Havelock සහ මහනුවර අපරාජිත ගමනක!

Mastercard Club Rugby League 2024/25

105
Club Rugby

2024/25 Mastercard A කොටසේ රග්බි ලීග් තරගාවලියේ දෙවැනි සති අන්තය අද (22) නිමාවට පත් වුනේ තවත් තරග හතරක නිමාව ද සමඟිනුයි.

මෙම සති අන්තයේ පළමු තරගය CH & FC සහ පොලිස් ක්‍රිීඩා සමාජය අතර පැවැත්වුණා.

CH & FC සහ පොලිසිය

මෙම කණ්ඩායම් ද්විත්වයටම තරගාවලියේ පළමු සතියේ තරගවල දී පරාජයන්ට මුහුණ දීමට සිදුවීම නිසා ඔවුන්ගේ පළමු ජය සොයමින් සිටි අතර, මෙම තරගයේ ආරම්භයේ පටන් ම දෙපිළෙන් ම ප්‍රබල සටනක් ද නිර්මාණය වුනා.

තරගයේ පළමු අර්ධය නිමා වන විට CH & FC ක්‍රීඩකයින් ලකුණු 17ක් ලබා ගැනීමට සමත් වූ අතර, පොලිස් කණ්ඩායම විසින් ලකුණු 14ක් ලබා ගැනීමට සමත් වී සිටියා.

කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධය තුළ CH & FC ක්‍රීඩකයින් තරගයේ පෙරමුණ ලබා ගැනීමට සමත් වූ අතර, තරගය නිමා වන විට ඔවුන් ලකුණු 39ක් ලකුණු පුවරුවට එක් කර ගැනීමට සමත් වී සිටියා. කෙසේ වෙතත් ඒ වන විට පොලිසිය ලබා ගැනීමට සමත් වී තිබුණේ ලකුණු 27ක් පමණයි.

  • CH & FC 39 (5T, 4C, 2P) – පොලිසිය 27 (3T, 3C, 2P)

තරගයේ වීරයා මලිශ්ක පෙරේරා (CH & FC)

මහනුවර සහ යුද හමුදාව

මෙම සති අන්තයේ දෙවැනි තරගය ලෙස මහනුවර ක්‍රීඩා සමාජය සහ යුද හමුදා ක්‍රීඩා සමාජය තරග බිමට පිවිසුණා. මෙම තරගය නම් සම්පූර්ණයෙන්ම පාහේ මහනුවර නතු වූ එකක් වූ අතර, තරගයේ පළමු අර්ධය තුළ මහනුවර කණ්ඩායම විසින් උත්සාහක දිනුම් 5ක් සමඟ ලකුණු 39ක් ලබාගැනීමට සමත් වුනා. කෙසේ වෙතත් ඒ අතරවාරයේ දී යුද හමුදා ක්‍රීඩකයින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 05ක් පමණයි.

තරගයේ දෙවැනි අර්ධය ද පළමු අර්ධය ලෙසින් ම ගලා ගිය අතර, තරගය නිමා වන විට මහනුවර කණ්ඩායම තවත් ලකුණු 31ක් සිය ලකුණු පුවරුවට එක් කර ගැනීමට සමත් වී තිබුණා. නමුත් එම අර්ධය තුළ යුද හමුදා පාර්ශවයෙන් එකදු ලකුණක් හෝ වාර්තා වුනේ නැහැ.

  • මහනුවර 70 (9T, 8C, 3P) – යුද හමුදාව 5 (1T)

තරගයේ වීරයා දනුශ්ක රන්ජන් (මහනුවර ක්‍රීඩා සමාජය)

හැව්ලොක් සහ ගුවන් හමුදාව

සති අන්තයේ තෙවැනි තරගය ලෙස ක්‍රියාත්මක වූ මෙම තරගයේ දී කණ්ඩායම් දෙකම කරට කර සටනක නිරත වීමට උත්සාහ කළා. නමුත් පළමු අර්ධය නිමා වන විට තරගයේ වැඩි වාසි සමඟින් Havelock ක්‍රීඩකයින් ලකුණු 18ක් ලබා ගැනීමට සමත් වී සිටි අතර, ගුවන් හමුදා ක්‍රීඩකයින් ලබාගැනීමට සමත් වී සිටියේ ලකුණු 11ක් පමණයි.

තරගයේ දෙවැනි අර්ධය තුළ තමන් ලබා ගත් වාසිය තවදුරටත් ඉදිරියට රැගෙන යාමට Havelock ක්‍රීඩකයින් විසින් සමත් වූ අතර, එහි දී ඔවුන් තවත් ලකුණු 11ක් වාර්තා කිරීමට සමත් වුනා. මේ අතර වාරයේ දී ගුවන් හමුදා ක්‍රීඩකයින් ද ලකුණු 08ක් ලබාගැනීමට සමත් වූ නමුත්, එය තරගයේ තීරණය වෙනස් කිරීමට තරම් ප්‍රමාණවත් වුනේ නැහැ.

  • Havelock 30 (5T, 1C, 1P) – යුද හමුදාව 19 (2T, 3P)

තරගයේ වීරයා අබ්දුල්ලා ෆයිස් (Havelock ක්‍රීඩා සමාජය)

CR & FC සහ Sri Lions

මෙම සති අන්තයේ ක්‍රියාත්මක වූ අවසන් තරගය වූ මෙම තරගයේ දී ලීගයට අලුතින් ම එක් වූ Sri Lions කණ්ඩායම තම මංගල ජය සොයා තරග බිමට පිවිසුණත්, මෙවරත් ඔවුන්ට එය සාර්ථක කර ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ.

තරගයේ පළමු අර්ධයේ සිටම CR & FC ක්‍රීඩකයින් විසින් තරගය තම ග්‍රහණයට නතු කර ගැනීමට සමත් වූ අතර, පළමු අර්ධය නිමා වන විට ඔවුන් ලකුණු 22ක් ලබා ගැනීමට සමත් වී සිටි අතර, Sri Lions ක්‍රීඩකයින් විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 08ක් පමණයි.

තරගයේ දෙවැනි අර්ධය ද ඒ අයුරින් ම ගලා ගිය අතර තරගය නිමා වන විට CR & FC ක්‍රීඩකයින් විසින් ලකුණු 43ක් ලබා ගැනීමට සමත් වී සිටියේ උත්සාහක දිනුම් 6ක් ද සමඟිනුයි. නමුත් ඒ වන විට Sri Lions පාර්ශවයෙන් වාර්තා වී තිබුණේ ලකුණු 13ක් පමණයි.

  • CR & FC 43 (6T, 5C, 1P) – Sri Lions 13 (2T, 1P)

තරගයේ වීරයා අදීශ වීරතුංග (CR & FC)

දිනෙන් දින උණුසුම් වන දේශීය රග්බි පිටියේ නැවුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<