Havelock, මහනුවර සහ CR & FC අපරාජිතව වසර අවසාන කරයි

Mastercard Club Rugby League 2024/25

74

2024/25 Mastercard A කොටසේ රග්බි ලීග් තරගාවලියේ තෙවැනි සති අන්තයේ තරග ඊයේ (29) දිනයෙන් නිමාවට පත්වුනා. 

යුද හමුදාව සහ Sri Lions  

මෙවර තරගවාරයේ තම මංගල ජය සොයමින් සිටින Sri Lions කණ්ඩායම සහ යුද හමුදා කණ්ඩායම අතර ක්‍රියාත්මක වූ මෙම තරගයේ පළමු අර්ධය තුළ දෙපිළ ම කරට කර සටනක නිරත වෙමින් ලකුණු 10 බැගින් ලබා ගැනීමට සමත් වුනා. කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධය තුළ දී තම ආධිපත්‍යය පැතිරීමට සමත් වූ යුද හමුදාව විසින් තවත් ලකුණු 22ක් රැස් කිරීමට සමත් වූ නමුත්, Sri Lions පාර්ශවයෙන් වාර්තා වුනේ ලකුණු 05ක් පමණයි. ඒ අනුව යුද හමුදාව විසින් මෙවර තරගවාරයේ සිය දෙවැනි ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුනා. 

  • යුද හමුදාව 32 (4T, 3C, 2P) – Sri Lions 15 (3T) 

තරගයේ වීරයා ඉසුරු මැදගෙදර (යුද හමුදාව) 

CR & FC සහ නාවික හමුදාව  

ලීගයේ වත්මන් ශූරයින් වන CR & FC ක්‍රීඩකයින් මෙම තරගයේ දී ඉතා විශිෂ්ට ලෙස ක්‍රීඩාවේ යෙදෙමින් නාවික හමුදාව සම්පූර්ණයෙන්ම අසරණ කර දැමීමට සමත් වුනා. 

තරගයේ පළමු අර්ධය තුළ CR & FC ක්‍රීඩකයින් නාවික හමුදාවට ලකුණු 03ක් පමණක් ලබාගැනීමට ඉඩ දෙන අතරේ තමන් වෙනුවෙන් ලකුණු 21ක් රැස් කර ගැනීමට සමත් වුනා. 

එමෙන්ම තරගයේ දෙවැනි අර්ධය තුළ ද ඔවුන් තවත් ලකුණු 17ක් ලබා ගැනීමට සමත් වූ අතර, එම අර්ධය තුළ නාවික හමුදාව ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 12ක් පමණයි. 

  • CR & FC 38 (6T, 4C) – නාවික හමුදාව 15 (2T, 1C, 1P) 

Havelock සහ පොලිස් ක්‍රීඩා සමාජය 

මෙම සති අන්තයේ ක්‍රියාත්මක වූ වඩාත් තියුණු තරගයක් ලෙස මෙම තරගය හඳුන්වාදිය හැකි. 

තරගයේ පළමු අර්ධය තුළ පොලිස් ක්‍රීඩකයින් විසින් තරගයේ පෙරමුණ ලබා ගනිමින් ලකුණු 08ක් ලබා ගැනීමට සමත් වූ අතර, එම කාලය තුළ Havelock ක්‍රීඩකයින් සාර්ථක කර ගැනීමට සමත් වුනේ එක් දඬුවම් පහරක් පමණයි. 

කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධයේ දී තවදුරටත් තම අපරාජිත භාවය රැක ගැනීම වෙනුවෙන් සටනට පිවිසුණු Havelock ක්‍රීඩකයින් උත්සාහක දිනුම් ද්විත්වයක් ද සමඟ තවත් ලකුණු 14ක් ලබා ගැනීමට සමත් වුනා. එමෙන්ම ඔවුන් මෙම අර්ධය තුළ පොලිස් ක්‍රීඩකයින්ට ලබා ගැනීමට ඉඩ ලබා දුන්නේ ලකුණු 07ක් පමණයි. 

  • Havelock 17 (2T, 2C, 1P) – පොලිස් ක්‍රීඩා සමාජය 15 (2T, 1C, 1P) 

තරගයේ වීරයා මොහමඩ් රිෆාන් (Havelock) 

මහනුවර සහ CH & FC 

ප්‍රබල මහනුවර කණ්ඩායම සහ CH & FC කණ්ඩායම විසින් මෙම සති අන්තයේ අවසන් තරගයට ඊයේ (29) සවස් වරුවේ දී සහභාගී වුනා. මෙහි දී ඉතා පහසු ජයක් කරා යාමට මහනුවර කණ්ඩායම විසින් සමත් වූ අතර, තරගයේ පළමු අර්ධයේ දී ඔවුන් ඒ සඳහා අවශ්‍ය අඩිතාලම සකස් කර ගැනීමට සමත් වුනේ ලකුණු 24ක් වාර්තා කරමිනුයි. කෙසේ වෙතත් මේ අතරවාරයේ CH & FC ක්‍රීඩකයින් විසින් පළමු අර්ධයේ දී ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 07ක් පමණයි. 

තරගයේ දෙවැනි අර්ධයේ දී CH & FC ක්‍රීඩකයින් පෙරට වඩා හොඳින් තරගයට අවතීර්ණ වීමට සමත් වූ අතර, ඔවුන් එහි දී ලකුණු 21ක් ලබා ගැනීමට සමත් වුනා. ඒ අතරවාරයේ දී මහනුවර ක්‍රීඩකයින් විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 15ක් පමණයි. නමුත් මහනුවර කණ්ඩායම තරගයේ පළමු අර්ධයේ දී ලබා ගත් ඉදිරිය නිසා ඔවුන් පහසුවෙන් ම තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුනා. 

  • මහනුවර 39 (6T, 3C, 1P) – CH & FC 28 (4T, 4C) 

තරගයේ වීරයා තිළිණ බණ්ඩාර (මහනුවර) 

මේත් සමඟම 2024 වසර සඳහා දේශීය රග්බි ලීගයට නියමිත තරග නිමාවට පත්වනවා. ලීගයේ සිව්වැනි සති අන්තයේ තරග 2025 වසරේ දී ක්‍රියාත්මක වනු ඇති. 

දිනෙන් දින උණුසුම් වන දේශීය රග්බි පිටියේ නැවුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<