“පුතා පුංචි ම කාලෙ එයාගෙ අතපය අසාමාන්‍ය ලෙස නවන්න දිග අරින්න පටන් ගත්තා. ඇග ගොඩාක් නම්‍යශීලීයි. අනෙක් ළමුන්ට වඩා මෙයාගෙ ක්‍රියාකාරකම් වෙනස්. ජිම්නාස්ටික් ක්‍රීඩකයෙක්ට කරන්න බැරි දේවල් පවා කරනවා. මුලදි ඒක සාමාන්‍ය දෙයක් කියල හිතුණත් පසුව එයා කරන දේවල් අනුව අපි බය වුනා. මේ නිසා වෛද්‍ය උපදෙස් පවා ගත්තා. ඔවුන් ඒක සාමාන්‍ය ළමයෙක් ගේ හැසිරීමක් ලෙසයි දැක්කේ.”
මෙවර නිමා වූ 53 වැනි ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දී වයස අවුරුදු 12න් පහළ උස පැනීමේ ඉසව්වේ දී නව තරග වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කම දිනා ගත් සදීශ පබසර, තම කුඩා කාලය ගත කර ඇත්තේ ඒ ලෙසින්.
“පාසල් යන්න පටන් ගත්ත දවසේ සිට එයාගෙ මේ ක්‍රියාකාරකම් වැඩි වුනා. යාළුවන් ඉදිරියේ මේ දේවල් කරන්න ගත්තා. මේ නිසා අත-පය කඩාගත් අවස්ථා පවා තියෙනවා. අපි ඒ දේවල් කරන එපා කියල කිව්වත් ඒ වෙලාවට ඔළුව පහත් කරගෙන අහගෙන ඉඳලා නැවතත් ඒ දේවල් ම කරනවා. මේ නිසා අපි පුතාව ජිම්නාස්ටික් ක්‍රීඩාවට යොමු කරන්න හිතුවා.”
නමුත් සදීශ ගේ පාසල වූ දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලයේ ජීම්නාස්ටික් ක්‍රීඩාව පැවැතුණේ නැහැ. මේ නිසා සදීශට සිදු වෙන්නේ මලල ක්‍රීඩාවට යොමු වෙන්න.
“ජිම්නාස්ටික් කරන්න කැමැත්තෙන් හිටපු පුතාට මලල ක්‍රීඩා කරන්න සිදු වෙනවා. එයා ඒකට අකමැති වුනේ නැහැ. බොහොම කැමැත්තෙන් ඊට සහභාගී වුනා. එහෙම ගිය ගමන තමයි මේ.” සදීශ පබසරගේ පියා, කේ. ඩබ්ලිව්. බන්දුල මහතා සදීශගේ මතකය ඇවිස්සුවේ ඒ ආකාරයෙන්.
එතැන් සිට සදීශ දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩා පුහුණුකරු කේ. එච්. කීර්ති කුමාර මහතා වෙත යොමු වෙනවා.
කීර්ති කුමාර යනු මෙරට මලල ක්‍රීඩා ඉතිහාසයට ඔලිම්පික් ක්‍රීඩකයෙක් සහ ජාත්‍යන්තර මට්ටමේ සහ ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රාශියක් ම බිහිකළ පුහුණුකරුවෙක්.
විජිත මධ්‍ය මහා විද්‍යාලයෙන් උසස් පෙළ විද්‍යා විෂය හදාරමින් විශ්වවිද්‍යාල වරම් දිනා ගන්නා ඔහු කැළණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක්. වසර 20ක පමණ කාලයක් තම පාසලේ ම ශාරීරික අධ්‍යාපන ගුරුවරයෙක් ලෙසින් සේවය කළ කීර්ති කුමාර මහතා රුහුණු විශ්වවිද්‍යාලයේ ශාරීරික අධ්‍යාපනය අධ්‍යක්ෂක ලෙසිනුත් මෙන් ම වර්තමානයේ එම විශ්වවිද්‍යාලයේ ම ශාරීරික අධ්‍යාපන ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙක් ලෙසත් සහ ජාතික ශිෂ්‍යභට බලකායේ නිලධාරියෙක් ලෙසත් සේවය කරනවා.
