සුමේධ ලෝකයේ අංක එකට එයි!

U19 Division 1 Schools Cricket Tournament 2024/25

25
Sumedha Ranasingha

2025 ජාතික මලල ක්‍රීඩා තේරීම් තරග ඊයේ (08) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා. 

මෙහි දී පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්ව නියෝජනය කළ ශ්‍රී ලංකා යුද හමුදාවේ සුමේධ රණසිංහ මීටර් 82.57ක දක්ෂතාවක් දැක්වීමට සමත් වූ අතර, එය මෙම තරගවාරය වෙනුවෙන් මෙතෙක් ලොව හොඳම දක්ෂතාව ලෙස සටහන් වීම විශේෂත්වයක්. 

එමෙන්ම ඔහුට කරට කර සටනක් ලබා දුන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රුමේෂ් තරංග මීටර් 79.58ක දුරක් හෙල්ල විසි කිරීමට සමත් වුනා. 

මේ අතර තත්පර 21.37ක තරග නිමි කාලයක් සමඟ පිරිමි මීටර් 200 ඉසව්ව ජයග්‍රහණය කිරීමට යුද හමුදාවේ සඳුන් දියලවත්ත සමත් වූ අතර, අරුණ දර්ශන විසින් පිරිමි මීටර් 300 ඉසව්ව තත්පර 33.28කින් නිමා කිරීමට ද සමත් වුනා. යුද හමුදාව නියෝජනය කළ සඳරුවන් කරුණාරත්න මීටර් 800 ඉසව්ව ජය ගැනීමට සමත් වූ අතර, ශ්‍රී ලංකා පොලිසියේ හේමන්ත කුමාර පිරිමි මීටර් 5000 ඉසව්ව ජය ගැනීමට සමත් වුනා. 

මේ අතර පිරිමි මීටර් 110 කඩුලු මතින් දිවීම ඉසව්ව ජයග්‍රහණය කිරීමට කවීෂ බණ්ඩාර සමත් වුනේ තත්පර 14.10කින් ඉසව්ව නිමා කරමිනුයි. 

පිරිමි මීටර් 400 කඩුලු මතින් දිවීම ඉසව්ව ජය ගැනීමට A.A. කුඩා ලියනගේ සමත් වූ අතර, පිරිමි දුර පැනීම ඉසව්ව ජය ගැනීමට යුද හමුදාවේ ප්‍රසාද් විමලසිරි විසින් සමත් වුනා. 

මේ අතර කාන්තා මීටර් 200 ඉසව්ව ජය ගැනීමට යුද හමුදාවේ පැහැසරා මජුවනගමගේ සමත් වූ අතර, කාන්තා මීටර් 800 ඉසව්වේ ජය ගුවන් හමුදාවේ K.G.M.N.M. කුමාරි සමත් වුනා. 

මේ අතර කාන්තා මීටර් 100 කඩුලු මතින් දිවීම ඉසව්ව ජය ගැනීමට යුද හමුදාවේ H.W.K.හපුආරච්චි සමත් වූ අතර, කාන්තා මීටර් 400 කඩුලු මතින් දිවීම ඉසව්ව ජය ගැනීමට ගුවන් හමුදාවේ K.H.A.D. කෞශල්‍යා සමත් වුනා. 

කාන්තා දුර පැනීම ඉසව්ව ජය ගැනීමට මදුශානි හේරත් සමත් වුනා. 

තේරීම් තරගවල දෙවැනි දිනය අද (09) ක්‍රියාත්මක වීමට නියමිතයි. එම තරග තොරතුරු ද ඔබ වෙත රැගෙන ඒමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

<<තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න>>