නිමා වූ 2024 වසරේ ශ්‍රී ලාංකීය ක්‍රිකට් කෙතේ සරු බීජ බවට පත් වීමට චරිත් අසලංක, පැතුම් නිස්සංක, වනිඳු හසරංග, කමිඳු මෙන්ඩිස් සහ චමරි අතපත්තු සමත් වුනා.
ඔවුන් අතුරින් කමිඳු මෙන්ඩිස් 2024 වසරේ ICC නැගී එන ක්‍රීඩකයා ලෙසින් ද සහ චරිත් අසලංක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් සහ වනිඳු හසරංග 2024 වසරේ ලෝක එක්දින පිරිමි කණ්ඩායමේ අසුන්වලටත් චමරි අතපත්තු ලෝක එක්දින කාන්තා කණ්ඩායමටත් සහ ලෝක විස්සයි විස්ස කාන්තා කණ්ඩායම්වලටත් නම් කෙරෙනවා. එමෙන් ම නම් කරන ලද එක්දින පිරිමි කණ්ඩායමේ නායකත්වයේ වගකීම ද හිමි වෙන්නේ ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස නායක චරිත් අසලංක වෙතයි.
කමිඳු මෙන්ඩිස්
ගෙවීගිය වසරේ දී ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස රටා ත්‍රිත්වයෙන් ම දක්ෂතා දැක් වු කමිඳු මෙන්ඩිස් 2024 වසරේ ICC නැගී එන ක්‍රීඩකයා ලෙසින් සම්මානය සඳහා නිර්දේශ වන්නේ කැලැන්ඩර් වසරක් තුළ ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තරග රටා ත්‍රිත්වයේ දී ම ලකුණු 1451ක් ලබා ගනිමින් පෑ දක්ෂතා ද සැලකිල්ලට ගනිමිනුයි. මේ අතුරින් ඔහුගේ කැපී පෙණෙන ඉනිම් වාර්තා වූයේ ටෙස්ට් තරග පිටියේදීයි.
ඔහුගේ ගෙවී ගිය වසරේ දක්ෂතා අතර ලොව වේගවත් ම ටෙස්ට් ලකුණු 1000 සීමාව පසු කළ තෙවැනි පිතිකරු ලෙසින් ද ඉතිහාසයට එක් වීම කැපී පෙණෙනවා.
කමිඳු මෙන්ඩිස්ගේ 2024 වසරේ පිතිකරු දක්ෂතා
Mat | Inns | NO | Runs | Best | Ave | 100s | 50s | 4s | 6s | |
Test | 9 | 16 | 2 | 1049 | 182* | 74.92 | 5 | 2 | 108 | 21 |
ODI | 7 | 6 | 4 | 104 | 40 | 52.0 | 0 | 0 | 7 | 2 |
T20 | 18 | 16 | 1 | 305 | 65* | 20.33 | 0 | 2 | 33 | 10 |
කමිඳු නිමා වූ වසරේ දී ලකුණු දඩයම ආරම්භ කරන්නේ තමන් සහභාගී වූ පළමු ඉනිම් ද්විත්වයේ දී ම ශතක වාර්තා කරමිනුයි. ඔහු එම දක්ෂතාව සිදු කරන්නේ බංග්ලාදේශයට එරෙහි ව එරටදී යි.
එම ශතක ද්විත්වය අමතර ව නවසීලන්තයට එරෙහි ව තරග 2ක දී ශතක ද්විත්වයක් සහ එංගලන්තයට එරෙහි ව ද ශතකයක් ලෙසින් ගෙවී ගිය වසරේ දී තම ගිණුමට ශතක 5ක් එක් කර ගැනීමට කමිඳු සමත් වෙනවා.
ඊට අමතර ව බංග්ලාදේශයට එරෙහි ව අර්ධ ශතකයක් සහ එංගලන්තයට එරෙහි ව ලැබූ අර්ධ ශතක 2ක් ද ඔහුගේ ගිණුමට එක් වෙනවා.
