ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් Duckworth-Lewis න්‍යාය යටතේ ලකුණු 45ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ (13) සමත් වුනා.
රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේ දී ඊයේ දහවල් ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා නායක චරිත් අසලංක සතු වූ අතර, ඔහුගේ තීරණය අනුව ශ්‍රී ලංකාව පළමු ඉනිම දියත් කිරීම ආරම්භ කළා.
මෙහි දී ඉනිම ආරම්භ කිරීමට පිටියට පිවිසි පැතුම් නිස්සංක ලකුණු 12ක් ලබා පිටියෙන් ඉවත් වී ගිය අතර, ඉන් පසුව අවිශ්ක ප්‍රනාන්දු සමඟ කුසල් මෙන්ඩිස් කඩුල්ලේ එක් වුනා.
මෙම දෙදෙනා විසින් ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 215ක් තුළ ලකුණු 206ක දැවැන්ත සබඳතාවක් පිහිටුවීමට සමත් වුනා. කෙසේ වෙතත් පන්දු 115කින් ලකුණු 100ක් ලබා ගත් අවිශ්කගේ දැවී යාමත් සමඟ එම සබඳතාව නිමාව දුටුවා. කෙසේ නමුත් මෙන්ඩිස් නම් තම ශතකයෙන් පසුව ඉනිම නතර කිරීමට සූදානමක් පෙන්නුම් කළේ නැහැ. ඔහු තම සිව්වැනි ශතකය වාර්තා කිරීමට සමත් වෙමින් පන්දු 128ක් තුළ ලකුණු 143ක් ලබා ගැනීමට සමත් වුනා. එමෙන්ම ඒ වෙනුවෙන් ඔහු හතරේ පහර 17ක් සහ හයේ පහර 2ක් ද එල්ල කිරීමට සමත් වුනා.
කුසල් සහ නායක චරිත් අතරේ සිව්වැනි කඩුල්ල වෙනුවෙනි වේගවත් ලකුණු 53ක සබඳතාවක් ගොඩ නැංවුණු අතර, චරිත් ඊයේ දිනයේ දී පන්දු 28ක් පමණක් වැය කරමින් ලකුණු 40ක් ලබා ගැනීමට සමත් වුනා.
කෙසේ නමුත් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීමෙන් පසු කිහිප විටකම වර්ෂාවෙන් තරගයට බාධා එල්ල වූ අතර, එම නිසාම ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 49 පන්දු 2ක් තුළ 324/5ක් ලෙස නතර කළා. මෙහි දී නවසීලන්තය වෙනුවෙන් Jacob Duffy කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වුනා.
- වනිඳු ඉවතට; දුශාන් එක් දින සංචිතයට
- චරිත් සහ දුනිත් ශ්‍රී ලංකාවේ ජය තහවුරු කරයි
- පාකිස්තානය දවා ගැනීමට විශ්වගෙන් වැඩි දායකත්වයක්
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට
- Lanka T10 තරගාවලියේ කණ්ඩායම් සහ ක්‍රීඩකයින් තහවුරුයි
ශ්‍රී ලංකා ඉනිමට බාධා එල්ල කළ වර්ෂාව පසුව නවසීලන්ත ඉනිමට ද බාධා එල්ල කිරීමට හේතු වූ අතර, මේ නිසා නවසීලන්ත ඉනිම පන්දුවාර 27කට සීමා කෙරුණා.
මේ අනුව ඔවුන්ට පන්දුවාර 27ක් තුළ ලකුණු 221ක ඉලක්කයක් හිමි වූ අතර, එය හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි Will Young (ලකුණු 48) සහ Tim Robinson (ලකුණු 35) විසින් නවසීලන්ත පළමු කඩුල්ල වෙනුවෙන් පන්දුවාර 13 පන්දු 2ක් තුළ ලකුණු 88ක් එක් කිරීමට සමත් වුනා.
නමුත් මහීෂ් තීක්ෂණගේ පන්දුවක් හමුවේ Tim Robbins ස්ටම්ප් කිරීමක ලක් වූ අතර, එතැන් පටන් නවසීලන්ත ඉනිම නොසිතු ලෙස කඩා වැටීමට පටන් ගත්තා.
ඒ අනුව මොහොතකට පසුව නවසීලන්ත ඉනිම 156/7ක් ලෙස සටහන් වුනා.
ඉන් පසුව නවසීලන්තයට කිසි සේත් ම ජයග්‍රහණයක් කරා යාමට අවස්ථාවක් හිමි නොවූ අතර, ඔවුන් නියමිත පන්දුවාර 27 තුළ රැස් කර ගැනීමට සමත් වුනේ ලකුණු 175ක් පමණයි. ඒ වන විටත් ඔවුන්ගේ කඩුලු 9ක් බිඳ දැමීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් සමත් වී තිබුණා.
නවසීලන්ත ආරම්භක පිතිකරුවන්ට පසු යම් පමණකට හෝ සාර්ථක වූ Michael Bracewell ලකුණු 34ක් ලබා ගැනීමට සමත් වුනා. පන්දු යැවීමේ දී තරගයේ තීරණය වෙනස් කිරීමට මූලික වූ මහීෂ් තීක්ෂණ සහ නායක චරිත් අසලංක කඩුලු 2 බැගින් බිඳ හෙළද්දී, ඩිල්ශාන් මදුශංක කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා.
තරගයේ වීරයා ලෙස විශිෂ්ට ඉනිමක් දියත් කළ කුසල් මෙන්ඩිස් සම්මාන ලබා ගත්තා.
දෙරට අතර දෙවැනි එක්දින තරගය එළඹෙන ඉරිදා (17) පැවැත්වීමට නියමිතයි.
තරගාවලියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<