කමිඳු නැවතත් ICC සම්මාන ලබයි

ICC Player of the Month - September

71
ICC Player of the Month - September

2024 සැප්තැම්බර් මාසයේ ICC ක්‍රීඩකයා සම්මානය කමිඳු මෙන්ඩිස් හට හිමි වී තිබෙනවා.

මෙම සම්මානය සඳහා කමිඳු සමඟින් ශ්‍රී ලංකාවේ ප්‍රභාත් ජයසූරිය සහ ඕස්ට්‍රේලියාවේ Travis Headගේ නම් යෝජනා වී තිබූ අතර, ඒ අතුරින් කමිඳු විසින් ගෙවුණු මාසය තුළ එංගලන්තයට සහ නවසීලන්තයට එරෙහිව දැක්වූ දක්ෂතා පදනම් කොට ඔහුට මෙම සම්මානය හිමි වී තිබෙනවා.

ගෙවුණු මාසය තුළ කමිඳු විසින් ටෙස්ට් තරග හතරක් ක්‍රීඩා කරමින් පිතිකරණ සාමාන්‍ය 90.20ක රඳවා තබා ගනිමින් ලකුණු 451ක් ලබා ගැනීමට සමත් වුනා.

ඔහු විසින් ගෙවුණු මාසයේ දී තම අට වැනි ටෙස්ට් තරගය (13 වැනි ඉනිම) ක්‍රීඩා කරමින් ලකුණු 1000 සීමාව පසු කර යෑමට සමත් වූ අතර, ගෙවුණු වසර 75ක ඉතිහාසය තුළ එම කඩ ඉමට ළඟා වූ වේගවත් ම ක්‍රීඩකයා බවට ද පත් වීමට කමිඳු සමත් වුනා.

එමෙන්ම ඔහු විසින් ගෙවුණු මාසයේ දී නවසීලන්තයට එරෙහිව තම ටෙස්ට් දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස නොදැවී ලකුණු 182ක් ලබා ගැනීමට ද සමත් වුනා.

මෙම වසරේ මාර්තු මාසයේ ද ICC ක්‍රීඩකයා බවට පත් වීමට සමත් වූ කමිඳු මෙවර සිය දෙවැනි මාසයේ ක්‍රීඩකයා සම්මානය ලබා ගන්නේ මෙම වසර තුළ දෙවරක් මෙම සම්මානය දිනා ගත් පළමු ක්‍රීඩකයා බවට ද පත් වෙමිනුයි.

දෙස්, විදෙස් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<