නැගී එන කණ්ඩායමට හමුවෙන ප්‍රතිවාදීන්

96
ACC Emerging Teams Asia Cup 2024

නැගී එන කණ්ඩායම් අතර පැවැත්වෙන ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය මේ මස 18 වැනිදා සිට ඕමානයේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලිය සඳහා  නුවනිඳු ප්‍රනාන්දු ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා A කණ්ඩායම සහභාගී වන අතර ඔවුන් A කාණ්ඩයෙන් තරගාවලියට එක් වෙනවා. ඔවුන් සමඟ මෙම කාණ්ඩයෙන් ඇෆ්ගනිස්තාන A කණ්ඩායම, හොංකොං කණ්ඩායම සහ බංග්ලාදේශ A කණ්ඩායම එක් වීමට නියමිතයි.

මේ ශ්‍රී ලංකා කණ්ඩායම හා තරගවලට එක් වෙන ප්‍රතිවාදී කණ්ඩායම් සම්බන්ධයෙන් තැබෙන සටහනක්.

ඇෆ්ගනිස්තානය

  • ඔක්තෝබර් 18 වැනිදා Al Amarat හි Oman Cricket Academy ක්‍රීඩාංගණයේ දී.

ඇෆ්ගනිස්තාන කණ්ඩායම, ශ්‍රී ලංකාව සමඟින් තරගයට එක් වෙන්නේ 23 හැවිරිදි වියේ පසුවෙන ආරම්භක වමත් පිතිකරු Sediqullah Atal ගේ නායකත්වයෙන් යුතුවයි. ඇෆ්ගනිස්තානය වෙනුවෙන් විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 6කට මුහුණ දී ඇති ඔහුගේ පළමු පෙළ එක්දින තරගවල දක්ෂතාව වන්නේ තරග 22ක දී අර්ධ ශතකයක් සමඟින් ලබා ඇති ලකුණු 642යි.

කණ්ඩායමේ සිටින පළපුරුදු ක්‍රීඩකයන් අතර ටෙස්ට් තරග 2ක්, එක්දින ජාත්‍යන්තර තරග 3ක් සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 66කට මුහුණ දී සිටින දකුණතින් මඳ වේග පන්දු යවන Karim Janat, ටෙස්ට් තරග 2ක්, එක්දින ජාත්‍යන්තර තරග 3ක් සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 11කට ක්‍රීඩා කර ඇති පා දඟ පන්දු යවන Qais Ahmad සහ ටෙස්ට් තරගයකට සහ එක්දින ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කර ඇති Shahidullah Kamal ද සිටිනවා.

එමෙන් ම එක්දින ජාත්‍යන්තර තරග 20ක් සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 19කට ක්‍රීඩා කර ඇති තුන් ඉරියව් ක්‍රීඩක Sharafuddin Ashraf සහ එක්දින ජාත්‍යන්තර තරග 4කට සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 6ක අත්දැකීම් සපිරි තුන් ඉරියව් ක්‍රීඩක Nangialai Kharoti මෙම කණ්ඩායමේ සුවිශේෂී ස්ථාන හිමිකර ගෙන සිටිනවා.

ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමඟින් එක්දින ජාත්‍යන්තර තරග පිටියට එක් ව සිටින Abdul Rahman Rahmani (3) සහ Allah Mohammad Ghazanfar (1) ද විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියට එක් වූ Mohammad Ishaq (4) සහ Zubaid Akbari (1) ද මෙම තරගාවලිය හා එක් වෙනවා.

ආසියානු නැගී එන කණ්ඩායම් තරගමාලාවේ පැවැති සෑම තරගාවලියකට එක් වූ ඇෆ්ගනිස්තානුවෝ මෙතෙක් මෙම තරගාවලියේ පැමිණි ඉහළ ම ස්ථාන වනුයේ 2017 සහ 2019 වසර ද්විත්වයේ අවසන් පූර්ව වටය දක්වා පැමිණීමයි.