ඒ අතර ඔහුගේ තරග 10ක ටෙස්ට් තරග දිවියේ හොඳම ඉනිම ද වාර්තා කිරීමට සමත් වීම ද කැපී පෙණෙනවා. ඒ නවසීලන්තයට එරෙහි ව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැති ටෙස්ට් තරගයේ දී නොදැවී ලබා ගත් ලකුණු 182යි.
ගෙවීගිය වසරේ දී කමිඳු බංග්ලාදේශය හා සමඟ තරගාවලියේ වීරයා ලෙසත් සහ 2 වැනි තරගයේ වීරයා ලෙසත්, නවසීලන්තය හා සමඟ තරගාවලියේ 2 වැනි ටෙස්ට් තරගයේ වීරයා ලෙසත් සම්මාන දිනා ගැනීමට ද සමත් වෙනවා.
එමෙන් ම ICC ය විසින් නම් කරන 2024 වසරේ ටෙස්ට් කණ්ඩායමේ අසුනක් ද කමිඳු මෙන්ඩිස් හිමි ව තිබෙනවා.
2024 වසරේ ICC ටෙස්ට් කණ්ඩායම
Yashasvi Jaiswal (ඉන්දියාව), Ben Duckett (එංගලන්තය), Kane Williamson (නවසීලන්තය), Joe Root (එංගලන්තය), Harry Brook (එංගලන්තය), කමිඳු මෙන්ඩිස් (ශ්‍රී ලංකාව) Jamie Smith (එංගලන්තය – කඩුලු රකින්නා), Ravindra Jadeja (ඉන්දියාව), Pat Cummins (ඕස්ට්‍රේලියාව – නායක), Matt Henry (නවසීලන්තය), Jasprit Bumrah (ඉන්දියාව).
කමිඳු මෙන්ඩිස් එක්දින තරග පිටියේ දී තරග 7ක ඉනිම් 6ක ලකුණු 104ක් ද සහ විස්සයි විස්ස තරග පිටියේ තරග 18ක ඉනිම් 16ක දී ලබා ගත් ලකුණු 305ක් ද ඔහුගේ 2024 වසරේ දක්ෂතා අතර රැදී තිබෙනවා.
චරිත් අසලංක
ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුව විසින් නම් කරන ලද 2024 වසරේ එක්දින පිරිමි කණ්ඩායමේ නායකත්වයට චරිත් අසලංක නම් කෙරෙන අතර එම කණ්ඩායමට තවත් ශ්‍රී ලාංකීය ක්‍රීඩකයන් තිදෙනෙක් ද ඇතුලත් වෙනවා.
ශ්‍රී ලාංකීය ක්‍රිකට් ඉතිහාසයේ එක් වසරක දී ලෝක ඇගයීමට මේ තරමින් ක්‍රීඩකයන් පත් පළමු අවස්ථාව ද මෙයයි.
නම් කරන ලද එම කණ්ඩායමට ශ්‍රී ලංකාව හැර ඇෆ්ගනිස්තානයෙන් ක්‍රීඩකයන් 3 දෙනක් ද සහ පාකිස්තානයෙන් ක්‍රීඩකයන් 3 දෙනෙක් ද බැගින් නම් කර තිබෙන අතර 2024 වසරේ ලෝක ශූර ඉන්දීය කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයෙක් මෙම කණ්ඩායමට ඇතුලත් නොවීම විශේෂත්වයක්.
චරිත් අසලංක ගේ නායකත්වයෙන් යුත් 2024 වසරේ ICC පිරිමි එක්දින කණ්ඩායම
චරිත් අසලංක (ශ්‍රී ලංකාව – නායක), Saim Ayub (පාකිස්තානය), Rahmanullah Gurbaz (ඇෆ්ගනිස්තානය), පැතුම් නිස්සංක (ශ්‍රී ලංකාව), කුසල් මෙන්ඩිස් (ශ්‍රී ලංකාව – කඩුලු රකින්නා), Sherfane Rutherford (බටහිර ඉන්දීය කොදෙව්), Azmatullah Omarzai (ඇෆ්ගනිස්තානය), වනිඳු හසරංග (ශ්‍රී ලංකාව), Shaheen Shah Afridi (පාකිස්තානය), Haris Rauf (පාකිස්තානය), Allah Ghazanfar (ඇෆ්ගනිස්තානය).
