පිට පිට තරග 10ක් ජයගත් සුමඟුල් ක්‍රිකට් වරුණ

151
Sri Sumangala College

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ 3 වැනි කොටසේ Tier A කොටසේ මෙතෙක් පැවැති තරග 10 ම ජයග්‍රහණයෙන් නිමා කරමින් තරගාවලියේ සුවිශේෂී ගමනක නිරත වීමට හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලයීය කණ්ඩායම සමත් ව සිටිනවා.

“අපි මේ ගමන මේ විදිහට ම නොවුණත් සාර්ථක ආරම්භයක් ගන්න ඕන කියන තැන පුහුණුවීම් ආරම්භ කළ දවසේ සිට ම සිටියා. පෙර වසරේදීත් අපේ කණ්ඩායම මේ ආකාරයෙන් ම නොවුණත් ඉහළ දක්ෂතා අතර සිටියා. ඒ තත්ත්වයන් ඉදිරියට රැක ගෙන යෑම තමයි අපේ මූලික අරමුණ වුණේ. අපිට ඒ දේ මේ වෙද්දි කරගෙන යන්න හැකි වෙලා තියෙනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය හොඳ සංකලනයකින් යුත් කණ්ඩායමක් ඉන්නවා. ඒක අපි ලැබූ වාසියක්.” හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුකරු ලක්මාල් දිසානායක මහතා ThePapare සමඟ එක් වෙමින් පැවැසුවා.

ශ්‍රී සුමංගල විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ මෙතෙක් ගමන් මඟ

  ප්‍රතිවාදීන් ප්‍රතිඵලය
1 ක්‍රිස්තුරාජ විද්‍යාලය, ජාඇල ශ්‍රී සුමංගල විද්‍යාලයට කඩුලු 10ක ජයක්.
2 සිද්ධාර්ථ විද්‍යාලය, බලපිටිය ශ්‍රී සුමංගල විද්‍යාලයට කඩුලු 7ක ජයක්.
3 මධ්‍ය මහා විද්‍යාලය, හේනේගම ශ්‍රී සුමංගල විද්‍යාලයට ලකුණු 130ක ජයක්.
4 සාන්ත තෝමස් විද්‍යාලය, බණ්ඩාරවෙළ ශ්‍රී සුමංගල විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 52ක ජයක්.
5 සාන්ත මරියා විද්‍යාලය, හම්බන්තොට ශ්‍රී සුමංගල විද්‍යාලයට ලකුණු 84ක ජයක්.
6 රාජකීය විද්‍යාලය, මොනරාගල ශ්‍රී සුමංගල විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 219ක ජයක්.
7 රාහුල විද්‍යාලය, මාතර ශ්‍රී සුමංගල විද්‍යාලයට කඩුලු 7ක ජයක්.
8 මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය, තිඹිරිගස්කටුව ශ්‍රී සුමංගල විද්‍යාලයට ලකුණු 173ක ජයක්.
9 සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර විද්‍යාලය, මතුගම ශ්‍රී සුමංගල විද්‍යාලයට ලකුණු 137ක ජයක්.
10 රාජකීය විද්‍යාලය, පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයට කඩුලු 6ක ජයක්.

ශ්‍රී සුමංගල විද්‍යාලය ලැබූ මෙම ජයග්‍රහණ අතර වඩාත් ම තියුණු ම ජයග්‍රහණය වූයේ හම්බන්තොට සාන්ත මරියා විද්‍යාලය සමඟ වූ තරගයේ දී ලත් ජයග්‍රහණයයි. එම තරගයේ දී ශ්‍රී සුමංගල විද්‍යාලයට පළමු ඉනිමේ දී මෙන් ම 2 වැනි ඉනිමේ දී ද සියලුම දෙනා දැවී ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණු 85ක් බැගින් පමණයි. එය ඔවුන් මේ වසරේ දී ප්‍රතිවාදී කණ්ඩායමක් ඉදිරියේ දැවී ගිය අඩු ම ලකුණු සංඛ්‍යාවයි.

කෙසේ වෙතත් ඔවුන් ප්‍රතිවාදීන්ගේ පළමු ඉනිම ලකුණු 63කට සීමා කරමින් තරගයේ පළමු ඉනිමේ වාසිය ලබා ගන්නා ලද අතර 2 වැනි ඉනිමේ දී මෙවර තරගාවලියේ ප්‍රතිවාදී කණ්ඩායමක් දවා ලූ අඩු ම ලකුණු සංඛ්‍යාව වූ ලකුණු 23කට සීමා කරමින් ලකුණු 84ක ජයග්‍රහණයක් වාර්තා කරනවා.

