2024 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් තරග සංචාරය සහ උදාවෙන 2025 වසරේ මංගල තරග සංචාරය ද වන්නේ නවසීලන්තය සමඟින් එරට දී පැවැත්වෙන විස්සයි විස්ස තරග සංචාරයයි.
තරග කාලසටහන
1 වැනි විස්සයි විස්ස තරගය
දෙසැම්බර් 28 වැනිදා Mount Maunganui හි දී.
2 වැනි විස්සයි විස්ස තරගය
දෙසැම්බර් 30 වැනිදා Mount Maunganui හි දී.
3 වැනි විස්සයි විස්ස තරගය
ජනවාරි 2 වැනිදා Nelson හි දී.
මෙම තරග සංචාරය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මේ වසරේ කරනු ලබන 2 වැනි විස්සයි විස්ස තරග සංචාරයයි. ඔවුන් මෙම වසරේ දී සිම්බාබ්වේ, ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, ඉන්දියාව, බටහිර ඉන්දීය කොදෙව්වන් සහ නවසීලන්තය සමඟින් විස්සයි විස්ස ද්විත්ව රටවල් ජාත්‍යන්තර තරගාවලි 6කට සහභාගී වී ඇති අතර ඉන් මෙරටින් පිටත දී සහභාගී වී ඇත්තේ බංග්ලාදේශ තරග සංචාරයට පමණයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ 2024 වසරේ විස්සයි විස්ස තරගාවලි ප්‍රතිඵල
සත්කාරකත්වය | ප්‍රතිවාදීන් | තරග | තරගාවලියේ ප්‍රතිඵලය | |
1 | ශ්‍රී ලංකාව | සිම්බාබ්වේ | 3 | ශ්‍රී ලංකාවට තරග 2-1ක ජයක්. |
2 | ශ්‍රී ලංකාව | ඇෆ්ගනිස්තානය | 3 | ශ්‍රී ලංකාවට තරග 2-1ක ජයක්. |
3 | බංග්ලාදේශය | ශ්‍රී ලංකාව | 3 | ශ්‍රී ලංකාවට තරග 2-1ක ජයක්. |
4 | ශ්‍රී ලංකාව | ඉන්දියාව | 3 | ඉන්දියාවට තරග 3-0ක ජයක්. |
5 | ශ්‍රී ලංකාව | බ. ඉ. කොදෙව් | 3 | ශ්‍රී ලංකාවට තරග 2-1ක ජයක්. |
6 | ශ්‍රී ලංකාව | නවසීලන්තය | 2 | තරගාවලිය 1-1කින් සමයි. |
මෙම තරග 17ට අමතර ව ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ තරග 3ක් ද සමඟින් මෙම වසරේ දී විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 20කට සහභාගී වී ඇති අතර ඉන් තරග 10ක් ජයග්‍රහණය කරද්දී තරග 9ක් පරාජය වෙමින් එක් තරගයක් ලකුණු සම වීමෙන් අවසන් කරනවා.
දෙරට විස්සයි විස්ස තරග ඉතිහාසය 2006 වසරේ දෙසැම්බර් මාසයෙන් ආරම්භ වන අතර එය මෙරට ක්‍රීඩකයන්ගේ එරට සංචාරයෙන් ආරම්භ වූවා. තරග 2කින් යුත් එම තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 18කින් ජයග්‍රහණය කරන අතර පැවැති 2 වැනි තරගයෙන් කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සත්කාරක ක්‍රීඩකයෝ සමත් වෙනවා.
අනතුරු ව දෙරට අතර විස්සයි විස්ස ජාත්‍යන්තර තරගාවලි 10ක් පැවැත්වෙන අතර ඒ අතුරින් නවසීලන්තය තරගාවලි 5ක් ද, ශ්‍රී ලංකාව තරගාවලියක් ද, තරගාවලි 3ක් සම සම ව ද සහ අනෙක් තරගාවලිය විසඳුමකින් තොරව ද නිමා වී තිබෙනවා.
