දිමුත් – Crowe සහ කුරේ

9

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැති 2 වැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය පසුගියදා නිමා වෙන්නේ දිමුත් කරුණාරත්න, Jeff Crowe සහ තුෂාර කුරේ ගේ අපූරු තුන් ඇඳූතු කතාවක් ද මතු කරමිනි.

දිමුත් කරුණාරත්න සේ ම Jeff Crowe ද ක්‍රිකට් පිටියේ නිරන්තර ව කියැවෙන නම් ය. ඔවුන් ගැන නැවත නැවතත් හඳුන්වා දීමක් අවශ්‍ය නැත. නමුත් තුෂාර කුරේ යනු කවරෙක්ද? බොහෝ දෙනෙක්ට මේ කුරේ කවුරුන්දැයි ප්‍රශ්නයක් වනවාට කිසිදු සැකයක් නැත.

දෙස් විදෙස් ක්‍රිකට් මාධ්‍ය සහෘදයන් අතර ප්‍රියමනාප චරිතයක් වන තුෂාර කුරේ, ක්‍රිකට් ලකුණු සටහන්කරුවෙකි. නිමා වූ ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් තරගයේ ද මාධ්‍ය ලකුණු සටහන්කරු ලෙසින් කටයුතු කළ ඔහුගේ ශතක සපිරූ ටෙස්ට් ක්‍රිකට් තරගය වූයේ ද එයයි.

තුෂාර කුරේ ගේ ටෙස්ට් තරග කඩඉම්
Mat Year Date Team 1 Captain Team 2 Captain Venue
1 1987 අප්‍රේල් 16-21 ශ්‍රී ලංකාව දුලිප් මෙන්ඩිස් නවසීලන්තය Jeff Crowe CCC
25 1998 මැයි 27-31 ශ්‍රී ලංකාව අර්ජුන රණතුංග නවසීලන්තය Stephen Fleming RPICS
50 2002 ජනවාරි 12-15 ශ්‍රී ලංකාව සනත් ජයසූරිය සිම්බාබ්වේ Stuart Carlisle GICS
75 2010 නොවැම්බර් 23-27 ශ්‍රී ලංකාව කුමාර් සංගක්කාර බ.ඉ.කො Daren Sammy RPICS
100 2025 පෙබරවාරි 6-10 ශ්‍රී ලංකාව ධනංජය ද සිල්වා ඕස්ට්‍රේලියාව Steven Smith GICS

(දත්ත – චමින්ද ද සිල්වා)

1982 වසරෙන් ඇරඹි ශ්‍රී ලංකා ටෙස්ට් තරග ඉතිහාසයේ 25 වැනි තරගය වූයේ 1987 අප්‍රේල් මස 16 වැනිදා සිට 21 වැනිදා දක්වා කොළඹ ක්‍රීඩා සමාජ පිටියේ දී හෙවත් CCC ක්‍රීඩාංගණයේ දී පැවැති නවසීලන්තය හා සමඟ තරගයයි. එම තරගය අපගේ මේ කතා නායක තුෂාර කුරේ ගේ මංගල ටෙස්ට් ක්‍රිකට් ලකුණු සටහන්කරණ තරග පැවැරුම ද වූයේ ය.

එම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම දුලිප් මෙන්ඩිස් සතු වෙන අතර නවසීලන්ත කණ්ඩායම මෙහෙයවන්නේ Jeff Crowe විසිනුයි. එය Jeff Crowe නායකත්වයට පත් පළමු තරගයයි.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් වංශකතා ඉතිහාසයේ මෙම සුවිශේෂී කඩඉම් තරගය සේ ම ඊට පසුව එළැඹි 50 වැනි තරගය, 75 වැනි තරගය සහ 100 වැනි තරගයේ දී ද ලකුණු සටහන් කිරීමේ භාග්‍යවන්තයා වීමට තුෂාර කුරේ සමත් වෙන්නේ ය.

එම තරග පොකුර වන්නේ බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟින් මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ දී පැවැති 50 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය, ඉන්දියාව සමඟින් කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැති 75 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සහ පාකිස්තානය සමඟින් කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැති 100 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයයි.

ක්‍රිකට් ලකුණු සටහන් ඉතිහාසයේ එවන් සුවිශේෂී මතකයන් සේ ම 1996 සහ 2011 වසරවල දී පැවැති එක්දින ලෝක කුසලාන තරගාවලියන්, 2000 සහ 2006 වසරවල දී පැවැති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියන්, 2012 වසරේ දී පැවැති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය මෙන් ම ලංකා ප්‍රිමියර් ලීග් (LPL) සහ ලංකා T10 තරගාවලියන්වල දී ද ඔහුගේ මල්ටිකලර් පෑන්වලින් ලකුණු සටහන් පොත් හැඩ කිරිමට තුෂාර කුරේ සමත් වූවේ ය.