චරිත් ගෙවි ගිය වසරේ දී ක්‍රීඩා කරනු ලබන්නේ එක්දින තරග 18කට පමණක් වන අතර එහි දී පිතිකරුවෙක් ලෙසින් ලකුණු 605ක් ද පන්දු යවන්නෙක් ලෙසින් කඩුලු 10ක් ද දවා ගැනීමට සමත් වෙනවා.
චරිත් අසලංක ගේ පිතිකරු දක්ෂතා
Mat | Inns | NO | Runs | HS | Ave | 100s | 50s | 4s | 6s | |
ODI | 71 | 63 | 9 | 2169 | 110 | 40.16 | 3 | 14 | 175 | 51 |
2024 | 18 | 16 | 4 | 605 | 101 | 50.41 | 1 | 4 | 52 | 18 |
චරිත් ක්‍රීඩා කළ ගෙවී ගිය වසරේ හොඳම ඉනිම බවට පත් වෙන්නේ ජනවාරි මාසයේ දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි ව කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පන්දු 95කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමඟින් ලබා ගත් ලකුණු 101යි.
එම ඉනිමට අමතර ව ඇෆ්ගනිස්තානයට, බංග්ලාදේශයට සහ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි ව ලබා ගත් අර්ධ ශතක ද්විත්වයක් ද සමඟින් අර්ධ ශතක 4ක් ද ඔහුගේ ඉනිම් අතරට එක් කර ගන්නවා.
මේ ඉනිම් සමඟින් ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 50 ඉක්මවා තබා ගැනීමට ද ඔහු සමත් විම කැපී පෙණෙනවා.
චරිත් අසලංක ගේ පන්දු යැවීමේ දක්ෂතා
Mat | Inns | Overs | Mdns | Runs | Wkts | BBI | 4 | 5 | |
ODI | 71 | 24 | 83.5 | 4 | 406 | 15 | 4/18 | 1 | 0 |
2024 | 18 | 14 | 56.4 | 3 | 271 | 10 | 3/20 | 0 | 0 |
කණ්ඩායමේ අමතර පන්දු යවන්නෙක් ලෙසින් ද කටයුතු කරන චරිත් ගෙවී ගිය වසරේ දී කඩුලු 10ක් ලබා ගැනීමට සමත් වෙනවා. එම කඩුලු අතර ඔහුගේ හොඳම පන්දු යැවීම බවට පත් වෙන්නේ ඉන්දියාවට එරෙහි ව කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ලකුණු 20කට දවා ගත් කඩුලු 3යි.
තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක් වූ චරිත් නායකයෙක් ලෙසින් ද ගෙවී ගිය වසරේ දී දක්ෂතා දැක්වීමට සමත් වීම කැපී පෙණෙනවා.
2024 වසරේ අගෝස්තු මාසයේ දී මෙරට පිවිසි ඉන්දීය කණ්ඩායමට එරෙහි ව පළමු වරට නායකත්වයට පත් චරිත් අසලංක තමන් නායකත්වයට පත් පළමු තරගය ම නිමා කරන්නේ ලකුණු සම කරමින්. එතැන් සිට පැවැති තරග 4 ම ජයග්‍රහණය කරා රැගෙන යන චරිත් ගෙවී ගිය වසරේ දී තම නායකත්වයේ තරග අවසන් කරන්නේ ජයග්‍රහණය 6ක්, පරාජිත 1ක්, ලකුණු සම කරමින් 1ක් සහ නොවිසඳුණ 1ක් ලෙසිනුයි.
