විමත්ගේ ශතකය ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට ගෙනයයි

Men’s U19 Asia Cup 2024

14
U19 Asia Cup 2024

විමත් දින්සර ලබා ගත් ශතකයත් සමඟින් බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි ව ලකුණු 7ක ජයග්‍රහණයක් වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය දක්වා පිවිසීමට සමත් වුනා.

Sharja ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී බංග්ලාදේශ කණ්ඩායම සමඟින් පැවැති මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 228ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් බංග්ලාදේශ ක්‍රීඩකයන්ට ලබා ගැනීමට හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 228ක් පමණයි.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

විහස් තෙව්මික (නායක), පුලිඳු පෙරේරා, දුල්නිත් සිගේරා, ශාරුජන් ශන්මුගනාදන් (කඩුලු රකින්නා), විමත් දින්සර, ලක්වින් අබේසිංහ, කවිජ ගමගේ, විරාන් චමුදිත, ප්‍රවීන් මනීශාන්, නිව්ටන් රන්ජිත්කුමාර්, කුගදාස් මතුලාන්.

ඇෆ්ගනිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

Azizul Hakim (නායක), Zawad Abrar, Kalam Siddiki, Mohammad Shihab James, Debasish Deba, Rizan Hossan, Farid Hasan (කඩුලු රකින්නා), Samiun Basir, Md Rafi Uzzaman Rafi, Al Fahad, Iqbal Hossain Emon.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසිය ද එය තරමක් විවාදාත්මක තීරණයක් වුනා. ඔවුන්ගේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 10ක් වෙද්දී දැවී ගිය අතර තෙවැනි කඩුල්ල ද පළමු Power Play අවස්ථාවේ දී දැවී ගියා.

ඒ අනුව දුල්නිත් සිගේරා (5), ශාරුජන් ශන්මුගනාදන් (4) සහ පුලිඳු පෙරේරා (19) ගේ ඉනිම් අවසන් ව තිබුණා.

එම අවස්ථාවේ දී ශ්‍රී ලංකා ඉනිමේ ගැලවුම්කරු බවට පත් වීමට විමත් දින්සර පෙරමුණ ගත්තා. ඔහු පළමුවෙන් ම සිදු කළේ සිව් වැනි කඩුල්ල හා එක් වූ ලක්වින් අබේසිංහ සමඟින් ලකුණු 40ක සබඳතාවක් එක් කිරීමයි. පන්දු 83ක් වැය ව තිබූ එම කඩුල්ලේ සබඳතාව බිඳී යන්නේ ලක්වින් අබේසිංහ ගේ දැවී යෑමත් සමඟිනුයි. ලක්වින් දැවී යන විට පන්දු 42කට මුහුණ දෙමින් ලකුණු 21ක් ලබා තිබුණා.

අනතුරු ව පිටියට පිවිසි කවිජ ගමගේ (10) සමඟ එක් වූ විමත් දින්සර 5 වැනි කඩුල්ල සඳහා පන්දු 49ක දී ලකුණු 30ක් ද, විරාන් චමුදිත (20) හා එක් ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 50ක දී ලකුණු 48ක් ද සහ නායක විහස් තෙව්මික (22) හා එක් ව පන්දු 44ක දී ලකුණු 50ක සබඳතාවක් ද එක් කළා.

එම සබඳතාවලින් පසුව ප්‍රවීන් මනීශ (10), නිව්ටන් රංජිත්කුමාර් (1) සහ කුගදාස් මතුලාන් (නොදැවී 0) අඩු ලකුණුවලට සීමා වෙද්දී විමත් දින්සර ඉනිමේ අවසන් කඩුල්ල ලෙසින් දැවී යන විට පන්දු 132කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් ලකුණු 106ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී Al Fahad ලකුණු 50කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර Rizan Hossan ලකුණු 40කට කඩුලු 3ක් ද, Md Rafi Uzzaman Rafi සහ Iqbal Hossain Emon කඩුල්ල බැගින් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ ඉනිමේ පළමු කඩුල්ලේ දී ම සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට Zawad Abrar සහ Kalam Siddiki සමත් වුනා. ඔවුන් දෙදෙනා එක් ව එම කඩුල්ලට පන්දු 57ක දී ලකුණු 52ක සබඳතාවක් ගොඩ නගනවා.

ඒ සමඟින් තරගයේ පාලනය තමන් වෙත තබා ගැනීමට බංග්ලාදේශ පිතිකරුවෝ සමත් වෙන අතර Kalam Siddiki හා Debasish Deba එක් ව ඉනිමේ හොඳම ලකුණු සබඳතාව එක් කරනවා. ඔවුන් දෙදෙනා එක් ව සිව් වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 99ක දී ලකුණු 74ක සබඳතාවක් එක් කළා.

එහි දී  ආරම්භක පිතිකරු Kalam Siddiki පන්දු 134ක දී හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 95ක් ලබා ගන්නවා. විහස් තෙව්මික ගේ පන්දු යැවීම හමුවේ ශතකය පෙනි පෙනී තිබිය දී අසරණ වීමට ඔහුට සිදු වෙන අතර ඒ සමඟින් එම පන්දු වාරයේ දී ම තවත් කඩුල්ලක් ලබා ගැනීමට විහස් සමත් වෙනවා.

එම දැවී යෑම් ද්විත්වයත් සමඟින් බංග්ලාදේශ ඉනිම සතු ව තිබූ තරගයේ පාලනය ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සතු කර ගන්නා ලද අතර ඒ අනුව තරගය නිමා වීමට තවත් පන්දු 3ක් තිබිය දී ඔවුන්ගේ ඉනිම සම්පූර්ණයෙන් අඩාල කෙරෙනවා.

එහි දී නායක විහස් තෙව්මික ලකුණු 37කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව කුගදාස් මතුලාන්, ප්‍රවින් මනිශ සහ විරාන් චමුදිත කඩුල්ල බැගින් දවා ගන්නවා. බංග්ලාදේශ ඉනිමේ දුවද්දී දැවී යෑම් 4ක් ම වාර්තා කර ගැනීමට ශ්‍රි ලංකා ක්‍රීඩකයෝ සමත් වීම කැපී පෙණුනා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 228 (50.0)  පුලිඳු පෙරේරා 19, විමත් දින්සර 106, ලක්වින් අබේසිංහ 21, විරාන් චමුදිත 20, විහස් තෙව්මික් 22,  Al Fahad 4/50, Rizan Hossan 3/40

 

බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 221 (29.3) Zawad Abrar 24, Kalam Siddiki 95, Debasish Deba 31, Farid Hasan නොදැවී 24, විහස් තෙව්මික 3/37

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ලකුණු 7ක ජයක්.

මෙම තරගය අවසන් වීමත් සමඟින් තරගාවලියේ B කාණ්ඩයේ පළමු වටයේ තරග අවසන් වන අතර ඒ අනුව ශ්‍රි ලංකාව අපරාජිතව පළමු ස්ථානයටත් සහ බංග්ලාදේශය 2 වැනි ස්ථානයටත් පත් වෙමින් අවසන් පූර්ව වටයට සහභාගී වීම සඳහා සුදුසුකම් ලබා ගත්තා.

එම වටයේ තරග මේ මස 6 වැනිදා පැවැත්වෙන අතර ඒ අනුව A කාණ්ඩයෙන් 2 වැනි ස්ථානය පත් වෙන කණ්ඩායම සමඟින් ශ්‍රී ලංකාව සහභාගී වීමට නියමිතයි.

වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<