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආවරණය කළ තුෂාර කුරේ ඇතුළු ලකුණු සටහන්කරුවන් සංචිතය

එමෙන් ම 1997 වසරේ දී කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ඉන්දියාවට එරෙහි ව ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 6කට ලකුණු 952ක් ලබා ගනිමින් ලෝක ටෙස්ට් තරග ඉතිහාසයේ කණ්ඩායමක් ඉනිමක දී ලබා ගත් වැඩිම ලකුණු ප්‍රමාණය සටහන් තැබීමේ දී ද තුෂාර කුරේ ගේ දායකත්වය හිමි වීම සුවිශේෂීයි.

සනත් ජයසූරිය 1997 වසරේ දී ඉන්දියාවට එරෙහි ව ලබා ගත් ලකුණු 340 සටහන් තැබෙන්නේ ද කුරේ ගේ පෑන් තුඩින් වන අතර එය වාර්තා අතරට එක් වෙන්නේ මෙරට ක්‍රීඩකයෙක් විසින් එක් ඉනිමක දී මෙතෙක් ලබා ඇති වැඩිම ලකුණු අතර 2 වැනි ස්ථානයට පත් දක්ෂතාව ලෙසිනි.

එමෙන් ම 2004 වසරේ අස්ගිරිය ක්‍රීඩාංගණයේ දී මුත්තයියා මුරලිදරන් විසින් ලකුණු 51කට කඩුලු 9ක් දවා ගනිමින් මෙරට ඉතිහාසයේ පන්දු යවන්නෙක් පෑ ඉහළ ම දක්ෂතාව දක්වද්දී ද එහි සටහන් තැබීමේ භාග්‍යවන්තයා වීමට ද කුරේ සමත් වූයේ ය.

ක්‍රිකට් ලකුණු සටහන්කරණයේ දී තමන්ට ම ආවේණික ක්‍රමවේදයකට අනුව කටයුතු කරන තුෂාර කුරේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුමැතිය ලත් එක්දින තරග වෙනුවෙන් සහ පළමු පෙළ ද්විත්ව ඉනිම් තරග වෙනුවෙන් භාවිතයට ගනු ලබන ලකුණු සටහන් පොත්වල නිර්මාතෘ ද වන්නේ ය.

තුෂාර කුරේ ටෙස්ට් තරග ශතක ඉතිහාසය
Team Spam Matches
ඇෆ්ගනිස්තානය 2024 01
ඕස්ට්‍රේලියාව 1992 – 2025 11
බංග්ලාදේශය 2001 – 2021 09
එංගලන්තය 1993 – 2020 12
ඉන්දියාව 1993 – 2017 15
අයර්ලන්තය 2023 01
නවසීලන්තය 1987 – 2024 11
පාකිස්තානය 1994 – 2023 13
දකුණු අප්‍රිකාව 1993 – 2018 10
බටහිර ඉන්දීය කොදෙව් 1993 – 2021 10
සිම්බාබ්වේ 1996 – 2002 07

(දත්ත – චමින්ද ද සිල්වා)

කුරේට Crowe සම්මුඛ වීම

මේ වන විට 31 දෙනෙක් වන නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් නායක ලැයිස්තුවේ 18 වැනි ස්ථානය හිමි වෙන්නේ Jeff Crowe වෙතය. ඔහු නායකත්වයේ කබාය පැළිඳි මංගල තරගයේ දී ම තුෂාර කුරේ ද තම මංගල ටෙස්ට් ක්‍රිකට් තරගය වෙනුවෙන් ලකුණු සටහන්කරණයට පිවිසුණි.

එමෙන් ම එම තරගය බ්‍රෙන්ඩන් කුරුප්පු ගේ ද මංගල ටෙස්ට් තරගය වීම විශේෂත්වයකි. මෙරට ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයට වාර්තා රැසක් ම එක් කළ තරගයක් වූ එහි දී කෝඩුකාර බ්‍රෙන්ඩන් කුරුප්පු පන්දු 548ක දී හතරේ පහර 24ක් සමඟින් නොදැවී ලකුණු 201ක් වාර්තා කළ අතර එය කෝඩුකාර කුරේ ගේ පෑන්වලින් ලකුණු සටහන් පොතේ හැඩට ලියැවුණි.

එදා බ්‍රෙන්ඩන් කුරුප්පු විසින් වාර්තා කළ එම ඉනිම තුෂාර කුරේ වෙතින් සටහන් වූයේ, මංගල ටෙස්ට් තරගයක දී ශතකයක් වාර්තා කළ පළමු ශ්‍රී ලංකා පිතිකරුවා, ශ්‍රී ලංකාව වෙනුවෙන් ද්විත්ව ශතකයක් වාර්තා කළ පළමු වැන්නා, මංගල ටෙස්ට් තරගයක දී ද්විත්ව ශතකයක් වාර්තා කළ ලොව පළමු කඩුලු රකින්නා, මංගල ටෙස්ට් තරගයක දී වැඩිම ලකුණු ලැබූ ලොව ආරම්භක පිතිකරුවා ලෙසිනුයි.