ඒ අනුව දෙරට විස්සයි විස්ස තරග ඉතිහාසයේ තරගාවලි 10ක තරග 20කට දෙරට ක්‍රීඩකයෝ එකිනෙකා හමුව ඇති අතර ඊට අමතර ව තවත් තරග 5ක් ද එකතුව මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 25ක දී එකිනෙකා හමුවී තිබෙනවා. ඉන් තරග 8ක ජයග්‍රහණ ශ්‍රී ලංකාව ද සහ තරග 14ක ජයග්‍රහණ නවසීලන්තය ලෙසින් ද වෙන්වෙනවා. එමෙන් ම තරග 2ක් ලකුණු සම වීමෙන් අනතුරු ව පැවැති සුපිරි පන්දුවාරයෙන් ජයග්‍රහණ ශ්‍රී ලංකාව සතු කරගෙන ඇති අතර අනෙක් තරගය නිමා වී ඇත්තේ විසඳුමකින් තොරව අවසන් වූ තරගයක් ලෙසයි.
ශ්‍රී ලංකාව අවසන් වරට කිවි දේශයේ විස්සයි විස්ස තරග සංචාරයක් සඳහා එක්ව ඇත්තේ 2023 වසරේ අප්‍රේල් මාසයේදීයි. එම තරගාවලිය ද තරග 3කින් යුක්ත වූ අතර එහි දී තරග ද්විත්වයක ජයග්‍රහණ සත්කාරක නවසීලන්ත ක්‍රීඩකයෝ ලබා ගන්නා ලද අතර පැවැති පළමු විස්සයි විස්ස තරගයේ දී සුපිරි පන්දුවාරයෙන් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හැකි වෙනවා.
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- ක්‍රීඩා අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා ක්රිකට් ආයතනය අතර හමුවක්
- ශ්‍රී ලංකාවේ නවසීලන්ත සංචාරයට දින නියම වෙයි
- කොළඹ දකුණ අපරාජිත ව ශූරයන් වෙයි
- ACC සභාපති ධුරය ශම්මි සිල්වාට හිමි වෙයි!
එවන් තරග ඉතිහාසයක් සහිත ශ්‍රී ලංකා විස්සයි විස්ස ඉතිහාසයට අලුතින් ම එක් වෙන තරගාවලිය මෙයයි.
මෙම තරගාවලිය සඳහා සුපුරුදු ලෙසින් ම ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය නැවත වතාවක් චරිත් අසලංක වෙත පිරිනමා ඇති අතර පෙර ආසන්නත ම තරගවල දී පිතිකරුවන් ලෙසින් කණ්ඩායමට එක් වූ පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස් සහ භානුක රාජපක්ෂ නැවත වතාවක් තම ස්ථාන තහවුරු කරගෙන තිබෙනවා.
කෙසේ වෙතත් නම් කරන ලද මෙම කණ්ඩායමට අමතර පිතිකරුවෙක් ගේ වාසිය ලබා දෙමින් නැවත වතාවක් දිනේෂ් චන්දිමාල් ද එක් කර තිබෙනවා. 35 හැවිරිදි වියේ පසුවෙන චන්දිමාල් අවසන් වරට මෙරට දී පැවැති නවසීලන්ත විස්සයි විස්ස සංචිතයේ ද අසුනකට හිමිකම් කීව ද තරගයක් සඳහා ඔහු ව එක් කර ගත්තේ නැහැ.
චන්දිමාල් අවසන් වරට ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමක් හා එක් වෙමින් ජාත්‍යන්තර තරගයකට සහභාගී වී ඇත්තේ 2022 වසරේ පෙබරවාරියේ දී වන අතර එක්දින ජාත්‍යන්තර තරගයකට සහභාගී වී ඇත්තේ එම වසරේ දී ම නොවැම්බර් මාසයේදීයි.
