මෙතුම්, චමෝද් සහ මෙතුක දක්ෂතා අතරට

Prima U15 Sri Lanka Youth League 2024

34
Prima U15 Sri Lanka Youth League 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ Sri Lanka Youth League ක්‍රිකට් තරගාවලියේ අද (24) නිමා වූ තරගවල දී මෙතුම් ප්‍රනාන්දු, චමෝද් ප්‍රබාශ සහ මෙතුක ගුණරත්න දක්ෂතා දක්වමින් දිනයේ කැපී පෙණෙන ක්‍රීඩකයන් බවට පත් වුනා.  

එහි දී වැඩි දක්ෂතා දැක්වූයේ පන්දු යවන්නන් වූ අතර එහි දී දිනයේ ඉහළ ම පන්දු යැවීම වාර්තා කිරීමට සමත් වෙන්නේ මෙතුම් ප්‍රනාන්දු. කොළඹ දකුණු වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම නියෝජනය කරන ඔහු මහනුවර කණ්ඩායමට එරෙහි ව ලකුණු 13කට කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.   

ඊට අමතර ව දඹුල්ල කණ්ඩායමේ චමෝද් ප්‍රබාශ ගාල්ල කණ්ඩායමට එරෙහි ව ලකුණු 18කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් වුනා.  

පිතිකරුවන් ලෙසින් දිනයේ දක්ෂතා දැක් වූ පිතිකරු බවට පත් වූයේ මෙතුක ගුණරත්න. කොළඹ දකුණු වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම නියෝජනය කරන ඔහු මහනුවර කණ්ඩායමට එරෙහි ව අර්ධ ශතකයක් ලබා ගන්නා ලද අතර එය අද දවසේ වාර්තා වූ එක ම අර්ධ ශතකය ද වූවා.   

කොළඹ දකුණු සහ මහනුවර කණ්ඩායම් අතර තරගය කොළඹ විශ්වවිද්‍යාලයීය පිටියේ දී. 

කාසියේ වාසිය දිනා ගත් කොළඹ දකුණ ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගනිමින් පිටියට පිවිසි අතර ඒ අනුව ඔවුන් කඩුලු 6ක් දැවී ලකුණු 204ක් ලබා ගන්නවා.  

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නෙ මෙතුක ගුණරත්න. ඔහු පන්දු 64කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 67ක් ලබා ගන්නවා. ඔහු තාරුක සමින්ජිත (12) සමඟ එක් වෙමින් 7 වැනි කඩුල්ලට පන්දු 56ක දී නොදැවුණ ලකුණු 62ක් එක් කරනවා.  

ඊට අමතර ව ආරම්භක පිතිකරු නිසල ධමිත් පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 44ක් ලබා ගත්තා.  

ඔහු දුශේන් උඩුවෙල එක් ව පළමු කඩුල්ලට පන්දු 78ක දී ලකුණු 57ක සබඳතාවක් එක් කළ අතර දුශේන් උඩුවෙල පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 19ක් ලබා ගන්නවා.  

එම දැවී යෑමෙන් අනතුරු ව පිටියට පිවිසි රෙශාන් සොලමන්ස් පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 35ක් ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දි විහඟ නෙතුසර සහ කුසල් බණ්ඩාර කඩුලු 2ක් බැගින් ද, සචින්ත ගුණසේකර සහ චනුත් ජයසිංහාරච්චි කඩුල්ල බැගින් ද දවා ගන්නවා.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මහනුවර ක්‍රීඩකයන්ට වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට ලබා ගැනීමට හැකි වෙන්නේ කඩුලු 8ක් දැවී ලකුණු 66ක් පමණයි. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු චනුත් ජයසිහාරච්චි. ඔහු පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 23ක් ලබා ගත්තා. ඊට අමතර ව සිසිල් හේමක පන්දු 79කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 10ක් ලබා ගත්තා.  

අනෙක් කිසිදු පිතිකරුවෙක් ඉලක්කම් 2 ලකුණු ප්‍රමාණයකට නොපිවිසී අතර පන්දු යැවීමේ දී මෙතුම් ප්‍රනාන්දු ලකුණු 13කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.  

ඊට අමතර ව දුශේන් උදුවෙල කඩුලු 2ක් ද සහ අදීශ ලක්ෂාන් කඩුල්ලක් ද දවා ගත්තා. 

