස්ට්‍රේලියානුවන් මෙන්ම කොදෙව්වන්ද ඒ වෙනුවෙන් ප්‍රසාද ලකුණු ඉල්ලා සිටි අතර ශ්‍රී ලංකා බලධාරින් එකහෙළාම එකී ඉල්ලීම ප්‍රතික්ෂේප කළෝය.

තත්ත්වය තේරුම් ගත් එවකට අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ සභාපති ක්ලයිඩ් වොල්කොට් දෙපිළටම සමසේ ලකුණු බෙදා දීමට යෝජනා කළ ද එයටද පුංචිහේවා මහතා කැමතිවූයේ නැත.

මේ වෙනුවෙන් ඡන්ද විමසීමක් පැවැත්වීමට තීරණය වූ අතර ශ්‍රී ලංකාව එක් ඡන්දයකින් පරාජය වන ආකාරයක් පෙන්නුම් කෙරුණි.

එක් එක් රටවලින් පැමිණි බලධාරීන් වෙනම වෙනම හමුවී සාකච්ඡා කළ ද එයත් එතරම් සාර්ථකවූයේ නැත.

අනතුරුව ක්ලයිඩ් වොල්කොට් මහතා හමුවූ පුංචිහේවා මහතා හැකි නම් ඡන්ද විමසීම ඊට පසුදින උදෑසනම කළ යුතු බවට ඉල්ලීමක් කළේය.

අවසානයේ පසුදා උදෑසන පැවති ඡන්ද විමසිමෙන් එක් ඡන්දයක බහුතරයකින් ශ්‍රී ලංකාවට ජයගත හැකිවූයේ නවසීලන්ත නියෝජිතයා ඡන්ද විමසීමට ප්‍රමාදවී පැමිණීම හේතුවෙනි.

සැබැවින්ම සිදුවී තිබුණේ උදෑසන 10.00 ආරම්භ කිරීමට කතිකා කරගෙන සිටි ඡන්ද විමසීම ක්ලයිඩ් වොල්කොට් මහතා විසින් හරියටම නියමිත වෙලාවට ආරම්භ කිරීමය. ශ්‍රී ලංකාවට විරුද්ධව ඡන්දය දෙන්නට සිටි නවසීලන්ත නියෝජිතයා ඒවන විට සභාවේ නොසිටි අතර විනාඩි පහක ඇවෑමෙන් ඔහු සභාවට පැමිණෙන විට ඡන්ද විමසීම අවසන්වී තිබුණි.

රැස්වීමෙන් අනතුරුව ආනා පුංචිහේවා මහතා වෙත පැමිණි කෙන්යානු නියෝජිතයා තමන්ටද ශ්‍රී ලංකාවට පැමිණීමට සැක සංකා තිබෙන බව පැවසීම පුංචිහේවා මහතා මවිතයට පත් කළේය.

කෙන්යානු කණ්ඩායම මෙහි නොපැමිණෙන්නේ නම් සිම්බාබ්වේ කණ්ඩායමත් ඔවුන්ගේ අඩිපාරේම යනබ්ව ආනා පුංචිහේවා මහතා සක්සුදක් සේ දැන සිටියේය.

මේ වෙනුවෙන් යමක් වහ වහා කළ යුතු බැව් වටහාගත් පුංචිහේවා මහතා හැකි ඉක්මනින් ඉන්දියානු සහ පාකිස්තානු නියෝජිතයින් හමුවීමට ගියේය.

ශ්‍රී ලංකාවේ ආරක්ෂිත තත්වය යහපත් බව පෙන්වීමට ඉන්දියානු සහ පාකිස්තානු ක්‍රීඩයින්ගෙන් සමන්විත කණ්ඩායමක් මෙහි එවිය හැකිදැයි අප කළ යෝජනාවට ඉන්දියාවෙන් සහ පාකිස්තානයෙන් එක පයින් කැමැත්ත ලැබුණි.

