ශ්‍රී ලංකාව 2 වැනි ඉනිමේ දී හිස ඔසවයි

40
Sri Lanka A Tour of Pakistan - 1st Unofficial Test Day 3

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තාන A ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන සිව්දින නිල නොලත් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනයේ දී (13) වාර්තා වූ අර්ධ ශතක 4ත් සමඟින් පළමු ඉනිමේ දී ලත් පසුබෑමෙන් මිදී ගෞරවනිය තත්ත්වයකට පිවිසීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හැකි වුනා.

Rawalpindi ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 115ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් සත්කාරක පාකිස්තාන ක්‍රීඩකයෝ තම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 258ක් ලබා ගත්තා.

ඒ අනුව ලකුණු 143ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගය තෙවැනි දිනයට නතර කරන විට කඩුලු 9ක් දැවී ලකුණු 364ක් ලබා සිටියා. ඒ අනුව මේ වන විට ප්‍රතිවාදීන්ට වඩා ලකුණු 221ක් ඉදිරියෙන් සිටිමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හැකි වී තිබෙනවා.

තරග 2 වැනි දිනයට නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 77ක් ලබා සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ  ඊයේ දවස පුරා ම පිටියේ රැඳී සිටීමින් මෙම ලකුණු ප්‍රමාණය ලබා ගත් අතර එහි දී අහන් වික්‍රමසිංහ, පසිඳු සූරියබණ්ඩාර, පවන් රත්නායක සහ සොනාල් දිනූෂ අර්ධ ශතක ඉනිම් වාර්තා කිරීම කැපී පෙණුනා.

දිනය පළමු අර්ධ ශතකලාභියා වූයේ අහන් වික්‍රමසිංහයි. ඔහු පන්දු 95කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 53ක් ලබා ගත්තා. තෙවැනි කඩුල්ල ලෙසින් ලකුණු 87 දී අහන් වික්‍රමසිංහ ඉනිම හැර ගිය පසු සිව් වැනි කඩුල්ලට  ලකුණු 126ක සබඳතාවක් ගොඩ නගමින් මෙම ඉනිමේ පළමු ශතක සබඳතාව ගොඩ නැගීමට නායක පසිඳු සූරියබණ්ඩාර සහ පවන් රත්නායක සමත් වූවා.

පවන් රත්නායක පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 60ක් ලබා ගනිමින් 4 වැනි කඩුල්ලට දැවී ගිය සුනංගවේ ම පසිඳු සූරියබණ්ඩාර ද 5 වැනි කඩුල්ලට දැවී ගියා. ඒ වෙද්දී ඔහු පන්දු 95කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 64ක් ලබා සිටියා.

ඉන් අනතුරුව විශාද් රන්දික (0) සහ නිසල තාරක (5) අඩු ලකුණුවලට සීමා වූ අතර 8 වැනි කඩුල්ලේ දී නැවත ශතක සබඳතාවක් එක් කිරීමට සොනාල් දිනූෂ සහ වනුජ සහන් සමත් වුනා.

වනුජ සහන් පන්දු 99කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 73ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙද්දී 8 වැනි කඩුල්ලට එක් වූ සබඳතාව ලකුණු 130ක්.

අනතුරු ව ඉසිත විජේසුන්දර (3) ද අඩු ලකුණු සංඛ්‍යාවකට ඉනිම අවසන් කරගත් අතර තරගය 3 වැනි දිනයට තරගය නතර කරන විට සොනාල් දිනූෂ පන්දු 125කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 62ක් සහ විශ්ව ප්‍රනාන්දු කිසිදු ලකුණක් ලබා නොගනිමින් පිටියේ නොදැවී රැඳී සිටියා.

කඩුලු දවා ගැනීමේ දී ආරම්භක වේග පන්දු යැවූ Khurram Shahzad ලකුණු 70කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව Mohammad Suleman සහ Kashif Ali කඩුලු ද්විත්වය බැගින් ද Mohammad Rameez jnr කඩුල්ලක් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

ශ්‍රී ලංකා A කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 115 (33.1) පසිඳු සූරියබණ්ඩාර 28, සොනාල් දිනූෂ 30, විශාද් රන්දික 18, Khurram Shahzad 4/32, Kashif Ali 5/31

 

පාකිස්තාන A කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 258 (82.1) Abdul Faseeh 26, Ali Zaryab 55, Mohammad Suleman 24, Hussain Talat 56, Rohail Nazir 55, විශ්ව ප්‍රනාන්දු 4/44, ඉසිත විජේසුන්දර 2/49, නිසල තාරක 2/57

 

ශ්‍රී ලංකා A කණ්ඩායම – දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 364 (96.0) නිපුන් ධනංජය 28, අහන් වික්‍රමසිංහ 53, පසිඳු සූරියබණ්ඩාර 64, පවන් රත්නායක 60, සොනාල් දිනූෂ නොදැවී 62, වනුජ සහන් 73, Khurram Shahzad 4/70, Kashif Ali 2/79, Mohammad Suleman 2/21

අද (14) තරගයේ සිව් වැනි සහ අවසන් දිනයයි.

ශ්‍රී ලංකා – පාකිස්තාන A තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>>තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<