Bangladesh U17 Tour Of Sri Lanka 2024Bangladesh U17 Tour Of Sri Lanka 2024බංග්ලාදේශ 17න් පහළ කණ්ඩායම සහ ශ්රී ලංකා 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වුණු පළමු තෙදින තරගය අද (03) විසඳුමකින් තොරව නිමාවට පත් වුනා.
කෙසේ වෙතත් ශ්රී ලංකාව තරගයේ පළමු ඉනිමේ ජයක් සමඟ තරගයේ වැඩි ගෞරව දිනා ගැනීමට සමත් වීම විශේෂත්වයක්.
තරගයේ දෙවැනි දිනය නිමා වන විට ශ්රී ලංකාව පළමු ඉනිම වෙනුවෙන් වාර්තා කළ ලකුණු 285ට පිළිතුරු සපයමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 233ක් ලබා ගැනීමට සමත් වී සිටියා. අද දිනයේ දී බංග්ලාදේශ ඉනිම ලකුණු 252කට සීමා කිරීමට ශ්රී ලංකාව සමත් වුනේ තරගයේ පළමු ඉනිමේ ජයක් තහවුරු කර ගනිමිනුයි.
මින් අනතුරුව ශ්රී ලංකාව සිය දෙවැනි ඉනිම ආරම්භ කළ අතර, මෙහි දී ශ්රී ලංකා ඉනිමේ කඩුලු 3ක් ලකුණු 39ක් තුළ බිඳ දැමීමට බංග්ලාදේශ පන්දු යවන්නන් විසින් සමත් වුනා. කෙසේ වෙතත් මින් අනතුරුව කඩුල්ලේ එක් වූ සෙනුජ වකුණුගොඩ සහ නායක කිත්ම විදානපතිරණ විසින් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 113ක් එක් කිරීමට සමත් වුනා.
මෙහි දී සෙනුජ විසින් පන්දු 102ක් තුළ ලකුණු 80ක් ලබා ගැනීමට සමත් වුනේ හතරේ පහර 10ක් ද සිය ඉනිමට එක් කර ගනිමිනුයි.
- වනිඳු ඉවතට; දුශාන් එක් දින සංචිතයට
- චරිත් සහ දුනිත් ශ්රී ලංකාවේ ජය තහවුරු කරයි
- පාකිස්තානය දවා ගැනීමට විශ්වගෙන් වැඩි දායකත්වයක්
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්රී ලංකාවට
- Lanka T10 තරගාවලියේ කණ්ඩායම් සහ ක්රීඩකයින් තහවුරුයි
සෙනුජගේ දැවී යාමෙන් පසුව කණ්ඩායමේ මැද පෙළ සහ පසු පෙළ පිතිකරුවන් සමඟ සාර්ථක සබඳතා පවත්වා ගනිමින් විශිෂ්ට ඉනිමක් දියත් කළ කිත්ම විසින් පන්දු 132කින් ලකුණු 164ක් ලබා ගැනීමට සමත් වුනා.
මෙහි දී ඔහුගේ ඉනිම හතරේ පහර 11කින් සහ හයේ පහර 9කින් වර්ණවත් වීම විශේෂත්වයක්. ඔහුගේ විශිෂ්ට ඉනිමත් සමඟ ශ්රී ලංකාව සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 7ක් දැවී ලකුණු 317ක් ලබා ගැනීමට සමත් වුනා.
මෙහි දී බංග්ලාදේශය වෙනුවෙන් Sheikh Atikur Rahaman Akash විසින් කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා.
ඊට පිළිතුරු වශයෙන් බංග්ලාදේශ කණ්ඩායම ද සිය දෙවැනි ඉනිම ආරම්භ කළ අතර, අද දිනය නිමා වන විට ඔවුන් කඩුලු 4ක් දැවී ලබා ගැනීමට සමත් වී සිටියේ ලකුණු 51ක් පමණයි. ඒ අනුව ශ්රී ලංකාවට පළමු ඉනිමේ ජයක් හිමිවෙමින් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වුනා.
- ශ්රී ලංකාපළමු ඉනිම – 285/8d (82) ජේසන් ප්රනාන්දු 98, ජොශුවා සෙබස්තියන් 53, ගිම්හාන රසාංජන 51, Ashanul Haque Mahim 2/32
- බංග්ලාදේශපළමු ඉනිම – 252/10 (78.5) Adrito Ghosh 133*, MD Ridoy Hossain 37, රසිත් නිම්සර 4/36, අභීත් පරණවිදාන 2/38
- ශ්රී ලංකා දෙවැනි ඉනිම –317/7 (65) කිත්ම විදානපතිරණ 164, සෙනුජ වකුණුගොඩ 80, Sheikh Atikur Rahaman Akash 3/81
- බංග්ලාදේශදෙවැනි ඉනිම – 51/4 (16)
තරගාවලියේ දෙවැනි තෙදින තරගය එළඹෙන 06 වැනි දා ආරම්භ වීමට නියමිතයි.
තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්රී ලංකාවේ අංක එකේ ක්රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<