වනිඳු සහ මහීෂ් රාජස්තානයට

IPL 2025

25

2025 වසරේ සිට ඉදිරි කාලසීමාව සඳහා IPL තරගාවලියට ක්‍රීඩකයින් තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසිය ඊයේ (24) ආරම්භ වුනා. 

දින දෙකක් පුරාවට පැවැත්වීමට නියමිත ව ඇති මෙම ක්‍රීඩක වෙන්දේසිය ආරම්භ වීමත් සමඟ මෙතෙක් ඉතිහාසයේ ඉහළම වටිනාකමක් හිමි වූ ක්‍රීඩකයින් දෙදෙනෙකු බිහි වීම විශේෂත්වයක්. 

මීට පෙර IPL ඉතිහාසයේ ඉහළම වටිනාකමක් ලද ක්‍රීඩකයා ලෙස ඕස්ට්‍රේලියාවේ Mitchell Starc (ඉන්දීය රුපියල් කෝටි 24.5ක්) වෙන්දේසි වූ අතර, මෙවර එම වාර්තාව හෙළමින් Punjab Kings කණ්ඩායම විසින් හිටපු Kolakata නායක Shreyas Iyer කෝටි 26.75කට මිලදී ගත්තා. 

මෙහි දී ඔහු වෙනුවෙන් පෙර ඔහු ක්‍රීඩා කළ කණ්ඩායම් වන KKR මෙන්ම Delhi Capitals කණ්ඩායම් ද තරග වැදුණු නමුත් ඔවුන් ව ඉක්මවා ගිය PBKS කණ්ඩායම Iyer තමන් සතු කරගත්තා. එමෙන්ම ඔවුන්  විසින් ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක Arshdeep Singh ද කෝටි 18ක මුදලකට තම කණ්ඩායමට එක් කර ගැනීම විශේෂත්වයක්. 

කෙසේ වෙතත් Iyerගේ වාර්තාව පැවතුණේ ඉතාමත් සීමිත කාලසීමවක් පමණයි. හිටපු DC නායක Rishabh Pant පසුව ක්‍රීඩක වෙන්දේසියට කැඳවූ අතර ඔහු වෙනුවෙන් Lucknow Super Giants, Royal Challengers Bangaluru, Sunrisers Hyderabad මෙන්ම DC කණ්ඩායම් ද තරග වැදුණු නමුත් අවසානයේ LSG කණ්ඩායම විසින් කොටි 27ක මුදලකට Pantගේ හිමිකාරීත්වය තහවුරු කර ගත්තා. 

මේ අතර මෙම ඉහළ වටිනාකම් හිමි වීමේ රැල්ල එතෙකින් ද නොනැවතී Venkatesh Iyer අසලට ද පැමිණියා. මෙහි දී Venkatesh වෙනුවෙන් ඔහුගේ පෙර කණ්ඩායම වන KKR විසින් කෝටි 23.75ක වටිනාකමක් වෙන් කිරීමට පියවර ගත්තා. 

ශ්‍රී ලංකාවේ ප්‍රබලතම IPL නියෝජනයන් දෙක වන වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ දෙදෙනාට ම Mumbai Indians කණ්ඩායමෙන් යම් ඉල්ලුමක් ලැබුණ ද ඔවුන් දෙදෙනා ම අවසානයේ Rajasthan Royals කණ්ඩායම සමඟ එක් වුනා. මෙහි දී වනිඳු වෙනුවෙන් කෝටි 5.25ක් ද, මහීශ් වෙනුවෙන් කෝටි 4.40ක වටිනාකමක් ද හිමි වුනා. 

කෙසේ වෙතත් ගිය වර වෙන්දේසියේ දී ඉහළ වටිනාකමක් ලද Mitchell Starc හට මෙවර හිමි වුනේ කෝටි 11.75ක වටිනාකමක් පමණයි. ඔහු DC කණ්ඩායම සමඟ එක් වූ අතර, එංගලන්ත සුපිරි පිතිකරු Jos Buttler වෙනුවෙන් Rajasthan Royals කණ්ඩායම තබා සිටි ඉහළ බලාපොරොත්තු බිඳ දැමීමට සමත් වූ Gujarat Titans කණ්ඩායම කෝටි 15.75ක මුදලකට ඔහුගේ හිමිකාරීත්වය ලබා ගත්තා. මේ අතර දකුණු අප්‍රිකානු ක්‍රීඩක Kagiso Rabada ද කෝටි 10.75ක් වැය කරමින් තම කණ්ඩායමට එක් කර ගැනීමට GT කණ්ඩායම සමත් වීම විශේෂත්වයක්. 

මේ අතර මෙතෙක් කල් RCB කණ්ඩායම සමඟ එක් වී සිටි Mohommed Siraj මෙවර වෙන්දේසියේ දී Gujarat Titans සමඟ එක් වූ අතර, Jofra Archer නැවතත් රාජස්තානය සමඟ එක් වුනා. මේ අතර 2022 ක්‍රීඩක වෙන්දේසියේ දී ඉහළ වටිනාකමක් හිමි නොවීම නිසා කතාබහට ලක් වූ Yuzvendra Chahal මෙවර විශාල පුවත් මවමින් කෝටි 18ක මුදලකට PBKS කණ්ඩායම සමඟ එක් වුනා. 

මේ අතර Chennai Super Kings කණ්ඩායම විසින් නැවතත් Devon Conway, Rachin Ravindra යුගලය තම කණ්ඩායමට එක් කර ගැනීමට තීරණය කළ අතර, 2015 වසරට පසුව Ravichandran Ashwin CSK සමඟ එක් වනු ඇති. 

ක්‍රීඩක වෙන්දේසියේ දෙවැනි දිනය අද (25) ක්‍රියාත්මක වීමට නියමිත අතර, ඊයේ දිනයේ වඩාත් කතාබහට ලක් වූ සිදුවීම් අතර තිබූ David Warner, Jonny Bairstow සහ Devdutt Padikkal කිසිඳු කණ්ඩායමකින් මිලට නොගැනීමේ ගැටලුවට අද දිනයේ යම් පිළිතුරක් ලැබෙතැයි අනුමාන කළ හැකි. එමෙන්ම අද දිනයේ ද තවත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ම වෙන්දේසියට ඉදිරිපත් කිරීමට නියමිත අතර කණ්ඩායම් රැසක් තවමත් තමන්ට ගැළපෙන ක්‍රීඩකයින් සෙවීමේ නිරතව සිටිනවා. 

ක්‍රීඩක වෙන්දේසියේ දෙවැනි දිනයේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<