පවන් සහ සොනාල් ශතක ලබා ගනී

Sri Lanka A Tour of Pakistan

37
Sri Lanka A Tour of Pakistan

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තාන A ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති 2 වැනි සිව් දින නිල නොලත් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (21) විසඳුමකින් තොරව අවසන් වුනා. මෙම තරගය එලෙසින් නිමා වූවත් දෙරට අතර පැවැති පළමු තරගයේ දී කඩුලු 7ක ජයග්‍රහණයක් ලබා ගත් පාකිස්තාන ක්‍රීඩකයෝ තරග 2කින් යුත් තරගාවලියේ තරග 1-0ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ද සමත් වුනා.

Rawalpindi ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද නිමා වූ තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 310ක් ලබා ගත් අතර සත්කාරක පාකිස්තාන ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 287ක් පමණයි.

තරගයේ සිව් වැනි දිනය වූ අද දවස ආරම්භ වෙන්නේ ලකුණු 23ක් ඉදිරියෙන් සිටිමින් තම 2 වැනි ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 157ක් ලබා සිටිමිනුයි. ඒ වෙද්දී පවන් රත්නායක නොදැවී ලකුණු 64ක් ද සහ සොනාල් දිනූෂ නොදැවී ලකුණු 51ක් ලබා සිටි අතර අද ඔවුන් දෙදෙනා ම ශතක ලබා ගැනීමට සමත් වීම කැපී පෙණුනා.

පවන් රත්නායක පන්දු 198කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 100ක් ලබා ගත් අතර එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ 7 වැනි ශතකයයි. සොනාල් දිනූෂ පන්දු 184කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් නොදැවී ලකුණු 116ක් ලබා ගත් අතර එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ 4 වැනි ශතකයයි.

ඔවුන් දෙදෙනා එක් ව 5 වැනි කඩුල්ලට නොදැවී ලකුණු 214ක සබඳතාවක් ගොඩ නැගීමට සමත් වූ අතර ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 4ක් දැවී ලකුණු 260ක් වෙද්දී අත්හිටුවීමට ශ්‍රී ලංකා නායකයා තීරණය කළා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 284ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි සත්කාරක පාකිස්තාන A ක්‍රීඩකයෝ තරගය අවසන් වන විට කඩුලු 3ක් දැවී ලකුණු 156ක් ලබා සිටියා.

පාකිස්තාන 2 වැනි ඉනිමේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 19ක් වෙද්දී දැවී ගිය ද 3 වැනි කඩුල්ලේ දී ලකුණු 48ක සබඳතාවක් එක් කිරීමට Ali Zaryab සහ Mohammad Suleman සමත් වුනා. ඔවුන් දෙදෙනා අතුරින් 3 වැනි කඩුල්ල ලෙසින් Ali Zaryab දැවී යනවා. ඒ වෙද්දී ඔහු පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 31ක් ලබා සිටියා.

අනතුරු ව එතැන් සිට කිසිදු කඩුල්ලක් ලබා නොදෙමින් තරගය අවසන් වන තුරු පිටියේ රැඳී සිටිමට Mohammad Suleman සහ  Haider Ali සමත් වෙනවා. එහි දී Mohammad Suleman පන්දු 121කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 66ක් ලබා සිටි අතර Haider Ali පන්දු 68කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 43ක් ලබා සිටියා.

ඔවුන් දෙදෙනා විසින් සිව් වැනි කඩුල්ලට නොදැවී එක් කළ ලකුණු ප්‍රමාණය 89ක්.

කඩුලු දවා ගැනීමේ දී නිපුන් ධනංජය, ඉසිත විජේසුන්දර සහ චාමික ගුණසේකර කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

 

ශ්‍රී ලංකා A කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 310 (79.0) අහන් වික්‍රමසිංහ 30, පවන් රත්නායක 35, සොනාල් දිනූෂ නොදැවී 85, දිනුර කළුපහන 30, වනුජ සහන් 63, ඉසිත විජේසුන්දර 51, Khurram Shahzad 6/30, Ahmed Safi Abdullah 2/100

 

පාකිස්තාන A කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 287 (98.0) Abdul Faseeh 59, Ali Zaryab 32, Mohammad Suleman 40, Haider Ali 35, Hussain Talat 25, Ahmed Safi Abdullah 39, වනුජ සහන් 5/74

 

ශ්‍රී ලංකා A කණ්ඩායම – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 260 (76.0) පවන් රත්නායක නොදැවී 100, සොනාල් දිනූෂ නොදැවී 116, Ahmed Bashir 2/65

 

පාකිස්තාන A කණ්ඩායම – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 156 (45.0) Ali Zaryab 31, Mohammad Suleman නොදැවී 66, Haider Ali නොදැවී 43

 

තරගය විසඳුමකින් තොරයි.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලියේ 1 වැනි තරගය මේ මස 25 වැනිදා සිට මෙම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්විමට නියමිතයි.

ශ්‍රී ලංකා – පාකිස්තාන A තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<