ඔහු මේ වන විට විස්සිය විස්ස ජාත්‍යන්තර තරග 68ක දී අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 1062ක් ද සහ එක්දින ජාත්‍යන්තර තරග 157ක දී ශතක 4ක් සහ අර්ධ ශතක 24ක් සමඟින් ලකුණු 3854ක් ලබා ඇති ක්‍රීඩකයෙක්.
එමෙන් ම ඔහු තම අවසන් ජාත්‍යන්තර තරග ඉනිම් 5 ගෙවා ඇත්තේ ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 272ක් ලබා ගනිමිනුයි. එහි සාමාන්‍ය 54.4ක් ලෙසින් පවත්වාගෙන යෑමට ද ඔහු සමත් ව සිටිනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නවසීලන්ත කණ්ඩායමේ මෙරට තරගාවලිය සඳහා නම් කරන ලද 17 දෙනෙක්ගෙන් යුත් කණ්ඩායම ම මෙම සංචාරය සඳහා යොදාගෙන තිබුණ ද සංචාරක දී ක්‍රීඩකයන් 16 දෙනෙක් පමණක් එක් කළ යුතු බැවින් දිනේෂ් චන්දිමාල් එම තත්ත්වයේ ම තබා ගනිමින් 21 හැවිරිදි වියේ පසුවෙන දුනිත් වෙල්ලාලගේ කණ්ඩායමෙන් ඉවත් කර තිබෙනවා.
පසුගිය නොවැම්බර් මාසයේ දී නවසීලන්ත කණ්ඩායමේ මෙරට සංචාරයේ දී මෙන් ම පසුගිය ඔක්තෝබර් මාසයේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ මෙරට සංචාරයේ දී ද විස්සයි විස්ස මෙන් ම එක්දින කණ්ඩායම් ද නියෝජනය කළ දුනිත් වෙල්ලාලගේ තම අවසන් ජාත්‍යන්තර ඉනිම් 5 අවසන් කර ඇත්තේ පිතිකරුවෙක් ලෙසින් ලකුණු 30ක් සහ පන්දු යවන්නෙක් ලෙසින් කඩුලු 5ක් ලබා ගනිමිනුයි.
නම් කරන ලද කණ්ඩායමේ ප්‍රධාන දඟ පන්දු යවන්නා ලෙසින් නැවත වතාවක් වනිඳු හසරංග කෙරෙහි විශ්වාසය තබා ඇති අතර ඔහුගේ සහායකයන් ලෙසින් මහීෂ් තීක්ෂණ සහ ජෙෆ්රි වැන්ඩර්සේ එක් කර තිබෙනවා.
සංචාරයට එක් වූ කණ්ඩායමට පෙර සේ ම වේග පන්දු යවන්නන් 5 දෙනෙක් ඇතුලත් වීම විශේෂත්වයක්. මේ අතුරින් තමන් පන්දු යැවූ ආසන්නත ම විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 10 දී කඩුලු 17ක් දවා ගැනීමට සමත් වූ මතීෂ පතිරණ අංක එකේ වේග පන්දු යවන්නා ලෙසින් කණ්ඩායමට එක් කර තිබෙනවා.
ඊට අමතර ව නුවන් තුෂාර, අසිත ප්‍රනාන්දු, බිනුර ප්‍රනාන්දු සහ තවමත් 22 හැවිරිදි වියේ පසුවෙන දකුණතින් මඳ වේග පන්දු යවමින් තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසින් විශ්වාසය දිනා ඇති චමිඳු වික්‍රමසිංහ ද මෙම සංචිතයට ඇතුලත්.
සංචාරය සඳහා එක් ව ඇති ශ්‍රී ලංකා සංචිතය
චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ, චමිඳු වික්‍රමසිංහ, මතීෂ පතිරණ, නුවන් තුෂාර, අසිත ප්‍රනාන්දු සහ බිනුර ප්‍රනාන්දු.
මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ළඟා විය හැකි සුවිශේෂී කඩඉම්
කුසල් පෙරේරා – විස්සයි විස්ස ජාත්‍යන්තර ලකුණු 2000ක් වාර්තා කිරීම සඳහා තවත් අවශ්‍ය ඇත්තේ ලකුණු 93ක් පමණයි.
ශ්‍රී ලංකා සමඟින් සහභාගී වන නවසීලන්ත කණ්ඩායම ප්‍රකාශයට පත් කෙරුණ අතර ඊට අයත් වෙන්නේ ක්‍රීඩකයන් 13 දෙනෙක් පමණක් වීම කැපී පෙණෙනවා. කෙසේ වෙතත් නවසිලන්ත කණ්ඩායමේ නායකත්වයට මෙවර ද Mitchell Santner හිමි වෙනවා.
ඔහුත් සමඟින් මෙරට සංචාරයේ දී තරගවලට එක් වූ ක්‍රීඩකයන්ගෙන් සිව් දෙනෙක් ම මෙම කණ්ඩායමෙන් ඉවත් කර තිබෙනවා. ඒ Will Young, Josh Clarkson, Ish Sodhi සහ Lockie Ferguson යන අයයි.
ඔවුන් වෙනුවට මෙවර නවසීලන්තයේ විශ්වාසය රැඳී ඇත්තේ Matt Henry, Bevon Jacobs, Daryl Mitchell, Rachin Ravindra සහ Nathan Smith වෙතයි.
මේ අතුරින් 22 හැවිරිදි වියේ පසුවෙන Bevon Jacobs සුවිශේෂී ස්ථානයක තැබීමට ඔවුන් කටයුතු කර තිබෙනවා. ශ්‍රී ලංකාව සමඟ පැවැති පුහුණු T10 තරගයේ දී දක්ෂතා දැක් වූ ඔහු මේ දක්වා සහභාගී වී ඇත්තේ පළමු පෙළ තරග 4ක් පමණයි. එසේ වූව ද ඔහු එහි දී අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 287ක් ලබා ගැනීමට සමත් ව සිටිනවා.
ඔහුට අමතර ව මෙතෙක් විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 67කට සහභාගී වෙමින් අර්ධ ශතක 7ක් සමඟින් ලකුණු 1296ක් ලබා සිටින Daryl Mitchell, තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන Rachin Ravindra සහ තවමත් විස්සයි විස්ස ජාත්‍යන්තර වරම් දිනා නැති තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන Nathan Smith ද මෙම කණ්ඩායමට ඇතුලත්.
නවසීලන්ත විස්සයි විස්ස සංචිතය
Mitchell Santner (නායක), Michael Bracewell, Mark Chapman, Jacob Duffy, Zakary Foulkes, Mitchell Hay, Matt Henry, Bevon Jacobs, Daryl Mitchell, Glenn Phillips, Rachin Ravindra, Tim Robinson, Nathan Smith.
මෙරට සංචාරය කළ කණ්ඩායම් අතුරින් ආසන්නත ම තරග සංචාරයක යෙදුණේ නවසීලන්තයයි. එහි දී තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙසත්, තරග 3කින් යුත් එක්දින ජාත්‍යන්තර තරගාවලිය 2-0ක් ලෙසත් ජයග්‍රහණය කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරග 2කින් යුත් විස්සයි විස්ස තරගාවලිය 1-1ක් ලෙසත් නිමා කරනවා.
ඒ අනුව පැවැති මෙම තරගාවලි ත්‍රිත්වයේ තරග 7න් නවසීලන්තයට ජයග්‍රහණය කිරීමට හැකි වෙන්නේ එක් තරගයක් පමණයි. එබැවින් ඔවුන් එහි දී ලත් පරාජයේ කැළල් මකා ගැනීමට මෙම තරගාවලිය උපයෝගී කර ගන්නවා නිසැකයි. එබැවින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මෙම තරගාවලියේ දී කිසිදු අත්වැරදීමක් හෝ සිදු නොකිරීමට වගබලා ගත යුතුයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරයේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.