එමෙන් එම තරගයේ දී Jeff Crowe මිනිත්තු 609ක් කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 398කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සමඟින් නොදැවී ලකුණු 120ක් ලබා ගත් අතර එය ද කුරේ ගේ ඉලක්කම්වලින් හැඩ කිරිමට සිදු වූයේ ය. එය Crowe ගේ ටෙස්ට් තරග 39ක නායකයා ලෙසින් ක්‍රීඩා කළ තරග 6ක දී වාර්තා කරන ලද එක ම ශතකය ද වූවේ ය.

එදා එම වාර්තාවන් ද සමඟින් එලෙසින් නිමා වූ තරගයෙන් අනතුරු ව මේ ප්‍රතිවාදී පළමු නායකයා වූ Jeff Crowe නැවත තුෂාර කුරේට ක්‍රීඩකයෙක් ලෙසින් සම්මුඛ වන්නේ නැත. නමුත් ඊට පසුව තරග තීරකයෙක් ලෙසින් අවස්ථා කිහිපයක දී ඔවුනොවුන් හමු වූව ද එය තරගයක් පමණක් වෙමින් නිමා වූයේ ය.

එලෙස ගෙවී ගිය කාලය වසර 38ක් වූ තැන නැවත ඔවුනොවුන් හමුවෙන්නේ මේ වසරේ දී ය.  එය කුරේ ගේ 100 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය වීම ද හරි අපූරු ය.

කුරේට දිමුත් සම්මුඛ වීම

නවසීලන්තයට එරෙහි ව 2012 වසරේ දී ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ටෙස්ට් බෞතීස්ම ලැබූ දිමුත් කරුණාරත්න 2025 වසරේ දී එම ක්‍රිඩාංගණයේ දී ම ඕස්ට්‍රේලියාව හමුවේ තම 100 වැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයට සහභාගී වූයේ ය.

දිමුත් කරුණත්න තම මංගල ටෙස්ට් තරගයට සහභාගී වන විට තුෂාර කුරේ ටෙස්ට් තරග 80කට තම දායකත්වය දක්වා තිබූ අතර ඊට වසර 13කට පසුව දිමුත් සේ ම කුරේ ද 100 වැනි ටෙස්ට් තරග සැමරුමේ දී ද නැවත එකට එක් වූ හ. ඒ අනුව දිමුත් කරුණාරත්න ගේ එම සම්ප්‍රාප්තීන් ද්විත්වය ම සටහන් තැබීමේ වාසනාව තුෂාර කුරේ වෙත හිමි වන්නේ ය.

ඊට අමතර ව දිමුත් ගේ ටෙස්ට් තරග දිවියේ තවත් බොහෝ කඩඉම්වල දී තුෂාර කුරේට ද පෑනෙන් පෙළහැර පෑමට අවකාශ ලැබෙන්නේ ය. ඒ අතර දිමුත් කරුණාරත්න ගේ ටෙස්ට් තරග දිවියේ මෙරට දී වාර්තා කරන ලද මංගල ශතකයේ සටහන ද වන්නේ ය.

2015 වසරේ ජුලි මස 3 වැනිදා සිට 7 වැනිදා දක්වා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පාකිස්තානය සමඟ පැවැති තරගයේ දී පන්දු 230කට මුහුණ දෙන දිමුත් හතරේ පහර 14ක් සමඟින් ලකුණු 130ක් ලබා ගත්තේය. එය ඔහු මෙරට දී සහභාගී වූ 6 වැනි තරගයට වූ අතර කුරේ ගේ ටෙස්ට් තරග දිවියේ 83 වැනි තරගයයි.

ඉන් අනතුරු ව ද කුරේ සහ දිමුත් අතර සම්ප්‍රාප්තීන් කිහිපයක් ම ගෙවී ගිය ද නැවත සුවිශේෂී ඉනිමක දෙදෙනාට ම නියැලීමට අවස්ථාව සැලසෙන්නේ 2021 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සිට 25 වැනිදා දක්වා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී බංග්ලාදේශය හා සමඟ පැවැති තරගයේ දී ය.

එහි දී දිමුත් පන්දු 435කට මුහුණ දෙමින් හතරේ පහර 26ක් සමඟින් ලකුණු 244ක් ලබා ගන්නා ලද අතර එය ඔහුගේ ටෙස්ට් තරග දිවියේ ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වන්නේ ය.

එතැන් සිට තවත් තරග කිහිපයක නිමාවකින් පසුව නැවත දිමුත් සහ කුරේ එකිනෙකා සම්මුඛ වෙන්නේ 2025 පෙබරවාරි මස 6 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගයේ දී ය. එම තරගය මේ දෙදෙනාගේ ම ශතක සපිරූ ටෙස්ට් ක්‍රිකට් තරගය ද වූයේ ය.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව වන ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<