“පොඩි තරුෂි” සහ ඔමෙල් දෙවැනි දිනය වර්ණවත් කරයි

All Island Schools Athletics Championship 2024

189

2024 සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා ශූරතාවලියේ දෙවැනි දිනය ඊයේ (19) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී සාර්ථකව ක්‍රියාත්මක වුනා. 

ශූරතාවලියේ දෙවැනි දිනය තුළ තවත් වාර්තා පහක් බිඳ වැටීම විශේෂත්වයක්. 

මේ අතරින් 18න් පහළ පිරිමි මීටර් 400 ඉසව්ව නියෝජනය කළ කඳාන සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ ඔමෙල් ශශින්ත විසින් තත්පර 46.85ක කාලයක් වාර්තා කරමින් නව කනිෂ්ඨ ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත් වීම විශේෂත්වයක්. 

මීට කිහිප දිනකට පෙර පැවැත්වුණු ජෝන් ටාබට් මලල ක්‍රීඩා උළෙලේ දී මනෝජ් පුශ්පකුමාර විසින් 2002 වසරේ දී පිහිටුවනු ලැබූ තත්පර 47.10ක කනිෂ්ඨ ශ්‍රී ලංකා වාර්තාව සම කිරීමට ඔමෙල් සමත් වූ අතර, මෙවර ඔහු විසින් එහි තනි අයිතිය සියතට ගැනීමට සමත් වුනා. 

මේ අතර 18න් පහළ කාන්තා මීටර් 1500 ඉසව්ව නියෝජනය කළ ගම්පොල වික්‍රමභාහු විද්‍යාලයේ තරුෂි අභිශේකා විසින් මිනිත්තු 4.29.97ක කාලයක් වාර්තා කරමින් වසර 39ක් පැරණි කනිෂ්ඨ (18න් පහළ) ජාතික වාර්තාවක් බිඳ හෙළීමට සමත් වූ අතර, මීට පෙර එහි අයිතිය ධම්මිකා මැණිකේ සතු වුනා. එමෙන්ම මේත් සමඟින් ම තරුෂි විසින් මෙම ඉසව්වේ යොවුන් (20න් පහළ) වාර්තාව ද බිඳ හෙළීමට සමත් වීම විශේෂත්වයක්. (මීට පෙර එම වාර්තාව මිනිත්තු 4.33.40ක් ලෙස සටහන් වී තිබුණා.) 

මොවුන් දෙදෙනා ම තවමත් 16 හැවිරිදි වියේ පසු වන අතර, ඔවුන් මතු අනාගතයේ දී ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩාවේ සුපිරි තරු බවට පත් වනු ඇතැයි අනුමාන කළ හැකි. 

මීට අමතරව ඊයේ දිනයේ දී 18න් පහළ පිරිමි යගුලිය විසිකිරීම ඉසව්වෙන් මීටර් 17.15ක දක්ෂතාවක් දැක්වූ වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලයේ H.U. ජයසිංහ නව තරග වාර්තාවක් පිහිටුවීමට සමත් වූ අතර, 14න් පහළ මීටර් 100 ඉසව්ව නියෝජනය කළ කොළඹ ගේට්වේ විද්‍යාලයේ අශේන් තෙවරප්පෙරුම තත්පර 11.82කින් තරගය නිම කරමින් නව තරග වාර්තාවක් පිහිටවූවා. 

මේ අතර ශූරතාවලියේ පළමු දිනයේ දී තත්පර 12.47කින් කාන්තා 16න් පහළ මීටර් 100 ඉසව්ව නිම කරමින් නව තරග වාර්තාවක් පිහිටුවීමට සමත් වූ ගම්පහ සිරි කුරුස විද්‍යාලයේ තරණි නිර්මාණා විසින් ඊයේ දිනයේ දී එම වාර්තාව නැවත අලුත් කිරීමට සමත් වුනේ තත්පර 12.45කින් තරගය නිම කරමිනුයි. 

>>මේ දක්වා තරග ප්‍රතිඵල<<

දෙවැනි දිනය නිමා වන විට බස්නාහිර පළාත ලකුණු 458ක් සමඟ ලකුණු සටහනේ පළමු ස්ථානය ලබා ගැනීමට සමත් වී තිබෙන අතර, දකුණු පළාත ලකුණු 134ක් සමඟ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත් වී තිබෙනවා. 

ශූරතාවලියේ තෙවැනි දිනය අද (20) ක්‍රියාත්මක වීමට නියමිතයි. 

එම තරග විස්තර ද ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>>තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<