තෙවැනි එක්දින තරගය වර්ෂාවට සේදී යයි

New Zealand Tour of Sri Lanka 2024

27
New Zealand Tour of Sri Lanka 2024

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වුණු තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් වුනා.

තරගාවලියේ තෙවැනි සහ අවසන් එක්දින තරගය ඊයෙ (19) දිනයේ දී පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා.

තරගයේ කාසියේ වාසිය නවසීලන්තය සතු වූ අතර, ඔවුන් තරගයේ පළමුව පන්දුවට පහර දීම තෝරා ගත්තා. ඊයේ තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් චමිඳු වික්‍රමසිංහ එක්දින වරම් හිමි කරගත් අතර, නුවනිඳු ප්‍රනාන්දු, නිශාන් මදුශ්ක සහ මොහොමඩ් ශිරාස් ද කණ්ඩායමට එක් වුනා.

කෙසේ වෙතත් ඊයේ දිනයේ ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් තරගය සම්පූර්ණයෙන්ම පැවැත්වීමට හැකියාවක් ලැබුණේ නැහැ.

තරගයේ පළමු ඉනිම දියත් කරමින් සිටි නවසීලන්තය පන්දුවාර 21ක් තුළ එක් කඩුල්ලක් දැවී ලකුණු 112ක් ලබා සිටිය දී වර්ෂාව නිසා තරගය නතර කෙරුණු අතර, නැවතත් තරගය ආරම්භ වුනේ නැහැ.

මෙහි දී නවසීලන්තය වෙනුවෙන් Will Young නොදැවී අර්ධ ශතකයක් (ලකුණු 56) ලබා ගැනීමට සමත් වූ අතර, Henry Nicholls නොදැවී ලකුණු 46ක් ලබා ගැනීමට සමත් වී සිටියා. නවසීලන්ත ඉනිමේ දැවී ගිය එකම කඩුල්ල මොහොමඩ් ශිරාස්ගේ මංගල එක්දින කඩුල්ල ලෙස සටහන් වීමත් විශේෂත්වයක්.

තෙවැනි එක්දින තරගය ඒ අයුරින් විසඳුමක් රහිතව අවසන් වූ අතර ශ්‍රී ලංකාවට තරග 2-0ක් ලෙස තරගාවලියේ ජයග්‍රහණය උරුම වුනා.

තරගාවලියේ මුල් තරග දෙකේ දී ම පිත්තෙන් අගනා දක්ෂතා පෑ කුසල් මෙන්ඩිස් තරගාවලියේ වීරයා සම්මානය හිමි කර ගැනීමත් විශේෂත්වයක්.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<