“මට පැවැරෙන කාර්යයන් සහ මා විසින් පවරාගත් කාර්යයන් සමඟින් බොහොම කැමැත්තෙන් එන ගමනක් මේ. ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ මැදිහත් විම අනුව මහජන මුදලින් ඉන්දියාව, ඉන්දුනීසියාව යන රටවල්වලට ගිහින් මලල ක්‍රීඩාව ගැන ඉගෙන ගත්තා. ඒ ඉගෙන ගත් දේවල් අපේ රටට ලබා දෙමින් කරන සේවය ගැන තෘප්තිමත් වගේ ම මගෙන් රටට සේවයක් වුණා කියන තෘප්තියත් මේ තුළ තියෙනවා.” කේ. එච්. කීර්ති කුමාර මහතා පවසනවා.
මෙරට ඉතිහාසයේ උස පැනීමේ ඉසව්වෙන් පළමුවරට ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් සඳහා සහභාගී වූ ක්‍රීඩකයා වෙන්නේ නාගලිංගම් එදිරිවීරසිංහම්. ඔහු 1952 සහ 1956 වසරවල පැවැති ඔලිම්පික් උළෙලවල් සඳහා සහභාගී වෙනවා. ඊට පසුව උස පැනීමේ ඉසව්ව නියෝජනය කරමින් ශ්‍රී ලංකාවෙන් ඔලිම්පික් වරම් දිනා ගැනීමට හැකි වෙන්නේ 2004 වසරේ ඇතෑන්ස් ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගත් මංජුල කුමාර.
මංජුල කුමාර ඒ තරමින් ඔප දැමෙන්නේ කීර්ති කුමාර ගේ ඇසුරේ සිටයි. ඊට අමතර ව පොදුරාජ්‍ය මණ්ඩලයීය කනිෂ්ඨ පදක්කම්ලාභී ආර්. පී. නිලුපුල් පැහැසර, දකුණු ආසියානු කනිෂ්ඨ පදක්කම්ලාභී වී.පී. නේත්‍රා සමාධි මෙන් ම අන්තර්ජාතික පදක්කම්ලාභීන් වන එල්. ජී. තරංගා විනෝදනී සහ එල්. එච්. සජානි මධුශිකා යන අය ද කීර්ති කුමාර ඇසුරේ හැඳී වැඩුණු අය. ඊට අමතර ව ජාත්‍යන්තර තරග සහභාගීත්වයට එක් වූ තවත් 9 දෙනෙක් ද මෙම ලැයිස්තුවට ඇතුලත්.
මේ අතුරින් බොහෝ දෙනෙක් උස පැනීමේ නිපුණයෝ. එබැවින් ම දික්වැල්ල විජිත කියු පමණින් ම මංජුල කුමාර ගැනත් සහ උස පැනීමේ ඉසව්ව ගැනත් නිතැතින් ම සිහිගැන්වෙන සහ කියැවෙන තරමට ම ඒ දක්ෂතා සාමාන්‍යයක් බවට පත් වුනා.
එහි අලුත් ම තරුව වන්නේ සදීශ පබසරයි.
- සුගත් තිලකරත්නට නව පාර්ලිමේන්තුවේ ඇමති ධුරයක්!
- ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල සාර්ථකව අවසන් වෙයි
- මංජුල කුමාර නැවතත් දස්කම් අතරට
- දඹුල්ලේ බර දරාගෙන ගම්පොළට ආ “පොඩි තරුෂි”
- කාන්තා මැරතන් ලෝක වාර්තාව අලුත් වෙයි
“සදීශ මම ළඟට එන්නේ 2022 වසරේ. එතකොට එයාට වයස අවුරුදු 9ක් විතර ඇති. සදීශ එද්දි, ඒ කාණ්ඩයේ ගොඩක් ළමුන් මම ළඟට ඇවිත් හිටියේ. වසර මැද වගේ මෙයා එන්නේ. තාත්ත සදීශ ව මට බාර දෙද්දි ම එයාගෙ සුවිශේෂී බවක් දැක්කා. ඒ නිසා ම එයා ව උස පැනීම ඉසව්වට ම තෝරා ගෙන පුහුණුවිම් කරන්න ගත්තා. එයාගෙ තාක්ෂණය ඉතා ඉහළ මට්ටමක තියෙනවා වගේ ම කියන දේ ඉතා ඉක්මනින් ග්‍රහණය කරගෙන ඒ දේවල් කරනවා. ක්‍රීඩාව ගැන ලොකු උනන්දුවක් තියෙනවා. මෙයාව මේ මට්ටමට ගේන්න මට ඒක ලොකු පහසුවක් වුනා.”
