නවසීලන්තය කොදෙව්වන් පරාජය කරමින් අවසන් මහා තරගයට

ICC Women's T20 World Cup

70
ICC Women's T20 World Cup

9 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (18) පැවැති 2 වැනි අවසන් පූර්ව තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි ව ලකුණු 8ක ජයග්‍රහණයක් ලබා ගත් නවසීලන්ත ක්‍රීඩිකාවෝ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා. 

ඔවුන් කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයක් සඳහා සුදුසුකම් ලබා ගත් 3 වැනි අවස්ථාවයි මේ.  

Sharja ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත ක්‍රීඩිකාවෝ කඩුලු 9ක් දැවී ලකුණු 128ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ප්‍රතිවාදී බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවන්ට ලබා ගැනීමට හැකි වූයේ කඩුලු 8ක් දැවී ලකුණු 120ක් පමණයි. 

මෙම කණ්ඩායම් ද්විත්වය මීට පෙර  2016 වසරේ දී ද මේ ලෙසින් ම අවසන් පූර්ව වටයේ දී එකිනෙකා හමු වූ අතර එවර තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව්වෝ ලකුණු 6ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වෙනවා.  

ඊයේ තරගයේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කළ නවසීලන්ත ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ගේ ඉනිමේ පළමු කඩුල්ලට ලකුණු 48ක සබඳතාවක් ගොඩ නැගෙනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ Suzie Bates පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 26කට දැවී යෑමත් සමඟිනුයි. 

අනතුරු ව අනෙක් ආරම්භක පිතිකාරිනී Georgia Plimmer 3 වැනි කඩුල්ල ලෙසින් ලකුණු 33ක් ලබා සිටිය දී දැවී යවන්නේ ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය ලෙසයි. ඒ වෙද්දී ඇය පන්දු 31කට මුහුණ දී සිටි අතර හතරේ පහර 3ක් සහ හයේ පහරක් ද ඊට එක් කර තිබුණා.  

ඊට අමතර ව නවසීලන්ත ඉනිම අවසන් වන විට Isabella Gaze පන්දු 14කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 20ක් ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී Deandra Dottin ලකුණු 22කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව Afy Fletcher කඩුලු 2ක් ද, Karishma Ramharack සහ Aaliyah Alleyne කඩුල්ල බැගින් දවා ගත්තා. 

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් ඉනිමේ ආරම්භය ඉතා මන්දගාමී වුනා.  ඔවුන්ට පළමු Power Play අවස්ථාවේ දී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 25ක් පමණයි. ඒ වෙද්දී ඔවුන්ගේ කඩුලු ද්විත්වයක් ද අහිමි ව තිබුණා.  

අනතුරු ව ඔවුන්ගේ ඉනිමේ පළමු කඩුලු 5 ලකුණු 63ක් වෙද්දී දවා ගැනීමට ද ප්‍රතිවාදී නවසීලන්ත ක්‍රීඩිකාවෝ සමත් වුනා. නමුත් එතැන් සිට පන්දු 17ක් තුළ ලකුණු 33ක් ලබා ගැනීමට Deandra Dottin සහ Afy Fletcher සමත් වුනා.  

එහි දී එම ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය ලෙසින් Deandra Dottin පන්දු 22කට මුහුණ දෙමින් හයේ පහර 3ක් සමඟින් ලකුණු 33ක් ලබා ගත්තා. Afy Fletcher ඉනිම අවසන් වන විට පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 15ක් ලබා සිටියා.  

කඩුලු දවා ගැනීමේ දී Eden Carson ලකුණු 29කට කඩුලු 3ක් දවා ගත් අතර ඇය තරගයේ දක්ෂත ම ක්‍රීඩිකාව ලෙසින් නම් කෙරුණා. ඊට අමතර ව Amelia Kerr කඩුලු 2ක් ද, Suzie Bates, Fran Jonas සහ Lea Tahuhu කඩුල්ල බැගින් ද දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 9ක් දැවී 128 (20.0) Suzie Bates 26, Georgia Plimmer 33, Brooke Halliday 18, Isabella Gaze නොදැවී 20, Afy Fletcher 2/23, Deandra Dottin 4/22 

 

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 8ක් දැවී 120 (20.0) Deandra Dottin 33, Afy Fletcher නොදැවී 17, Eden Carson 3/29, Amelia Kerr 2/14 

 

නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 8ක ජයක්.  

නවසීලන්ත කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන අවසන් මහා තරගය හෙට (20)  Dubai ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්විමට නියමිතයි.  

9 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<