එමෙන් ම ඔවුන් මෙවර තරගාවලියේ වැඩිම ලකුණු වාර්තා කරන්නේ මොනරාගල රාජකීය විද්‍යාලයට එරෙහිවයි. මොනරාගල දී පැවැති එම තරගයේ දී ඔවුන් කඩුලු 7ක් දැවී ලකුණු 337ක් ලබා ගන්නවා.

“අපිට මේ ආකාරයෙන් මේ ගමන යන්න පාසලෙන් ඉතා හොඳ රැකවරණයක් ලබා දී තිබෙනවා. විද්‍යාලයීය විදුහල්පති දිනේෂ් රාහුබද්ධ මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය නිරන්තරයෙන් අප සමඟ සිටිමින් කණ්ඩායම දිරිමත් කරනවා. කණ්ඩායම් භාර ආචාර්යවරයා ලෙසත් සහ සහාය පුහුණුකරුවෙක් ලෙසිනුත් කටයුතු කරන කැළුම් ප්‍රියදර්ශන මහතා සේ ම අනෙක් සහාය පුහුණුකරු කාවින්ද සුරේශන මහතා වගේ ම විද්‍යාලයීය ප්‍රජාව දක්වන සහයෝගය ද සුවිශේෂයි.”

එමෙන් ම ශ්‍රී සුමංගල විද්‍යාලයීය ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් පුර්ණ අනුග්‍රහය දක්වන ගුණ ජය සතුට පදනම සහ දිස්ත්‍රික් සහ පළාත් ක්‍රිකට් සංගම් දක්වන ලද දායකත්වයන් ගැන ද මේ අවස්ථාවේ දී කෘතවේදීව සිහිපත් කිරීමට පුහුණුකරු ලක්මාල් දිසානායක මහතා අමතක කළේ නැහැ.

“ගුණ ජය සතුට පදනමේ නිර්මාතෘ තුෂිල් ගුණසේකර මහතා ඇතුළු එම කණ්ඩායම දක්වන සහයෝගය නොවන්නට අපිට මේ ගමන මේ ලෙසින් යන්න ලැබෙන්නේ නැහැ. ඔවුන් නිසා ම අපිට කෘතීම තණතිල්ලක් සහිත ක්‍රීඩාංගණයක් ලැබී තිබෙනවා. පුහුණු විකට්, ගෘහස්ථ පුහුණු ක්‍රීඩාංගණයක් ඇතුලු සුවිශේෂී පහසුකම් ඒ අතර තිබෙනවා.“

lakmal

පුහුණුකරු ලක්මාල් දිසානායක මහතා

2020 වසරේ සිට ශ්‍රී සුමංගල විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුකරු ලෙසින් සේවය එක් වෙන ලක්මාල් දිසානායක මහතා කතරගම ජනාධිපති විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තැබූවෙක්. ඔහුගේ පාසල් ක්‍රිකට් ජීවිතය තුළ 2000 වසරේ දී වයස අවුරුදු 17න් පහළ කණ්ඩායමේ නායකත්වයේ ද සහ ඉන් අනතුරුව වසර ද්විත්වයක් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ ද නායකත්වයේ කටයුතු කරනවා.

පාසල් වියේ දී ඔහු වයස අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම් සංචිතයේ අසුනක් ද හිමිකරගෙන සිට ඇති අතර 2003 වසරෙන් පසුව ඔහුගේ කාලය ගත වෙන්නේ පූර්ණ කාලීනය ක්‍රිකට් පුහුණුකරුවෙක් ලෙසයි.

ශ්‍රී සුමංගල විද්‍යාලයීය ක්‍රිකට් පුහුණුකාරීත්වයට පිවිසීමෙන් අනතුරු ව 2022 වසරේ දී වයස අවුරුදු 13න් පහළ කණ්ඩායම 2 වැනි කොටසේ අර්ධ අවසන් පූර්ව වටය දක්වාත්, එම වසරේ දී වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම 2 වැනි කොටසේ අනුශූරතාව දිනා ගැනීම දක්වාත් කණ්ඩායම් රැගෙන එනවා.

එමෙන් ම 2023 වසරේ දී ශ්‍රී සුමංගල විද්‍යාලයේ වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායමක් එකලස් කරගෙන ප්‍රථම වතාවට පාසල් තරගාවලියට එක් වෙමින් 3 වැනි කොටසේ අනුශූරතාව දක්වා එම කණ්ඩායම රැගෙන ඒමටත් ඔහු සමත් වෙනවා.