ක්‍රීඩාව ප්‍රගුණ කළ පළමු වසරේ දී ම සදීශ, ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ 12න් පහළ උස පැනීමේ ඉසව්වේ දී මීටර් 1.10ක උසක් තරණය කරමින් දක්ෂතා දක්වනවා. ඊට පසුව 2023 වසරේ දී පැවැති එම ක්‍රීඩා ශූරතාවලියේ දී සදීශ එම ඉසව්වේ මීටර් 1.40ක උසක් තරණය කරමින් එහි සිව් වැනි ස්ථානය දිනා ගන්නවා.
අනතුරුවයි මේ තීරණාත්මක තරගය.
“මේ ජයග්‍රහණය අපි බලාපොරොත්තු වූ දෙයක්. මම බලාපොරොත්තු වූ ආකාරයෙන් ම සදීශ මේ තරගයේ දී අපේ සැලසුම් ක්‍රියාත්මක කළා. එයා මේ වෙනුවෙන් ගොඩාක් මහන්සි වුනා. වසර 2ක් තුළ ඔහුගේ මහන්සියේ ප්‍රතිඵලයක් තමයි මේ. ලැබූ මේ ජයග්‍රහණය වගේ ම ඔහු දැක් වූ දක්ෂතාව ගැනත් ගොඩාක් සතුටුයි.“ පුහුණුකරු කීර්ති කුමාර මහතා පැවැසුවා.
සදීශ මෙවර නිමා වූ ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ තම ඉසව්වේ දී මීටර් 1.55ක් තරණය කරමින් දක්ෂතා දක්වනවා. ඒ වසර 20ක් තිස්සේ පැළපදියම් ව තිබූ වාර්තාවක් ද අභිබවා යමිනුයි.
“වාර්තාවක් කියන එකට වඩා මට අවශ්‍ය වුණේ තරගය දිනන්න. මට ඒක කරන්න පුළුවන් වුනා. ඒ ගැන සතුටුයි. ඒ වගේ ම ඒ අවස්ථාවේ මගේ සර් මම ළඟින් ඉදගෙන දීපු උපදෙස් නිමා තමයි මට මේ තත්ත්වයට එන්න පුළුවන් වුණේ. ඒ වගේ ම මගේ අම්මා, තාත්තා වගේ ම අක්කල දෙන්නත් මට ගොඩාක් සහයෝගය දක්වමින් මගේ පසු පසින් සිටියා.” සදීශ පබසර පවසනවා.
සදීශගේ පියා කේ. ඩබ්ලිව්. බන්දුල මහතා, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වසර 12ක සේවයෙන් පසුව විශ්‍රාම ගෙන දැනට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කරනවා. මව එස්. එච්. චන්ද්‍රානි මහත්මිය ග්‍රාමීය බැංකු නිලධාරිනියක් ලෙසින් කටයුතු කරනවා. මේ නිසා ම දෙදෙනා ම කාර්ය බහුලයි.
“අපි දෙන්නට ම පුතා වෙනුවෙන් විශාල කැප වීමක් කරන්න වෙලා තියෙනවා. ඒ දේවල් අපි දෙන්න ම කරන්නේ පුදුම සතුටකින්. අපි රස්සාවටත් කලින් යන්නෙ පුතාගෙ පුහුණුවීම් කටයුතු වෙනුවෙන්. උදේ පාන්දර පිට්ටනිවලට ගිහිල්ල පුතාව එතැනට දාල තමයි අපි දෙන්න ම රස්සාවලට යන්නේ. ඒ වගේ ම තමයි රෑට ගෙදර එන්නෙත්. පුතා වුනත් මේ දේවල් වෙනුවෙන් ගොඩාක් උනන්දුයි. කොච්චර මහන්සිවෙලා ගෙදර ආවත් ඊට පසුවදාට පුහුණුවීම්වලට යන්න නැගිටින්න කියල දෙපාරක් කතා කරන්න ඕන නෑ. ඒ තරමට ම එයා මේ ක්‍රීඩාව වෙනුවෙන් කැප වෙනවා.”
