කොළඹ දකුණ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනී

Prima U15 Sri Lanka Youth League 2024

9
Prima U15 Sri Lanka Youth League 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ Sri Lanka Youth League ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද (4) කොළඹ රාජකීය විද්‍යාලයීය පිටියේ දී පැවැති අතර එහි දී කොළඹ උතුර කණ්ඩායම පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට කොළඹ දකුණ ක්‍රීඩකයෝ සමත් වුනා.

ඔවුන් මේ දක්වා තරගාවලියේ එක ම අපරාජිත කණ්ඩායම ලෙසින් වැජඹීම ද විශේෂත්වයක්.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ කොළඹ උතුර කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත් අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් සියලුම දෙනා දැවී ලකුණු 179ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි කොළඹ දකුණ ක්‍රීඩකයෝ තරගය අවසන් වීමට තවත් පන්දු 5ක් සහ කඩුල්ලක් ඉතිරිව තිබිය දී ප්‍රතිවාදී ඉලක්කය සපුරා ගත්තේ මේ දක්වා තරගාවලියේ එක ම අපරාජිත කණ්ඩායම ලෙසින් වන අභිමානය තව දුරටත් ආරක්ෂා කර ගනිමිනුයි.

කොළඹ දකුණු වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

ස්ටීවන් පිරිස් (නායක සහ කඩුලු රකින්නා), නිසල දමිත්, දුශේන් උඩුවෙල, රෙශාන් සොලමන්ස්, මෙතුක ගුණරත්න, සමිතු හෙන්සර, මහිරු කොඩිතුවක්කු, අදීශ ලක්ශාන්, තාරුක සමින්ජිත, චමිත් කංකානම්ගේ සහ මෙතුම් ප්‍රනාන්දු.

කොළඹ උතුර වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

කවිත් ද සිල්වා (නායක), බිනෝද් සන්දිල්, උශාන් ආදිත්‍ය, ශම්මා ජොනතන්, ශසිඳු සිල්වා, මොවිඳු සෙනාල්, හිමිර කුඩාගම, ශානුක් ජයවර්ධණ, පමද දල්පදාදු (කඩුලු රකින්නා), ලෙසඳු විජේතුංග සහ අබ්දුල් රහුමාන්.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි කොළඹ උතුර කණ්ඩායමේ හොඳම කඩුලු අතර සබඳතාව වූයේ 6 වැනි කඩුල්ලට ශසිඳු සිල්වා සහ හිමිර කුඩාගම එක් ව පන්දු 65ක දී එක් කළ ලකුණු 50යි. එහි දී ශෂිඳු සිල්වා පන්දු 94කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 36ක් ද සහ හිමිර කුඩාගම පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 35ක් ලබා ගත්තා.

ඊට පෙර නායක කවිත් ද සිල්වා පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 36ක් ලබා ගත් අතර ඔහු ශෂිඳු සිල්වා සමඟ 4 වැනි කඩුල්ලට පන්දු 78ක දී ලකුණු 42ක සබඳතාවක් එක් කළා.

එම ඉනිමේ අවසන් කඩුලු ත්‍රිත්වය පන්දු 5ක් තුළ දැවී ගිය අතර පන්දු යැවීමේ දී චමිත කංකානම්ගේ සහ තාරුක සමින්තජිත් කඩුලු 3 බැගින් ද, මෙතුම් ප්‍රනාන්දු කඩුලු 2ක් ද, දුශේන් උඩුවෙල සහ අදීශ ලක්ෂාන් කඩුල්ල බැගින් ද දවා ගනිමින් කොළඹ දකුණ කණ්ඩායම වෙනුවෙන් දක්ෂතා දැක් වූවා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි කොළඹ දකුණ කණ්ඩායමේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 26ක් වෙද්දී නැවත ක්‍රීඩාගාරයට හරවා යවමින් තරගයේ පාලනය වේලාසනින් ම තමන් වෙත පවරා ගැනීමට කොළඹ උතුර පන්දු යවන්නෝ සමත් වුනා.

නමුත් 3 වැනි කඩුල්ලට එක් වූ දුශේන් උඩුවෙල සහ මෙතුක ගුණරත්න පන්දු 93ක දී ලකුණු 67ක සබඳතාවක් එක් කරමින් තරගයට ප්‍රවිශ්ඨ වීම කොළඹ දකුණු ක්‍රීඩකයන්ට වාසි සහගත වුනා.

එහි දී මෙතුක ගුණරත්න පන්දු 66කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 45ක් ද සහ දුශේන් උදුවෙල පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 30ක් ලබා ගැනීමට ද සමත් වුනා.

ඔවුන් දෙදෙනාට අමතර ව මහිරු කොඩිතුවක්කු තරගය ජයග්‍රහණයෙන් කෙළවර වෙද්දී පන්දු 41කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 22ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී අබ්දුල් රහුමාන්, මොවිඳු සෙනාල්, ශනුක් ජයවර්ධන සහ ශම්මා ජොනතන් කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

 

කොළඹ උතුර වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 179 (49.1) කවිත් ද සිල්වා 36, ශසිඳු සිල්වා 37, හිමිර කුඩාගම 35, චමිත කංකානම්ගේ 3/27, මෙතුම් ප්‍රනාන්දු 2/33, තාරුක සමින්ජිත 3/38

 

කොළඹ දකුණ වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම – කඩුලු 9ක් දැවී 180 (49.1) දුශේන් උඩුවෙල 30, මෙතුක ගුණරත්න 45, ස්ටීවන් පීරිස් 18, මහිරු කොඩිතුවක්කු නොදැවී 22, අබ්දුල් රහුමාන් 2/20, මොවිඳු සෙනාල් 2/25, ශම්මා ජොනතන් 2/39, ශනුක් ජයවර්ධන 2/34

 

කොළඹ දකුණ වයස අවුරුදු 15න් පහළ කණ්ඩායමට කඩුල්ලක ජයක්. 

තරගාවලියේ දඹුල්ල සහ මහනුවර කණ්ඩායම් සහභාගී වන 2 වැනි අවසන් පූර්ව තරගය හෙට (5) කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ Sri Lanka Youth League ක්‍රිකට් තරගාවලිය  පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<