ඇෆ්ගනිස්තාන කණ්ඩායම

Sediqullah Atal (නායක), Qais Ahmad, Zubaid Akbari, Sharafuddin Ashraf, Faridoon Dawoodzai, Allah Mohammad Ghazanfar, Mohammad Ishaq (කඩුලු රකින්නා),  Karim Janat, Nangialai Kharoti, Abdul Rahman Rahmani, Bilal Sami, Numan Shah (කඩුලු රකින්නා), Shahidullah Kamal , Wafiullah Tarakhil.

හොංකොං

  • ඔක්තෝබර් 20 වැනිදා Al Amarat හි Oman Cricket Academy ක්‍රීඩාංගණයේ දී.

මෙම තරග මාලාවේ 2017, 2018 සහ 2019 වසර ත්‍රිත්වයේ දී පමණක් මෙම තරගාවලියට එක් වූ හොංකොං ක්‍රීඩකයෝ මෙතෙක් මෙම තරගාවලියේ දී පළමු වටය පමණක් ක්‍රීඩා කළ කණ්ඩායමක් ලෙසිනුයි වර්ගීකරණය වී ඇත්තේ.

එලෙස එක්වෙන කණ්ඩායමේ නායකත්වය පාකිස්තානයේ උපත ලැබූ 32 හැවිරිදි වියේ පසුවෙන තුන් ඉරියව් ක්‍රීඩක Nizakat Khan වෙත හිමි ව තිබෙනවා. ඔහු හොංකොං කණ්ඩායම වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 20කට ක්‍රීඩා කරමින් ලකුණු 675ක් ද සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 99කට ක්‍රීඩා කරමින් ලකුණු 2053ක් ද ලබා තිබෙනවා. ඉන් තරග 56ක නායකත්වය උසුලා තිබෙන්නේ ද Nizakat Khan විසිනුයි.

එමෙන් ම එම කණ්ඩායමේ උප නායකත්වය ද හිමි ව තිබෙන්නේ පාකිස්තානයේ උපත ලබා හොංකොං කණ්ඩායමෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස වරම් හිමිකර ගත් Yasim Murtaza වෙත. තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ඔහු මේ වන විට විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 47ක දී ලකුණු 614ක් සහ කඩුලු 52ක් ලබා සිටිනවා.

ඊට අමතර ව හොංකොං වෙනුවෙන් එක්දින තරග 22කට  සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 79කට එක් ව සිටින Babar Hayat, එක්දින ජාත්‍යන්තර තරග 19කට සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 85කට ක්‍රීඩා කර ඇති Aizaz Khan, එක්දින ජාත්‍යන්තර තරග 15කට සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 78කට ක්‍රීඩා කර ඇති Ehsan Khan සහ එක්දින තරග 18කට සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 52කට සහභාගී වී ඇති Anshuman Rath ද මෙම කණ්ඩායම හා එක් වෙනවා.

හොංකොං වෙනුවෙන් විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 44කට ක්‍රීඩා කර ඇති Zeeshan Ali සමඟින් Nasrulla Rana (42),  Ayush Shukla (38), Martin Coetzee (28), Ateeq Iqbal (22),  Anas Khan (22) සහ Rajab Hussain (2)  ද මෙම කණ්ඩායමේ සාමාජිකයන්.

හොංකොං රාජ්‍යය වෙනුවෙන් කිසිදු ජාත්‍යන්තර තරගයකට සහභාගී නොවූ ක්‍රීඩකයෙක්ට මෙම කණ්ඩායම හා එක් වෙන්නේ 19 හැවිරිදි වියේ පසුවෙන දකුණතින් මඳ වේග පන්දු යවන Darsh Vora පමණයි.

හොංකොං කණ්ඩායම

Nizakat Khan (නායක), Yasim Murtaza (උප නායක), Zeeshan Ali, Martin Coetzee, Babar Hayat, Rajab Hussain, Ateeq Iqbal, Aizaz Khan, Anas Khan, Ehsan Khan, Nasrulla Rana, Anshuman Rath, Ayush Shukla, Darsh Vora.