එමෙන් ම 2022 වසරේ දී වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම 3 වැනි කොටසේ Tier B කාණ්ඩයෙන් තරගාවලියට එක්වෙමින් එහි අවසන් පූර්ව වටය දක්වා 2023 වසරේ දී Tier A කාණ්ඩය දක්වා උසස් වීම් ලබා ගනිමින් පාසල් ක්‍රිකට් තරගාවලියේ දෙදින තරග සඳහා එක්වීමට සුදුසුකම් ලබා ගන්නවා. එම වසරේ දී ඔවුන් පෙර අර්ධ අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට සමත් වෙමින් තරගාවලිය අවසන් කරනවා.

“මේ ගමන පැමිණිමේ දී මේ කණ්ඩායම්වල ළමුන් දැක්වූ දායකත්වය, කැපවීම ඉතා ඉහළයි. ඔවුන් ක්‍රීඩාංගණය තුළ දී දක්වන තරගකාරීත්වය නොවන්නට අපිට මේ ගමන මේ ලෙසින් එන්න ලැබෙන්නේ නැහැ. කෙසේ වෙතත් අපේ ගමන තවමත් නිමා වෙලා නැහැ. අපිට පළමු වටයේ තවත් තරග තුනක් ඉතිරි වෙලා තියෙනවා. ඊට පස්සේ 2 වැනි වටය. එම තරගවලට ද සුබවාදී ව මුහුණ දෙමින් එළැඹෙන වසරේ දී 2 වැනි පෙළ තරගාවලිය දක්වා යෑමයි අපි හැමෝගෙම බලාපොරොත්තුව.” ලක්මාල් දිසානායක මහතා ThePapare.com සමඟින් පැවැසුවා.

ශ්‍රී සුමංගල විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම වෙනුවෙන් වැඩි දක්ෂතා දැක් වූ ක්‍රීඩකයෝ

• රන්සර දේශාන්

desha

කණ්ඩායමේ උප නායකයා ද වන රන්සර දේශාන් මේ දක්වා පැවැති තරග 10 දී ලකුණු 527ක් ලබා ගනිමින් කණ්ඩායමේ විශ්වාසවන්ත ම පිතිකරු බවට පත් ව සිටිනවා. ඔහුගේ ඉනිම් අතර මොනරාගල රාජකීය විද්‍යාලයට එරෙහි ව ලබා ගත් ලකුණු 154ක් සහ පානදුර රාජකීය විද්‍යාලයට එරෙහි ව ලබා ගත් ලකුණු 104ක් ද ඇතුලත්.

ඊට අමතර ව මතුගම සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර විද්‍යාලයට එරෙහි ව අර්ධ ශතකයක් ද වාර්තා කිරීමට ඔහු සමත් වෙනවා.

  • චමත්ක කවිශාන්

chamathka

ශ්‍රී සුමංගල විද්‍යාලයීය කණ්ඩායමේ නායක චමත්ක කවිශාන් වඩාත් දක්ෂතා දක්වන්නේ පිතිකරුවෙක් ලෙසයි. ඔහු මේ වන විට නිමා වූ තරග 10 දී ලකුණු 329ක් ලබා තිබෙනවා. එහි ඔහුගේ ඉහළ ම ඉනිම ලෙසින් සටහන් වෙන්නේ මොනරාගල රාජකීය විද්‍යාලයට එරෙහි ව නොදැවී ලබා ගත් ලකුණු 100යි.

  • රවිඳු තීක්ෂණ

ravidu

කණ්ඩායමේ දක්ෂතා දැක් වූ පිතිකරුවන් අතර රවිශාන් තීක්ෂණට ද හිමි වෙන්නේ ඉහළ ස්ථානයක්. ඔහු මේ දක්වා ලකුණු 323ක් තම කණ්ඩායම එක් කර තිබෙනවා. ඔහු මෙම ලකුණු ප්‍රමාණයට පිවිසිය ද මේ දක්වා දීර්ඝ ඉනිමක් ක්‍රීඩා කිරීමට තවමත් වරම් ලැබී නැහැ.

ඔහුගේ ලබා ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව බවට පත් ව ඇත්තේ හේනේගම මධ්‍ය මහා විද්‍යාලයට එරෙහි ව ලබා ඇති ලකුණු 45යි.

  • ශානුක දෙනුවන්

chanuka

කණ්ඩායමේ සිටින තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩකයන් අතර වඩාත් ම බලාපොරොත්තු රැදී ඇති ක්‍රීඩකයා බවට පත් ව සිටින්නේ ශානුක දෙනුවන්. ඔහු මේ දක්වා නිමා වූ තරගවල දී ලකුණු 319ක් සහ කඩුලු 35ක් දවාගෙන තිබෙනවා.