නමුත් මේ කැපවීමේ දී තම දියණියන් දෙදෙනාගේ කටයුතු මදක් පමා වෙන බැව් ද පියා, බන්දුල පවසනවා.
ඔවුන්ගේ කුටුම්බයේ වැඩිමලී ප්‍රභාෂි චමත්කා ඇය උසස් පෙළ ඉගෙන ගන්නා සිසුවියක්. ඇයගේ නැගණිය උමාෂි නෙත්මිකා සාමාන්‍ය පෙළ ඉගෙන ගන්නා අතර පාසලේ බාහිර කටයුතුවල දී වඩාත් කැපී පෙණෙන චරිතයක් වී තිබෙනවා.
“මේ අයගේ අධ්‍යාපන කටයුතු සහ පුතාගේ අධ්‍යාපනය කටයුතු වගේ ම ක්‍රීඩා කටයුතු වෙනුවෙනුත් විශාල වියදමක් දරන්න වෙනවා. ඒ නිසා ම ඇතැම් දේවල් අපිට පවුලක් ලෙස කැප කරන්නත් වෙනවා. ඒක අපි හැමෝම අවබෝධයකින් යුතුව කරන දෙයක්. පුතාගෙ අත්‍යවශ්‍ය පෝෂණ කටයුතු වෙනුවෙන් යන වියදම දරා ගන්න තියෙන අපහසුතාව තමයි දැනට අපිට තියෙන අභියෝගය.” සදීශගේ පියා කේ. ඩබ්ලිව්. බන්දුල මහතා පැවැසුවා.
“සදීශ කියන්නේ ඉස්සරහට හොඳින් රැක බලාගෙන ගත්තොත් රට වෙනුවෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් ක්‍රීඩකයෙක්. ඒ වෙනුවෙන් කටයුතු කරනවා නම් පළමුවෙන් ම ඔහුගේ පෝෂණ තත්ත්වයන් වෙනුවෙන් අවධානය යොමු කරන්න ඕන. ඒ වෙනුවෙන් ඔහු ව රැක බලාගන්න කෙනෙක් ඉන්නවා නම්, ඒක එයාට වඩා මේ රටට කරන ලොකු සේවයක් කියලයි මම හිතන්නේ.” සදීශගේ පුහුණුකරු කීර්ති කුමාර මහතා පවසනවා.
කීර්ති කුමාර ගේ ක්‍රීඩා වපසරිය ද පුළුල් දැක්මක් සහිත එකක්. ඔහු පවසන්නේ පරිසරයත් සමඟ බද්ධ වෙමින් ගොඩනගන ක්‍රීඩාව වඩාත් සාර්ථක වන බවයි. එය එසේ වූවත් ඊට තාක්ෂණය සම්බන්ධ කිරීම ද කළ යුතු බවත් එය සිදු කිරීම බලධාරීන්ගේ යුතුකමක් බවත් ඔහු පවසනවා.
“දිවීම්, පැනීම් සහ ධාවනය යන ත්‍රිත්ව ක්ෂේත්‍රයන් තුළ දක්ෂතා සහිත ක්‍රීඩයන් මා වටා ගොනු වී සිටිනවා. එයින් උස පැනීම මේ පළාත්වලට විශේෂයි. ඊට විද්‍යානුකූල ලෙසින් පරිසරයේ බලපෑම් පවතින බැව් මම විශ්වාස කරනවා. විශේෂයෙන් ම මුහුදු බඩ ප්‍රදේශ වීම සහ වැලිතලා මත ඇවිදීම වැනි කරුණු ඊට බලපානවා. කෙසේ වෙතත් මම විශ්වාස කරන ආකාරයට ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාව මීට වඩා තැනකට ගේන්න නම් එක් පළාතකට එක බැගින් කෘතීම ධාවන පථ ලබා දිය යුතුයි.”
