නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!

India Tour Of Australia 2024

167
Virat Kohli

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් තරගයේ දී ICC ආචාරධර්ම කඩ කිරීමේ වරදට ඉන්දීය ක්‍රීඩක Virat Kohli හට දඩ සහ දඬුවම් ලකුණු පනවා තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය Melbourne ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (26) ආරම්භ වූ අතර, තරගය පළමු දිනය සඳහා නතර කරන විට සිය පළමු ඉනිම දියත් කරමින් සිටි ඕස්ට්‍රේලියාව කඩුලු 6ක් දැවී ලකුණු 311ක් ලබා ගැනීමට සමත් වී සිටියා.

මෙහි දී ඕස්ට්‍රේලියානු මුල් පෙළ පිතිකරුවන් සිව්දෙනාම අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වූ අතර, මේ අතරිනුත් තම මංගල ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කරමින් සිටින 19 හැවිරිදි Sam Konstas විසින් ලබා ගත් අර්ධ ශතකයට විශේෂ ස්ථානයක් හිමි වනවා.

Sam විසින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟ පන්දු 65ක් තුළ ලකුණු 60ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඔහුගේ ඉනිම අතරතුර සුපිරි ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක Jasprit Bumrah දැඩි ප්‍රහාරයකට ද ලක් වුනා.

කිසිවකු හෝ නොසිතූ අයුරින් මෙම යෞවනයා විසින් තම පන්දු යවන්නන්ට පහර එල්ල කිරීම ඉන්දීය කණ්ඩායම තරමක් වික්ෂිප්ත කළ බව ද වටහා ගත හැකියි.

මේ අතර තරගයේ 10 වැනි පන්දුවාරය නිමා වීමෙන් පසුව පිතිකරුවන් සහ පන්දු රකින්නන් නැවතත් තම ස්ථාන වෙත ළඟා වන අතරවාරයේ සුපිරි ඉන්දීය පිතිකරු Virat Kohli විසින් Sam Konstasගේ ඇගේ ගැටෙනා අයුරු මෙලෙස කැමරා කාචයේ සටහන් වුනා.

https://x.com/mufaddal_vohra/status/1872075886947881321?t=lxH6feb8uyUVQQV0J3Bmcw&s=19

මේ මොහොතේ ක්‍රීඩකයින් දෙදෙනා ම එකිනෙකා දෙස හැරී බලමින් උණුසුම් සංවාදයකට මුල පිරීමට උත්සාහ කළ අතර, පසුව තරග විනිසුරු Michael Gough සහ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Usman Khawaja විසින් තත්වය සමතයකට පත් කළා.

පසුව මේ පිළිබඳ Sam Konstas විසින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් එවැනි දෑ ක්‍රිකට්වල දී සිදු වන බව පවසා සිටියත්, හිටපු ඕස්ට්‍රේලියානු නායක Ricky Ponting මෙම සිදුවීමේ වරදට Virat Kohli වෙත ඇඟිල්ල දිගු කළා. එමෙන්ම හිටපු ක්‍රිකට් විනිසුරු Simon Taufel ද මේ පිළිබඳ අදහස් දක්වමින් Kohli විසින් ICC ආචාරධර්ම සංග්‍රහය උල්ලංඝනය කර ඇති බව සඳහන් කලා.

Taufel විසින් මතු කල කාරණය නිවැරදි එකක් බවට පත් කළ ICCය විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් Virat Kohliට දඩ සහ දඬුවම් ලකුණු නියම කර තිබෙනවා.

ඒ අනුව Kohliට සිය තරග ගාස්තුවෙන් 20%ක් දඩ ලෙස ගෙවීමට සිදු වන අතර, ඊට අමතරව් ඔහුට එක් දඬුවම් ලකුණක් (Demerit Point) ද නියම කර තිබෙනවා.

ටෙස්ට් තරගයේ දෙවැනි දිනය හෙට (27) පැවැත්වීමට නියමිතයි.

දෙස්, විදෙස් ක්‍රිකට් පිටිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<