සිංහ – කැන්ගරු එක්දින තරගාවලියට පෙර

Australia Tour of Sri Lanka 2025

80
Australia Tour of Sri Lanka 2025

එළැඹෙන සතියේ දී පාකිස්තානයේ දී සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත ශූරයන්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන්ට කදිම පෙරහුරු තරග ද්විත්වයකට සහභාගී වීමට අවස්ථාව හිමි ව තිබෙනවා.

ඒ හෙට (12) ශ්‍රී ලංකාව සමඟින් පැවැත්වෙන තරග 2කින් යුත් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියයි.

තරග කාලසටහන

1 වැනි එක්දින තරගය

  • පෙබරවාරි 12 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

2 වැනි එක්දින තරගය

  • පෙබරවාරි 14 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

ලෝක කුසලාන එක්දින තරගාවලියට පමණක් දෙවැනි වන ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය කරමුලක් තබා පැවැත්වෙන මෙම තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට වැදගත් වනුයේ Warne-Murali කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් ලත් 2-0ක පරාජයේ අවමානය අවම කර ගැනීමටයි.

එබැවින් ම වඩාත් හොඳ කණ්ඩායමක් මෙම තරගාවලියට එක් කිරීම ක්‍රිකට් පාලකයන්ගේ සේ ම නායක චරිත් අසලංක ගේ ද බලාපොරොත්තුව වනවාට කිසිඳු සැකයක් නැහැ. කෙසේ වෙතත් නම් කරන ලද කණ්ඩායම එතරම් ම වෙනසක් නොමැති බවයි බැලූ බැල්මට ම පෙනෙන්නට තිබෙන්නේ.

කෙසේ වෙතත් මෙම තරගාවලියේ දී පිතිකරුවන් ලෙසින් චරිත් අසලංක, නිශාන් මදුශ්ක, නුවනිඳු ප්‍රනාන්දු, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක එක් කර ඇති අතර තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන්නන් ලෙසින් වනිඳු හසරංග, ජනිත් ලියනගේ සහ කමිඳු මෙන්ඩිස් නම් කර තිබෙනවා.

කණ්ඩායමට එක් වෙන පන්දු යවන්නන් අතර අසිත ප්‍රනාන්දු, ලහිරු කුමාර, එශාන් මාලිංග සහ මොහොමඩ් ශිරාස් වේග පන්දු යවන්නෝ ලෙස ද මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ සහ දුනිත් වෙල්ලාලගේ දඟ පන්දු යවන්නෝ ලෙසින් ද කණ්ඩායමට එක් කර තිබෙනවා.

ශ්‍රී ලංකා සංචිතය

 

චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, නිශාන් මදුශ්ක, නුවනිඳු ප්‍රනාන්දු, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, ජෙෆ්‍රි වැන්ඩසේ, අසිත ප්‍රනාන්දු, ලහිරු කුමාර, මොහොමඩ් ශිරාස් සහ එශාන් මාලිංග.

ප්‍රතිවාදී කණ්ඩායම මෙම තරගාවලියට එක් වීමේ දී මුහුණ දී සිටින වඩාත් ම කණගාටුදායක සිදුවීම වී ඇත්තේ ඔවුන්ගේ ක්‍රීඩකයන් වැඩි ප්‍රමාණයක් ආබාධවලට ලක්වීමයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සමඟ තරගයට එක් වෙන කණ්ඩායමේ වගකීම නැවත වරක් Steve Smith වෙත ම පවරා තිබෙනවා. ඒ Pat Cummins තව දුරටත් ආබාධිත තත්ත්වයේ ම පසු වීම හේතුවෙනුයි.

එමෙන් ම තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන Mitchell Marsh සේ ම දකුණතින් වේග පන්දු යවන Josh Hazlewood ද තව දුරටත් ආබාධිත තත්ත්වයේ ම පසුවෙන බැවින් ඔවුන්ට ද මෙම තරග සංචාරය සඳහා එක් වීමට අවස්ථාව උදා වී නැහැ. එමෙන් ම පසුගිය නොවැම්බරයේ දී හදිසියේ ම එක්දින තරග පිටියට සමුදුන් Marcus Stoinis ගේ සේවය ද ඔවුන්ට හිමි වෙන්නේ නැහැ.