තරගයේ කෙටි ලකුණු පුවරුව 

කොළඹ දකුණු වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම – කඩුලු 6ක් දැවී 204 (45.0)  නිසල ධමිත් 44, දුශේන් උඩුවෙල 19, රෙශාන් සොලමන්ස් 35, මෙතුක ගුණරත්න 67, විහඟ නෙතුසර 2/39, කුසල් බණ්ඩාර 2/42 

 

මහනුවර වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම – කඩුලු 8ක් දැවී 66 (38.1) චනුත් ජයසිංහාරච්චි 23, සිසිල් හේමක නොදැවී 10, මෙතුම් ප්‍රනාන්දු 5/13, දුශේන් උදුවල 2/17 

 

කොළඹ දකුණු කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 117ක ජයක්.  

ගාල්ල සහ දඹුල්ල කණ්ඩායම් අතර තරගය කොළඹ තර්ස්ටන් ක්‍රීඩාංගණයේදී 

කාසියේ වාසිය ජයග්‍රහණය කරන ලද දඹුලු කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ගාල්ල ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 93ක් පමණක් වන අතර එම ඉලක්කය කඩුලු 7ක් දැවී සපුරා ගැනීමට දඹුලු ක්‍රීඩකයෝ සමත් වූවා.  

ගාලු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ නායක සඳරු මල්ශාන්. ඔහු පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 34ක් ලබා ගත්තා. ඊට අමතර ව මානිත රාජපක්ෂ පන්දු 66කට මුහුණ දෙමින් ලකුණු 16ක් ලබා ගත් අතර රවීන් සචින්ත ලකුණු 10ක් ලබා ගත්තා. 

අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවකට පිවිසිමට දඹුලු පන්දු යවන්නෝ ඉඩ ලබා දුන්නේ නැහැ.  

එහි දී චමෝද් ප්‍රබාශ ලකුණු 18කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව යුමාල් එගොඩගේ ලකුණු 13කට කඩුලු 4ක් ද සහ මහීෂ ඉඳුරංග කඩුල්ලක් ද දවා ගත්තා.  

පහසු ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි දඹුලු ඉනිම ද පැවැතියේ තරමක අවිනිශ්චිත තත්ත්වයක. කෙසේ වෙතත් පළමු කඩුල්ලට රනුද් කරුණාරත්න (10) සහ අකේන් සුජායන එක් ව ලකුණු 23ක් ලබා ගනිමින් මෙම ඉනිම ආරම්භ කරනවා. එය මෙම ඉනිමේ ඉහළ ම ලකුණු සබඳතාව ද වූවා.  

එතැන් සිට තරමක මන්දගාමී වූ මෙම ඉනිමේ තරගය අවසන් වන විට චමෝද් ප්‍රබාශ පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 12ක් ද සහ කලිඳු සචින්තන පන්දු 8කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 10ක් ද ලබා සිටියා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

ගාල්ල වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 93 (37.5) සඳරු මල්ශාන් 34, මානිත රාජපක්ෂ 16, චමෝද් ප්‍රබාශ 5/18, යුමල් එගොඩගේ 4/13 

 

දඹුල්ල වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම – කඩුලු 7ක් දැවී 94 (26.2) අකේන් සුජායන 39, චමොද් ප්‍රබාෂ නොදැවී 13, හිරුක අකලංක 5/31 

 

දඹුල්ල කණ්ඩායමට කඩුලු 3ක ජයක්.  

අද නිමා වූ තරගවල දී කොළඹ දකුණ කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම ජයග්‍රහණ වාර්තා කරන්නට සමත් වූ අතර මෙතෙක් තරගාවලියේ දී තමන් සහභාගී වූ 3 වැනි තරගයෙන් පරාජය වීමට ගාලු ක්‍රීඩකයන්ට සිදු වූවා.   

තරගාවලියේ මීළඟ තරග හෙට (25) පැවැත්විමට නියමිතයි. එහි දී ගාල්ල සහ කොළඹ උතුර අතර තරගය කොළඹ විශ්වවිද්‍යාලයීය පිටියේදීත් සහ  දඹුල්ල සහ මහනුවර අතර තරග කොළඹ තර්ස්ටන් ක්‍රීඩාංගණයේදීත් පැවැත්වේ.   

ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ Sri Lanka Youth League ක්‍රිකට් තරගාවලිය  පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<