බංග්ලාදේශය

  • ඔක්තෝබර් 22 වැනිදා Al Amarat හි Oman Cricket Academy ක්‍රීඩාංගණයේ දී.

2017, 2018 සහ 2023 වසර ත්‍රිත්වයේ අවසන් පූර්ව වටයන් දක්වා පැමිණීමට සමත් වූ බංග්ලාදේශ ක්‍රීඩකයෝ මෙවර තරගාවලියට එක් වෙන්නේ 23 හැවිරිදි වියේ පසුවෙන කඩුලු රකින පිතිකරු Akbar Ali සමඟිනුයි.

බංග්ලාදේශය වෙනුවෙන් මේ දක්වා කිසිදු ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කර නොමැති ඔහුගේ පළමු පෙළ එක්දින තරග දක්ෂතා ලෙසින් සටහන් වෙන්නේ තරග 80ක දී අර්ධ ශතක 13ක් සමඟින් ලබා ගත් ලකුණු 1717ක්. විස්සයි විස්ස පිටියේ ඔහුගේ දක්ෂතා ලෙසින්සටහන් වෙන්නේ තරග 44ක දී ලබා ගත් ලකුණු 421ක්.

කණ්ඩායමේ උප නායකත්වය හිමිවෙන්නේ ටෙස්ට් තරග 6ක් සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 6කට එක් ව ඇති Saif Hassan වෙතයි.

එමෙන් ම කණ්ඩායම නියෝජනය ක්‍රීඩකයන් අතර ටෙස්ට් තරග 9ක්, එක්දින ජාත්‍යන්තර තරග 55ක් සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 5ක ක්‍රීඩා කර ඇති Rakibul Hasan සහ ටෙස්ට් තරගයකට, එක්දින ජාත්‍යන්තර 8කට සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 35කට ක්‍රීඩා කර ඇති Mohammad Naim ප්‍රධාන ක්‍රීඩකයන් ලෙසින් කණ්ඩායමට එක් වෙනවා.

එමෙන් ම එක්දින ජාත්‍යන්තර තරග 30කට සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 32කට ක්‍රීඩා කර ඇති Towhid Hridoy, එක්දින ජාත්‍යන්තර තරග 4කට සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 19කට ක්‍රීඩා කර ඇති Shamim Hossain සහ එක්දින ජාත්‍යන්තර තරග 2කට සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 13කට ක්‍රීඩා කළ Abu Hider Rony ද මෙම කණ්ඩායමේ අසුන් හිමිකර ගෙන තිබෙනවා.

බංග්ලාදේශය වෙනුවෙන් විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 6කට ක්‍රීඩා කර ඇති Parvez Hossain Emon සහ තරග 3කට ක්‍රීඩා කර ඇති Ripon Mondol ද මෙම කණ්ඩායම හා එක් වෙද්දී බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කර තිබෙන Jishan Alam, Maruf Mridha, Mahfuzur Rahman Rabby සහ Wasi Siddiquee යන යොවුන් ක්‍රීඩකයෝ ද මෙම කණ්ඩායම නියෝජනය කරනවා.

ඊට අමතර ව කණ්ඩායම හා එක් වෙන කෝඩුකාරයන් වෙන්නේ Aliss Al Aslam සහ Rejaur Rahman Raja.

බංග්ලාදේශ කණ්ඩායම

Akbar Ali (නායක), Saif Hassan (උප නායක), Jishan Alam, Aliss Al Aslam, Rakibul Hasan, Abu Hider Rony, Parvez Hossain Emon, Shamim Hossain, Towhid Hridoy, Ripon Mondol, Maruf Mridha, Mohammad Naim, Mahfuzur Rahman Rabby, Rejaur Rahman Raja, Wasi Siddiquee.

නැගී එන කණ්ඩායම් අතර පැවැත්වෙන ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තතු විත්ති සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<