මේ තරග අතුරින් පරාජිත එක ම තරගය වෙන්නේ බටහිර ඉන්දීය කොදෙව්වන් වෙතින් ලත් පරාජයයි. විසඳුමකින් තොරව අවසන් වෙන්නේ නවසීලන්තය සමඟ පැවැති තරගයකුයි.
මේ ගමනේ දී ඉන්දියාව සමඟින් වූ තරග 3කින් යුත් තරගාවලිය තරග 2-0ක් ලෙසත්, බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟින් වූ තරග 3කින් යුත් තරගාවලිය තරග 2-1ක් ලෙසත් සහ නවසීලන්තය සමඟින් තරග 3කින් යුත් තරගාවලිය තරග 2-0ක් ලෙසින් ජයග්‍රහණ කරා රැගෙන යෑමට චරිත් සමත් වෙනවා.
නායකයා ලෙසින් අභිශේක ලැබූ පසු ඔහුගේ ඉනිම් අතර ඇති ඉහළ ම ලකුණු සංඛ්‍යාව වන්නේ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි ව පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පන්දු 71කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් සමඟින් ලබා ගත් ලකුණු 77යි.
- කමිඳු ICC නැගී එන ක්‍රීඩකයා සම්මානය හිමි කර ගනී
- Warne-Murali ටෙස්ට් තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
- කුසල්, පැතුම්, කමිඳු සහ වනිඳු 2024 වර්ණවත් කළ අයුරු
- ICC සම්මාන දෙකක් සඳහා තවත් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් නිර්දේශ ලබයි
- කමිඳු මෙන්ඩිස් ICC වසරේ නැගී එන ක්‍රීඩකයා සම්මානයට නිර්දේශ ලබයි
වනිඳු හසරංග
එක්දින සහ විස්සයි විස්ස තරග රටා ද්විත්වයේ ම ICC 2024 කණ්ඩායම් සඳහා එක් වීමට වනිඳු හසරංග සමත් වෙනවා.
වනිඳු හසරංග 2024 වසරේ දී පන්දු යවන්නෙක් ලෙසින් පෑ දක්ෂතා
Mat | Inns | Overs | Mdns | Runs | Wkts | BBI | 4 | 5 | |
ODI | 10 | 10 | 75.4 | 3 | 406 | 26 | 7/19 | 3 | 1 |
T20 | 20 | 20 | 76.2 | 1 | 543 | 38 | 4/15 | 2 | 0 |
වනිඳු හසරංග නිමා වූ වසරේ තම එක්දින තරග දිවියේ කඩුලු දඩයමට එක් වෙන්නේ තම එක්දින තරග පිටියේ හොඳම පන්දු යැවීම ද වාර්තා අතරට එක් කර ගනිමිනුයි. ඒ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි ව කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ලකුණු 19කට කඩුලු 7ක් දවා ගනිමින්.
එම දක්ෂතාවට අමතර ව ඔහු ඇෆ්ගනිස්තානයට එරෙහි ව, බංග්ලාදේශයට එරෙහි ව සහ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි ව කඩුලු 4ක් බැගින් මෙම වසරේ දී දවා ගැනීමට ද සමත් වෙනවා.
නිමා වූ වසරේ විස්සයි විස්ස තරග 20කට සහභාගී වෙන වනිඳු හසරංග කඩුලු 38ක් තම ගිණුමට බැර කර ගන්නවා. එහි දී ඔහු සහභාගී වූ සෑම තරගයක දී කඩුල්ලක් හෝ දවා ගැනීමට සමත් වෙන අතර හොඳම පන්දු යැවීම බවට පත් වෙන්නේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි ව ලකුණු 15කට දවා ගත් කඩුලු 4යි.
ඊට අමතර ව නවසිලන්තය සමඟින් පැවැති 2 වැනි තරගයේ දී ද කඩුලු 4ක් දවා ගැනිමට ඔහු සමත් වෙනවා.