ඔවුන්ගෙන් හිස් වූ එම ස්ථාන ආවරණ කිරීමේ වගකීම් පැවැරී ඇත්තේ Travis Head, Steve Smith, Glenn Maxwell, Mitchell Starc සහ Adam Zampa වැනි ක්‍රීඩකයන් වෙතයි.

නම් කරන ලද මෙම සංචිතයට එක්දින ජාත්‍යන්තර තරග පිටියේ එතරම් ම අත්දැකීම් නොමැති Jake-Fraser McGurk, Cooper Connolly, Ben Dwarshuis, Spencer Johnson සහ Tanveer Sangha ද ඇතුලත්.

ඕස්ට්‍රේලියා සංචිතය

 

Steve Smith (නායක), Travis Head, Matt Short, Marnus Labuschagne, Josh Inglis, Alex Carey, Jake Fraser-McGurk, Aaron Hardie, Glenn Maxwell, Cooper Connolly, Sean Abbott, Ben Dwarshuis, Mitchell Starc, Nathan Ellis, Spencer Johnson, Tanveer Sangha

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා තරග ඉතිහාසය ද මේ වෙද්දී තරග 103කින් සමන්විත අතර ඉන් ශ්‍රී ලංකාව තරග 35ක ජයග්‍රහණ ද සහ ඕස්ට්‍රේලියාව තරග 64ක ජයග්‍රහණ ද ලෙසින් තරග නිමා කර තිබෙනවා. විසඳුමකින් තොරව අවසන් වූ තරග 4ක් ද ඒ අතර තිබෙනවා.

මෙම තරග අතර දෙරට පමණක් සහභාගී වූ තරගාවලි 8ක් ඇති අතර ඉන් තරගාවලි 4-3ක් ලෙසින් ඉදිරියෙන් පසුවීමට ශ්‍රී ලංකාව සමත් වෙනවා. 2013 වසරේ දී තරගාවලිය නිමා වෙන්නේ විසඳුමකින් තොරවයි.

එම තරග ඉතිහාසයේ දෙරට ක්‍රීඩකයෝ අවසන් වරට එකිනෙකා හමුව ඇත්තේ 2022 වසරේ දී ඕස්ට්‍රේලියා කණ්ඩායමේ මෙරට සංචාරයේදීයි. එම තරගාවලියට සඳහා එක්දින ජාත්‍යන්තර තරග 5ක් ඇතුලත් ව තිබූ අතර තරගාවලියෙන් 3-2ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වෙනවා.

දෙරට ද්විත්ව තරගාවලි ලැයිස්තුව

සත්කාරකත්වය තරග තරග ප්‍රතිඵලය වසර තරාගාවලියේ වීරයා
1 ශ්‍රී ලංකාව 4 ශ්‍රී ලංකාවට තරග 2-0ක ජයක්. 1983 ප්‍රදානය කෙරී නැත.
2 ශ්‍රී ලංකාව 3 ශ්‍රී ලංකාවට තරග 2-1ක ජයක්. 1992 ප්‍රදානය කෙරී නැත.
3 ශ්‍රී ලංකාව 5 ඕස්ට්‍රේලියාවට තරග 3-2ක ජයක්. 2004 Andrew Symonds
4 ඕස්ට්‍රේලියාව 3 ශ්‍රී ලංකාවට තරග 2-1ක ජයක්. 2010 ලසිත් මාලිංග
5 ශ්‍රී ලංකාව 5 ඕස්ට්‍රේලියාවට තරග 3-2ක ජයක්. 2011 Michael Clarke
6 ඕස්ට්‍රේලියාව 5 තරගාවලිය 2-2ක් ලෙසින් සමයි. 2013 නුවන් කුලසේකර
7 ශ්‍රී ලංකාව 5 ඕස්ට්‍රේලියාවට තරග 4-1ක ජයක්. 2016 George Bailey
8 ශ්‍රී ලංකාව 5 ශ්‍රී ලංකාවට තරග 3-2ක ජයක්. 2022 කුසල් මෙන්ඩිස්