ඔහුගේ පිතිකරු ඉනිම් අතර ඉහළ ම දක්ෂතාව ලෙසින් සටහන් වෙන්නේ තිඹිරිගස්කටුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයට එරෙහි ව ලබා ගත් ලකුණු 91යි. ඊට අමතර ව බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලයට එරෙහි ලබා ගන්නා ලද ලකුණු 53ක් සහ පානදුර රාජකීය විද්‍යාලයට එරෙහි ව ලබා ගන්නා ලද ලකුණු 51ක් ද ඔහුගේ ඉනිම් අතරට ඇතුලත්.

ඔහුගේ හොඳම පන්දු යැවීම බවට පත් වෙන්නේ ජා ඇල ක්‍රිස්තු දේව විද්‍යාලයට එරෙහි ව ලකුණු 33කට දවා ගන්නා ලද කඩුලු 6යි. ඊට අමතර ව පානදුර රාජකීය විද්‍යාලයට එරෙහි ව ද ලකුණු 38කට කඩුලු 6ක් දවා ගැනීමට ඔහු සමත් වෙනවා.

  • තරුන් දම්සිත්

tharun

ශ්‍රී සුමංගල විද්‍යාලයේ තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන තවත් ක්‍රීඩකයෙක් ලෙසින් තරුන් දම්සිත් හැඳින්විය හැකියි. ඔහු මේ වෙද්දී පිතිකරුවෙක් ලෙසින් ලකුණු 286ක් ලබා ඇති අතර පන්දු යැවීමෙන් කඩුලු 53ක් තම කණ්ඩායමට එක්කර කර තිබෙනවා.

පිතිකරු ඉනිම් අතර ඉහළ දක්ෂතාවක් සහිත ඉනිම් නොමැති වූව ද පන්දු යැවීමේ දී සුවිශේෂී දක්ෂතා දැක්වීමට ඔහු සමත් ව සිටිනවා. මෙතෙක් නිමා වූ තරගවල ඔහුගේ ඉහළ ම දක්ෂතාව වන්නේ හම්බන්තොට සාන්ත මරියා විද්‍යාලයට එරෙහි ව ලකුණු 38කට ලබා ගන්නා ලද කඩුලු 7යි.

ඊට අමතර ව තිඹිරිගස්කටුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයට එරෙහි ව ලකුණු 15කට කඩුලු 6ක් දවා ගැනීමට ද ඔහු සමත් වෙනවා.

  • සංජන නෙතුපුල්

sanjana

ශ්‍රී සුමංගල විද්‍යාලයේ මේ දක්වා පැවැති තරගවල වැඩිම කඩුලුලාභියා වී සිටින්නේ සංජන නෙතුපුල්. ශ්‍රී සුමංගල විද්‍යාලය සහ හේනේගම මධ්‍ය මහා විද්‍යාලය අතර පැවැති රුහුණු – මායා වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ තරගයේ වීරයා ලෙසින් ද සම්මානය පත් සංජන මේ වන විට ක්‍රියාත්මක තරගාවලියේ කඩුලු 56ක් ලබා සිටිනවා.

මේ අතර ඔහුගේ හොඳම පන්දු යැවීම වී ඇත්තේ බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලයට එරෙහි ව ලකුණු 30කට ලැබූ කඩුලු 7යි. ඊට අමතර ව හේනේගම මධ්‍ය මහා විද්‍යාලයට එරෙහි ව ලකුණු 4කට කඩුලු 6ක්, මොනරාගල රාජකීය විද්‍යාලයට එරෙහි ව ලකුණු 16කට කඩුලු 6ක් සහ මාතර රාහුල විද්‍යාලයට එරෙහි ව ලකුණු 20කට කඩුලු 6ක් ද දවා ගනිමින් දක්ෂතා දැක් වීමට ඔහු සමත් වෙනවා.

cricket team

හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලය සහ හේනේගම මධ්‍ය මහා විද්‍යාලය අතර පැවැති රුහුණු – මායා වාර්ෂික මහා ක්‍රිකට් තරගයෙන් ජයග්‍රහණය කළ ශ්‍රී සුමංගල විද්‍යාලයීය කණ්ඩායම

ශ්‍රී සුමංගල විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් සංචිතය

චමත්ක කවිශාන් (නායක), රන්සර දේශාන් (උප නායක), ජමිත් මධුභාෂණ, කෞශල්‍ය සාරංග, සසන් නිමන්දිත්, සංජන නෙතුපුල්, දෙනෙත් ආලෝක, තරුන් දම්සිත්, සෙනිත දිනුදික, ලකිත් නේමින්ද, පමෝද් හිම්සර, ශානුක දෙනුවන්, සුරන් හිරුෂ, රවිඳු තීක්ෂණ සහ චමුදු දනංජය.

පාසල් ක්‍රිකට් පිටියේ දක්ෂතා දක්වන හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ThePapare වෙතින් උණුසුම් සුබ පැතුම්!

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<