වනිඳු හසරංග 2024 වසරේ දී පිතිකරුවෙක් ලෙසින් පෑ දක්ෂතා
Mat | Inns | NO | Runs | HS | Ave | 100s | 50s | 4s | 6s | |
ODI | 10 | 5 | 0 | 87 | 25 | 17.4 | 0 | 0 | 5 | 6 |
T20 | 20 | 18 | 3 | 179 | 67 | 11.93 | 0 | 1 | 17 | 8 |
ගෙවී ගිය වසරේ දී වනිඳු හසරංග ගේ පිත්ත එතරම් ම ක්‍රියාකිරී වූයේ නැහැ. එහෙත් එක්දින සහ විස්ස තරග රටා ද්විත්වයේ දී ඔහු ලකුණු 266ක් ලබා ගන්නවා. ඒ අතර ඔහුගේ ඉහළ ම ලකුණු සංඛ්‍යාව වූයේ ඇෆ්ගනිස්තානයට එරෙහි ව දඹුල්ලේ පැවැති විස්සයි විස්ස තරගයේ දී පන්දු 32ක දී ලබා ගත් ලකුණු 67යි.
පැතුම් නිස්සංක
එක්දින තරග පිටියේ 2024 වසරේ එක ම ද්විත්ව ශතකලාභියා බවට පත් පැතුම් නිස්සංක ICC විසින් නම් කරන ලද පිරිමි එක්දින කණ්ඩායමේ ඉදිරි පෙළ අසුනක් වෙන්කර ගෙන ගැනිමට සමත් වෙනවා.
පැතුම් නිස්සංක ගේ පිතිකරු දක්ෂතා
Mat | Inns | NO | Runs | HS | Ave | 100s | 50s | 4s | 6s | |
ODI | 64 | 64 | 5 | 2498 | 210* | 42.33 | 6 | 16 | 312 | 32 |
2024 | 12 | 12 | 1 | 694 | 210* | 63.09 | 3 | 2 | 86 | 17 |
2024 වසරේ ඔහු සහභාගී පළමු තරගයේ දී ම ඇෆ්ගනිස්තානයට එරෙහි ව පන්දු 139කට මුහුණ දෙමින් හතරේ පහර 20ක් සහ හයේ පහර 8ක් සමඟින් නොදැවී ලබා ගත් ලකුණු 210 ඔහුගේ තරග 64ක් වන එක්දින ජාත්‍යන්තර තරග පිටියේ ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වෙනවා.
එම ඉනිමට අමතර ව නැවතත් ඇෆ්ගනිස්තානයට එරෙහි ව සහ බංග්ලාදේශයට එරෙහි ව ලබා ගත් ශතක ද්විත්වයක් සමඟින් ඉන්දියාවට සහ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි ව වාර්තා කරන ලද අර්ධ ශතක ඉනිම් 2ක් ද මේ වසරේ ලකුණු අතරට ඇතුලත්.
කුසල් මෙන්ඩිස්
ICC විසින් නම් කරන ලද පිරිමි එක්දින කණ්ඩායමේ කඩුලු රැකිමේ වගකීමත් සමඟින් ඉදිරි පෙළ පිතිකරුවෙක් ලෙසිනුයි කුසල් මෙන්ඩිස් මෙම කණ්ඩායමට එක් වෙන්නේ.
කුසල් මෙන්ඩිස් ගේ එක්දින තරග පිටියේ පිතිකරු දක්ෂතා
Mat | Inns | NO | Runs | HS | Ave | 100s | 50s | 4s | 6s | |
ODI | 141 | 138 | 12 | 4309 | 143 | 34.19 | 4 | 33 | 431 | 74 |
2024 | 17 | 17 | 3 | 742 | 143 | 53.0 | 1 | 6 | 78 | 10 |
නිමා වූ වසරේ කුසල් මෙන්ඩිස් ගේ හොඳම ඉනිම බවට පත් වෙන්නේ නවසීලන්තයට එරෙහි ව දඹුල්ලේ දී පන්දු 128කට මුහුණ දෙමින් හතරේ පහර 17ක් සහ හයේ පහර 2ක් සමඟින් ලබා ගන්නා ලද ලකුණු 143යි. එය ඔහුගේ තරග 141ක එක්දින තරග පිටියේ හොඳම ඉනිම බවට ද පත් වුණා.