කෙසේ වෙතත් ඕස්ට්‍රේලියානුවෝ යනු වර්තමාන ලෝක ශූර කණ්ඩායමයි. එබැවින් පෙර තරග වාර්තා දත්ත මගින් කණ්ඩායමක් මැනීම සුදුසු නොවේ. ඔවුන් ලෝක ශූරයන් වෙද්දී  එම තරගාවලියේ දී ම ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පෑ අසාර්ථකත්වය හේතුවෙන් ම ශූරයන්ගේ කුසලාන තරගාවලියට සහභාගීත්වය පවා අපේ ක්‍රීඩකයන් අහිමි කර ගන්නවා. එසේ වූවත් ඔවුන් ගේ දක්ෂතා ද කිසිසේත් ම අවතක්සේරු කළ නොහැකියි.

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා තරග ඉතිහාසයේ සුවිශේෂී කඩඉම්

376/9 (50.0): 2015 වසරේ දී ඕස්ට්‍රේලියාව විසින් Sydney හී දී ලබා ගත් මෙම ලකුණු සංඛ්‍යාව දෙරට ඉතිහාසයේ කණ්ඩායමක් වාර්තා කළ වැඩිම ලකුණු ප්‍රමාණයයි.

74/10 (26.4): 2013 වසරේ දී ශ්‍රී ලංකාව Brisbane හී දී ලබා ගත් මෙම ලකුණු සංඛ්‍යාව දෙරට ඉතිහාසයේ කණ්ඩායමක් වාර්තා කළ අඩු ම ලකුණු ප්‍රමාණයයි.

688: 2015 වසරේ දී Sydney හී දී වාර්තා කළ මෙම ලකුණු ප්‍රමාණය දෙරට ක්‍රීඩකයෝ එක් ව වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.

149: 2013 වසරේ දී Brisbane හී දී වාර්තා කළ මෙම ලකුණු ප්‍රමාණය දෙරට ක්‍රීඩකයෝ එක් ව වාර්තා කරන ලද අඩු ම ලකුණු සංඛ්‍යාවයි.

232: 1985 වසරේ දී Adelaide හී දී ඕස්ට්‍රේලියාව ලත් මෙම ජයග්‍රහණය දෙරට ඉතිහාසයේ කණ්ඩායමක් වැඩි ම ලකුණු සංඛ්‍යාවකින් ලත් ජයග්‍රහණයයි.

1: 2004 වසරේ දී දඹුල්ලේ දී ශ්‍රී ලංකාව ලත් මෙම ජයග්‍රහණය දෙරට ඉතිහාසයේ කණ්ඩායමක් අඩු ම ලකුණු සංඛ්‍යාවකින් ලත් ජයග්‍රහණයයි. එය ශ්‍රී ලංකා ඉතිහාසයේ එවන් දක්ෂතාවක් කළ ඉහළ ම අවස්ථාව ද ලෙසින් ද සටහන් වෙනවා.

163: 2012 වසරේ දී David Warner විසින් Brisbane හී දී රැස් කරන ලද මෙම ලකුණු සංඛ්‍යාව දෙරට ඉතිහාසයේ ක්‍රීඩකයෙක් වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.

6/31 (10.0): 2011 වසරේ දී Mitchell Johnson පල්ලෙකැලේ දී පෑ මෙම දක්ෂතාව දෙරට ඉතිහාසයේ පන්දු යවන්නෙක් වාර්තා කරන ලද ඉහළ ම දක්ෂතාවයි.

237: 2006 වසරේ දී Sydney හී දී Andrew Symonds සහ Ricky Ponting එක් ව 4 වැනි කඩුල්ලට එක් කළ මෙම ලකුණු සංඛ්‍යාව දෙරට ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් සඳහා වන ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.

ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ මෙරට තරග සංචාරයේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<