ඉතිහාසයේ මින් පෙර කිසිම දිනෙක මේ ආකරයෙන් ඉන්දියානුවන් සහ පාකිස්තානුවන් ඒකාබද්ධ කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කර නැත

නමුත් ආනා පුංචිහේවා මහතා මුහුණ දී සිටියේ ඊටත් වඩා ගැටළුවකටය. තරගය සදහා හදිස්සියේ වර්ණ ඇදුම් සොයා ගැනීමට නොහැක. ඒ නිසා එම තරගයට යොදාගන්නට සිදුවුණේ සුදු පැහැති ඇදුම්ය. නමුත් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දර්ශන තිර සියල්ල සකසා තිබුණේ නුතන එක්දින තරගවලට ගැළපෙන්නට කළු පැහැයෙන්ය. වහ වහාම අදාළ දර්ශන තිර සුදු පැහැයෙන් වර්ණගන්වන්නට ආනා පුංචිහේවා මහතාගෙන් ඉන්දියාවේ සිට මෙරට සිටි ඇත්තන්ට උපදෙස් ලැබුණි.

මෙම සුවිශේෂී තරගයට සහභාගීවීමට ලෝක කුසලාන සමාරම්භක උළෙලෙන් අනතුරුව රටවල් තුනේම ක්‍රීඩකයින් එකම ගුවන් යානයක මෙරටට පැමිණියහ.

ඉන්දියානු සහ පාකිස්තානු ක්‍රීඩකයින්ගෙන් සැදුම් ලත් ඒකාබද්ධ කණ්ඩයාමේ නම වීල්ස් එකොළොස්දෙනා ලෙසින් නම් විය. එහි නායකත්වය ලැබුණේ ඉන්දියාවේ මොහොමඩ් අසාරුඩීන්ටය.

කණ්ඩායම තෝරාගැනීමේදී කිසිදු ගැටළුවක් ඇතිවූයේ නැත. රටවල් දෙකේම ක්‍රීඩකයින් බොහෝ දෙනෙකු ස්වකැමැත්තෙන්ම තරගයට සහභාගීවීමට කැමැත්ත ප්‍රකාශ කළහ.

තරගය වෙනුවෙන් පැවැත්වුණ මාධ්‍ය සාකච්ඡාව අතරතුර කණ්ඩායම තෝරාගැනීමේදී ගැටළු ඇතිවූයේද යන පැනයට පිළිතුරු දුන් පාකිස්තානු කණ්ඩායමේ වසිම් අක්‍රම් මෙලෙස ප්‍රකාශ කළේය.

“කණ්ඩායම් තෝරාගැනීමේදී කිසිදු ගැටළුවක් ඇතිවුණේ නැහැ. ඇත්තෙන්ම අපි මෙය හොදින් සංවිධානය කළා. අපේ නායකයා අසාර්. එහි කිසිම ගැටළුවක් නැහැ.”

දේශපාලන මත ගැටුම් ඇති රටවල් දෙකක් මෙලෙස පොදු කාරණාවට එකට එක්වීම ගැන මාධ්‍යවේදියෙකු ඇසූ පැනයකට පිළිතුරු දුන් වීල්ස් කණ්ඩායමේ කළමනාකරු ඉන්ටිකාබ් අලාම් පැවසුවේ ” අපි මේ වැඩේට දේශපාලනය ගාව ගන්නේ නැතුව ඉමු යනුවෙනි.”

india-pakistan-cricket

ඉන්දු පාකිස්තාන ඒකාබද්ධ කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙමින්

ඉතා හදිස්සියේ සූදානම්වූ තරගයක් බැවින් වසීම් අක්‍රම්ට සිය ක්‍රීඩා පාවහන් පවා අමතක වී තිබුණි. අවසානයේ අක්‍රම්ට පාවහන් යුගලක් ලබා දුන්නේ ශ්‍රී ලංකා නායක අර්ජුන රණතුංග විසින් ය.