එම ඉනිමට අමතර ව අර්ධ ශතක 6ක් ද කුසල් තම ලකුණු අතරට එක් කර ගන්නා ලද අතර ගෙවී ගිය වසරේ දී තරගයක සාමාන්‍ය 53.0ක් ලෙසින් පවත්වාගෙන යෑමට ද සමත් වෙනවා.
කඩුල්ල පිටුපස මෙහෙවරේ දී ඔහු ගෙවී ගිය වසරේ දී කඩුලු 19ක් දවා ගැනීමට දායක වී තිබෙනවා. ඒ අතර කඩුල්ල බිඳ දැමීම් 7ක් සහ උඩ පන්දු රැක ගැනීම් 12ක් ඒ අතර තිබෙනවා.
චමරි අතපත්තු
2024 වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව, වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව සහ විස්සයි විස්ස ක්‍රිකට් ක්‍රීඩිකාව යන සම්මාන ත්‍රිත්වය සඳහා ම නිර්දේශ ව ඇති චමරි අතපත්තු ලෝක එක්දින කාන්තා කණ්ඩායමේ මෙන් ම ලෝක විස්සයි විස්ස කාන්තා කණ්ඩායමේ ද සාමාජිකාවක් ලෙසින් නම් කෙරෙනවා.
චමරි අතපත්තුගේ එක්දින සහ විස්සයි විස්ස තරග පිටියේ දක්ෂතා
Mat | Inns | NO | Runs | HS | Ave | 100s | 50s | 4s | 6s | |
ODI | 107 | 107 | 5 | 3713 | 195* | 36.4 | 9 | 17 | 479 | 56 |
2024 | 9 | 9 | 2 | 458 | 195* | 65.42 | 1 | 2 | 67 | 7 |
T20 | 143 | 141 | 6 | 3371 | 119* | 24.97 | 3 | 12 | 439 | 88 |
2024 | 21 | 21 | 3 | 720 | 119* | 40.00 | 2 | 4 | 86 | 32 |
ගෙවී ගිය වසරේ දී චමරි තම එක්දින තරග දිවියේ මෙන් ම විස්සයි විස්ස තරග දිවියේ ද හොඳම ඉනිම් වාර්තා කිරීමට සමත් වීම සුවිශේෂයි.
ගෙවී ගිය වසරේ දී ඇය එක්දින තරග 9කට සහභාගී වෙන අතර එහි දී දකුණු අප්‍රිකාවට එරෙහි ව පන්දු 139කට මුහුණ දෙමින් හතරේ පහර 26ක් සහ හයේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 195ක් ලබා ගනිමින් තම හොඳම ඉනිම ක්‍රීඩා කරනවා.
විස්සයි විස්ස තරග පිටියේ තරග 21කට සහභාගී වූ ඇය මැලේසියාවට එරෙහි ව පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 119ක් ලබා ගනිමින් තම හොඳම ඉනිම ක්‍රීඩා කළා.
පන්දු යවන්නියක් ලෙසින් ද ඇය ගෙවීගිය වසරේ දී එක්දින තරග පිටියේ කඩුලු 9ක් දවා ගන්නා ලද අතර විස්සයි විස්ස තරග පිටියේ කඩුලු 21ක් දවා ගන්නවා. ඒ අතර බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි ව ලකුණු 29කට කඩුලු 4ක් දවා ගන්නා ඇය එය තම විස්සයි විස්ස තරග පිටියේ හොඳම පන්දු යැවීම බවට ද පත් කර ගන්නවා.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<