Hong Kong Sixers කිරුළ ශ්‍රී ලංකාවට!

Hong Kong Sixers 2024

53
Hong Kong Sixers 2024

2024 Hong Kong International Sixers ක්‍රිකට් තරගාවලියේ ශූරතාව ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව අද (03) සමත් වුනා.

තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ දී නේපාලය පරාජය කරමින් පහසු ජයක් ලද ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අද උදෑසන බංග්ලාදේශය සමඟ අවසන් පූර්ව තරගයට සහභාගී වුනා.

එම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ බංග්ලාදේශය පළමුව පන්දුවට පහට දීමට තීරණය කළ අතර, ඔවුන් නියමිත පන්දුවාර 06 තුළ කඩුලු 5ක් දැවී ලකුණු 103ක් ලබා ගැනීමට සමත් වුනා.

මෙහි දී බංග්ලාදේශය වෙනුවෙන්  Jishan Alam ලකුණු 36ක් වාර්තා කිරීමට සමත් වූ අතර, තරිඳු රත්නායක විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 33කට කඩුලු 4ක් බිඳ හෙළීමට සමත් වුනා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකාව වෙනුවෙන් සඳුන් වීරක්කොඩි නැවතත් සාර්ථක වෙමින් ලකුණු 50ක් ලබා ගැනීමට සමත් වූ අතර, ධනංජය ලක්ෂාන් ලකුණු 24ක් ලබා ගත්තා. එමෙන්ම නිමේශ් විමුක්ති තරගය ජයග්‍රහණය කරා රැගෙන යමින් ලකුණු 12ක් ලබා ගැනීමට සමත් වූ අතර, ශ්‍රී ලංකාවට කඩුලු 3ක ජයක් හිමි වුනා.

මේ අතර අනෙක් අවසන් පූර්ව තරගයෙන් ඕස්ට්‍රේලියාව පරාජය කළ පාකිස්තාන ශ්‍රී ලංකාව සමඟ අද දහවල් අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලබා ගත්තා.

එම තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාව සතු වූ අතර, ශ්‍රී ලංකාවේ ආරාධනය මත පාකිස්තාන පළමු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසුණා. කෙසේ වෙතත් ඔවුන්ට එතරම් සාර්ථක ලෙස පිතිකරණයේ යෙදීමට ඉඩක් ලැබුණේ නැහැ.

පන්දුවාර 5 පන්දු 2ක් තුළ පාකිස්තාන ඉනිමේ කඩුලු 6ම දවා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර, එහි දී ධනංජය ලක්ෂාන් ලකුණු 6කට කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා. එමෙන්ම තරිඳු රත්නායක ද කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වූ අතර, පාකිස්තාන ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ Muhammad Akhlaq ලකුණු 48ක් ලබා ගත්තා. පාකිස්තානය විසින් ශ්‍රී ලංකාවට ලකුණු 73ක ඉලක්කයක් ලබා දුන් අතර, එය හඹා යාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් ද තරමක් අසීරුතාවකට පත් වන ආකාරයක් දක්නට ලැබුණා. නමුත් පසුව නැවතත් තරගයට අවතීර්ණ වූ ශ්‍රී ලංකා කණ්ඩායම අදාළ ඉලක්කය පන්දුවාර 5ක් තුළ කඩුලු 3ක් පමණක් දැවී හඹා යාමට සමත් වූ අතර, මෙවරත් ශ්‍රී ලංකාවේ සාර්ථක ම පිතිකරු වූ සඳුන් වීරක්කොඩි ලකුණු 34ක් ලබා ගැනීමට සමත් වුනා. ඊට අමතරව නායක ලහිරු මදුශංක ලකුණු 19ක් සහ තරිඳු රත්නායක නොදැවී ලකුණු 16ක් ලබා ගැනීමට සමත් වුනා.

අවසන් පූර්ව තරගය

බංග්ලාදේශය – 103/5 (06) Jishan Alam 36, තරිඳු රත්නායක 4/33

 

ශ්‍රී ලංකාව – 104/3 (5.5) සඳුන් වීරක්කොඩි 50, ධනංජය ලක්ෂාන් 24

ශ්‍රී ලංකාවට කඩුලු 3ක ජයක්.

තරගයේ වීරයා තරිඳු රත්නායක

අවසන් මහා තරගය

පාකිස්තානය – 72/6 (5.2) Muhammad Akhlaq 48, ධනංජය ලක්ෂාන් 2/6, තරිඳු රත්නායක 2/25

 

ශ්‍රී ලංකාව – 76/3 (5) සඳුන් වීරක්කොඩි 34, ලහිරු මදුශංක 19

ශ්‍රී ලංකාවට කඩුලු 3ක ජයක්.

තරගයේ වීරයා ධනංජය ලක්ෂාන්

තරගාවලියේ වීරයා තරිඳු රත්නායක

ඒ අනුව ශ්‍රී ලංකාව දෙවැනි වරටත් Hong Kong Sixers ක්‍රිකට් ශූරතාව ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර (මීට පෙර 2007 වසරේ දී ඔවුන් ශූරතාව දිනා ගැනීමට සමත් වුනා.) මෙවර තරගාවලියේ දී ඉනිම පහක දී ලකුණු 180ක් ලබා ගත් සඳුන් වීරක්කොඩි තරගාවලියේ ඉහළම ලකුණු ලාභීන් අතර සිව්වැනි ස්ථානයට පත් වූ අතර, පන්දු යැවීමෙන් කඩුලු 8ක් දවා ගැනීමට සමත් වූ තරිඳු රත්නායක තරගාවලියේ ඉහළම කඩුලු ලාභියා බවට පත් වුනා.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<