ශ්‍රී ලංකාව තරගාවලි ජයක් කරා!

West Indies Tour of Sri Lanka 2024

75
West Indies Tour of Sri Lanka 2024

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වුණු දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 5ක පහසු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ (23) දිනයේ දී සමත් වුනා.

මෙම තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා නායකයා සතු වූ අතර, ඔහුගේ තීරණය අනුව කොදෙව්වන් පළමු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසුණා.

කෙසේ වෙතත් කොදෙව් ඉනිමේ ලකුණු 17ක් සටහන් වන විට බිඳ වැටුණු පළමු කඩුල්ලෙන් පසුව එකින් එක කඩුලු බිඳ වැටීම ආරම්භ වුනා.

මෙහි දී කොදෙව් කඩුලු 8ක් ලකුණු 58ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් සමත් වූ අතර, මේ මොහොතේ Sherfane Rutherford සහ Gudakesh Motie කඩුල්ලේ එක් වුනා.

ඔවුන් දෙදෙනා විසින් 09 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 119ක වටිනා සබඳතාවක් පිහිටුවීමට සමත් වූ අතර, මේ වෙනුවෙන් Rutherfordගේ පිත්තෙන් ලකුණු 80ක් එකතු වුනා.

ඔහු ඒ වෙනුවෙන් වැය කළේ පන්දු 82ක් පමණක් වන අතර, එම ඉනිම හතරේ පහර 7කින් සහ හයේ පහර 4කින් වර්ණවත් වුනා.

මීට අමතරව කොදෙව් ඉනිම නිමා වන තුරු කඩුල්ලේ රැඳී සිටි Gudakesh Motie පන්දු 61කින් ලකුණු 50ක් ලබා ගැනීමට සමත් වුනේ හතරේ පහර 6ක් ද සමඟයි.

කෙසේ වෙතත් කොදෙව් ඉනිම පන්දුවාර 36ක් තුළ ලකුණු 189කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකි වූ අතර, මෙහි දී වනිඳු හසරංග කඩුලු 4ක්, මහීෂ් තීක්ශණ සහ අසිත ප්‍රනාන්දු කඩුලු 3 බැඟිනුත් දවා ගැනීමට සමත් වුනා.

කොදෙව් ඉනිමට පිළිතුරු සැපයීම සඳහා නිශාන් මදුශ්ක සහ අවිශ්ක ප්‍රනාන්දු පිටියට පිවිසුනත්, අවිශ්ක අද දිනයේ දීත් අසාර්ථක වුනා. එමෙන්ම ඉන් පසුව පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් ද ඉක්මනින් ම නැවත ක්‍රීඩාගාරය වෙත හැරී ගිය අතර, පසුව පිටියට පිවිසි සදීර සමරවික්‍රම නිශාන් සමඟ එක් වී තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 62ක් එක් කිරීමට සමත් වුනා.

මෙහි දී නිශාන් සදීර දෙදෙනා ම ලකුණු 38 බැගින් ලබා ගනිමින් ඉනිම ශක්තිමත් කිරීමට සමත් වුනා. ඔවුන් දෙදෙනාගේ දැවී යාම්වලින් පසුව පිටියට පිවිසි නායක චරිත් අසලංක සහ ජනිත් ලියනගේ පස් වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 55ක් එක් කිරීමට සමත් වූ අතර, මේ වෙනුවෙන් ජනිත් ලකුණු 24ක් එක් කිරීමට සමත් වුනා. මේ අතර තරගය අවසන් වන තෙක් නොදැවී කඩුල්ලේ රැඳී සිටි නායක චරිත් පන්දු 61ක් තුළ ලකුණු 62ක් ලබා ගැනීමට සමත් වුනේ හතරේ පහර 7ක් සහ එක් හයේ පහරක් ද සමඟයි.

ඒ වන විට ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 5ක් දැවී ගොස් තිබූ අතර, එම කඩුලු 5න් දෙකක් Alzarri Joshep සතු වුනා.

ලකුණු 25ක් පමණක් ලබා දෙමින් කොදෙව් කඩුලු 3ක් බිඳ හෙළූ මහීෂ් තීක්ෂණ තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තා.

දෙරට අතර පැවැත්වීමට නියමිත තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය එළඹෙන 26 (සෙනසුරාදා) පැවැත්වීමට නියමිතයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව මේ වන විටත් තරගාවලිය 2-0ක් ලෙස ජයග්‍රහණය කර අවසන්.

මෙම තරගාවලියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<