ඒ සම්බන්ධයෙන් ඔහු වැඩිදුරටත් කරුණු ගෙන දැක්වූයේ මේ ලෙසින්.
“ජැමෙයිකාව කියන්නේ අපට වඩා භූමි ප්‍රමාණයෙන් හතරෙන් එකක් පමණ තියෙන කුඩා අපටත් වඩා දුප්පත් රටක්. නමුත් ඒ රටේ කෘතීම ධාවන පථ 4ක් තියෙනවා. අපිට තියෙන්නේ 2යි. මලල ක්‍රීඩාවේ අද අපි ඉන්නෙ කොතැන ද ඔවුන් ඉන්නෙ කොතැනද? ක්‍රිඩාව ගමට ගෙනියනවා නම් සහ දියුණුවක් බලාපොරොත්තු වෙනවා නම් මම ඉහත කී දේ කළ යුතුමයි. සාමාන්‍ය බිමේ සහ කෘතීම ධාවනයේ පථයේ වන පුහුණුවිම්වලින් ලැබෙන ප්‍රතිඵල වෙනස්. මම හිතනවා නියෝජ්‍ය ක්‍රීඩා ඇමැති ලෙස පත් වූ සුගත් තිලකරත්න මේ දේවල් දන්නවා. ධාවකයෙක් ලෙසින් මේක තේරුම් ගෙන ඊට මැදිහත් වෙයි කියන බලාපොරොත්තුව පෞද්ගලිකව මා තුළ තියෙනවා.” කීර්ති කුමාර පවසනවා.
මෙරට මලල ක්‍රීඩාවේ ජාතික ගමන යා යුත්තේ කෙලෙසදැයි ඒ මට්ටමෙන් බලාපොරොත්තු සහගත ව සිටින කීර්ති කුමාර මහතා, සදීශ පබසර මෙන් ම විජිත විද්‍යාලයේ මලල ක්‍රීඩාව ද රැක ගැනීම අද දවසේ සිදුවිය යුතුම දෙයක් ලෙසින් ද දකිනවා.
“පාසලේ ක්‍රීඩා පහසුකම් නම් නොමැති තරම්. අපි පුහුණුවීම් කරන්නේ එක මෙට්ට කට්ටලයකින්. ඒකත් කැඩිලා. පුහුණු උපකරණත් ගොඩාක් අඩුයි. දැනට දකුණු පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ දුමින්ද ක්‍රිශාන්ත මහතා පොරාන්දුවෙලා තියෙනවා මෙට්ට කට්ටලයක් ලබා දෙන්නම් කියලා. පුහුණුවීම් සඳහා තිබෙන මීටර් 400 ධාවන පථයකින් යුත් ක්‍රීඩාංගණයත් පිහිනුම් තටාකයත් මංජුල කුමාර ඔලිම්පික් සහභාගී වීම නිසා ඒකට ගරු කිරීමක් ලෙසින් පාසලට ලැබුණ දෙයක්. අනෙකුත් ක්‍රීඩා පහසුකම් ද ලැබෙනවා නම් අපිට තවත් අනාගත තරු මේ බිමෙන් බිහිකරල දෙන්න පුළුවන්.” කීර්ති කුමාර මහතා පවසන්නේ දැඩි විශ්වාසයකින්.
“මගේ ක්‍රීඩා ලෝකයේ වීරයා මංජුල කුමාර සර්. හැබැයි ඉතිං මම එයාව හැබැහින් දැකලා හෝ ක්‍රීඩා කරනවා දැකල නැහැ. අපිට සර් කියන්නේ එයා උස පැනීම ඉසව්වෙන් ඔලිම්පික් යන්න ගොඩාක් අඩු-පාඩු මැද විශාල කැපවීමක් කළා කියලයි. ඒ වීරයා වගේ දවසක මමත් ඔලිම්පික් උළෙලක් නියෝජනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ හීනය හැබෑ කරගන්න උත්සාහ කරනවා.”සදීශ පබසර ThePapare.com සමඟ පැවැසුවා.
සදීශ පබසර ගේ උනන්දුවත්, කැපවීමත් මතින් ඒ ගමන යෑමට හැකි වේවා’යි ThePapare.com හී සුබ පැතුම්!
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<