තරගය ආරම්භ වීමට පෙර සාම්ප්‍රදායික නැටුම්, ගැයුම් ඇතුලත් පිළිගැනීමේ උත්සවයක්ද පැවැත්වුණ අතර ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මෙම තරගය සජීව ලෙසින් විකාශය කිරීමද කටයුතු සම්පාදනය කර තිබුණි.

india-pakistan-cricket

ඉන්දු පාකිස්තාන ඒකාබද්ධ කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙමින්

මෙම සුවිශේෂී තරගයේ කාසියේ වාසිය දිනූ විල්ස් කණ්ඩායමේ නායක මොහොමඩ් අසාරුඩීන් ශ්‍රී ලංකා කණ්ඩායමට මුලින්ම පන්දුවට පහරදීමට ආරාධනා කළේය. ශ්‍රි ලංකා වේලාවෙන් උදේ 10.30ට ආරම්භවූ තරගය නැරඹීමට සෑහෙන ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවක් ප්‍රේමදාස ක්‍රීඩාංගණයට පැමිණ සිටියහ. නමුත් ශ්‍රී ලාංකික ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන සනත් ජයසූරිය සහ රොමේෂ් කළුවිතාරණට සාර්ථක ආරම්භයක් ලබාගන්නට වසීම් අක්‍රම් සහ වකාර් යුනිස් යන පාකිස්තානු වේග පන්දු සුසංයෝගය ඉඩ ලබා නොදුන්හ.

ලකුණු 16ක් ලකුණු පුවරුවේ සටහන් වනවිට ශ්‍රී ලාංකික ආරම්භක පිතිකරුවන් දෙදෙනාම දැවී ගියත් තුන්වන කඩුල්ලට පිටියට එක්වූ අසංක ගුරුසිංහ සහ අර්ජුන රණතුංග  ලකුණු 70ක සබඳතාවක් ගොඩනැගීමට සමත්විය. ගුරුසිංහ ලකුණු 34කටත් රණතුංග ලකුණු 32කටත් දැවී යෑමේ ප්‍රතිඵලය වූයේ නියමිත පන්දුවාර 40 තුළ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 168කට සීමාවීම ය. ශ්‍රී ලංකා පිතිකරුවන් අසරණ කළ අනිල් කුම්බ්ලේ ලකුණු දොළහට කඩුළු 04ක් දවාගැනීමට සමත්විය.

india-pakistan-cricket

ඉන්දු පාකිස්තාන ඒකාබද්ධ කණ්ඩායමේ නායක මොහොමඩ් අසාරුදීන් කුසලානය ලබා ගනිමින්

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ වීල්ස් කණ්ඩායමේ සාර්ථකම පිතිකරුවන් වූයේ සචින් තෙන්දුල්කාර් සහ මොහොමඩ් අසාරුඩීන්ය. ඔවුන් දෙදෙනා පිළිවෙලින් ලකුණු 36ක් සහ ලකුණු 32ක් රැස් කිරීමට සමත්විය. මුත්තයියා මුරලිදරන් සහ උපුල් චන්දන කඩුළු දෙක බැගින් දවාගත්තත් පන්දුවාර 34.3 ක් ඇතුලත ජයග්‍රාහී ඉලක්කය පසු කර යන්නට වීල්ස් කණ්ඩායම සමත්විය.

මෙම තරගයේ ත්‍යාග ප්‍රදානෝත්සවයට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වූයේ එවකට ක්‍රීඩා ඇමති ලෙස කටයුතු කළ එස්.බී දිසානායක මහතාය. එමෙන්ම විදේශ ඇමති ලෙස කටයුතු කළ ලක්ෂ්මන් කදිරගාමර් මහතා ද විශේෂිත අමුත්තන් අතර විය.

අනර්ඝ පන්දුයැවීමක නිරතවූ අනිල් කුම්බ්ලේ තරගයේ වීරයා බවට නම් කෙරුණි.

මෙම තරගයේ විනිසුරුවන් ලෙස කටයුතු කළේ දකුණු අප්‍රිකාවේ සිරිල් මිච්ලි සහ පාකිස්තානයේ මෙහෙබූබ් ෂාහ් යන විනිසුරුවන්ය.

සෙසු ලෝකයා ශ්‍රී ලංකාව තනිකරමින් නැගි සිටියදී ආසියානු අසල්වාසීන් අප සමග රැදී සිටි ආකාරය සැබැවින්ම අති විශේෂ කාරණාවක් විය. එමෙන්ම ඉන්දියානුවන් සහ පාකිස්තානුවන් මෙහි නොපැමිණියා නම් 1996 ලෝක කුසලාන ජයග්‍රහණය යථාර්ථයක් නොවීමට වැඩි ඉඩකඩක් තිබූ බවයි බොහෝ දෙනෙකුගේ මතය යි.