සිංහ – කොදෙව් T20 තරගාවලිය අභිමුඛව

West Indies Tour of Sri Lanka 2024

298
West Indies Tour of Sri Lanka 2024

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (13) රාත්‍රියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලියට එක් වෙද්දී සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ විස්සයි විස්ස කණ්ඩායම් ජාත්‍යන්තරව ශ්‍රේණිගත කිරීම් අනුව 3 වැනි ස්ථානයේත් සහ ශ්‍රී ලංකාව 8 වැනි ස්ථානයේත් පසු වෙනවා.

දෙරට ඉතිහාසයේ මේ දක්වා විස්සයි විස්ස තරගාවලි ත්‍රිත්වයක් පවත්වා ඇති අතර ඒ කිසිදු තරගාවලියක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාවට හැකි වී නැහැ. ඔවුනොවුන් පළමු වරට ද්විත්ව තරගාවලියක් සඳහා 2015 වසරේ දී හමුවෙන අතර එම තරගාවලිය 1-1ක් ලෙසින් සම වෙනවා. අනතුරු ව 2020 සහ 2021 වසර ද්විත්වයේ දී නැවත හමුවෙන අතර එම තරගාවලි ද්විත්යෙන් කොදෙව්වෝ පිළිවෙලින් 2-0ක් සහ 2-1ක් ලෙසින් ජයග්‍රහණය කරනවා.

අද තරගයේ දී තරග බිමට පිවිසෙන කණ්ඩායම් අතුරින් ශ්‍රී ලංකාව දැනටමත් තම කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබෙනවා. සුපුරුදු ලෙසින් ම ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංකට හිමි ව ඇති අතර ඔහු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමකට එරෙහි ව නායකත්වයේ කිරුළ පළදින පළමු අවස්ථාව මෙයයි.

ඔහුට අමතර ව පිතිකරුවන් ලෙසින් පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා සහ භානුක රාජපක්ෂ නම් කර තිබෙනවා. ඒ අතුරින් භානුක රාජපක්ෂ ශ්‍රී ලංකා කණ්ඩායම හා එක්වෙන්නේ මාස 19කට පසුවයි.

කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙසින් කමිඳු මෙන්ඩිස් සහ වනිඳු හසරංග එක් වෙන අතර චමිඳු වික්‍රමසිංහ, මහීෂ් තීක්ෂණ, මතීෂ පතිරණ සහ අසිත ප්‍රනාන්දු පන්දු යවන්නන් ලෙසින් එක් වෙනවා.

මෙම තරගයේ දී පසුගිය ජුලි මාසයේ දී එක්දින වරම් හිමිකර ගත් දකුණතින් මඳ වේග පන්දු යවන චමිඳු වික්‍රමසිංහ ද එක් කර තිබෙනවා.

තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායම වේලාසනින් ම නම් කර තිබුණ ද සංචාරක ක්‍රීඩකයෝ ඒ සඳහා තවමත් උනන්දු වී නැහැ. කෙසේ වෙතත් Rovman Powell ගේ නායකත්වයෙන් සහ Roston Chase ගේ උප නායකත්වයෙන් යුත් එම කණ්ඩායම සටන්කාමී කණ්ඩායමක් වනවාට කිසිදු සැකයක් නැහැ.

ඔවුන් මෙම තරග සඳහා එක් වෙන්නේ ඔවුන්ගේ ආසන්නත ම තරගාවලිය වූ දකුණු අප්‍රිකානුවන්ට එරෙහි ව තරග 3-0ක ජයග්‍රහණයක් හිමිකර ගනිමිනුයි.

එම තරගාවලියේ දී පිතිකරුවන් ලෙසින් දක්ෂතා දැක් වූ Shai Hope, Alick Athanaze සහ Sherfane Rutherford ද පන්දු යවන්නන් ලෙසින් දක්ෂතා දැක් වූ Romario Shepherd සහ Shamar Joseph ද මෙම තරගාවලියේ අනිවාර්ය අසුන් හිමි වන ක්‍රීඩකයෝ විය හැකියි.

තරගයට එක් වෙන ශ්‍රී ලංකා කණ්ඩායම

චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, කමිඳු මෙන්ඩිස්, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, චමිඳු වික්‍රමසිංහ, මහීෂ් තීක්ෂණ, මතීෂ පතිරණ සහ අසිත ප්‍රනාන්දු

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් සංචිතය

Rovman Powell (නායක), Roston Chase (උප නායක), Fabian Allen, Alick Athanaze, Andre Fletcher, Terrance Hinds, Shai Hope, Alzarri Joseph, Shamar Joseph, Brandon King, Evin Lewis, Gudakesh Motie, Sherfane Rutherford, Romario Shepherd, Shamar Springer.

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් ඉතිහාසයේ සුවිශේෂී කඩඉම්

215/3 (20.0): පල්ලෙකැලේ දී 2015 වසරේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලබා ඇති මෙම ලකුණු ප්‍රමාණය දෙරට කණ්ඩායම් අතුරින් කණ්ඩායමක් ලබා ඇති වැඩිම ලකුණු සංඛ්‍යාවයි.

196/4 (20.0): බටහිර ඉන්දීය කොදෙව්වෝ ශ්‍රී ලංකාවට එරෙහි ව ලබා ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කරන්නේ 2020 වසරේ පල්ලෙකැලේ දී.

101/10 (18.4): ශ්‍රී ලංකා කණ්ඩායම 2012 වසරේ දී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ලබා ගත් මෙම ලකුණු ප්‍රමාණය අඩු ම ලකුණු ප්‍රමාණයයි.

101/10 (17.4): බටහිර ඉන්දීය කොදෙව්වෝ ශ්‍රී ලංකාව ඉදිරියේ ලබා ඇති අඩු ම ලකුණු සංඛ්‍යාව ලෙසින් වන මෙම ලකුණු සංඛ්‍යාව 2009 වසරේ දී The Oval ක්‍රීඩාංගණයේ දී වාර්තා වෙනවා.

400: දෙරට ක්‍රීඩකයෝ එක් ව 2015 වසරේ දී පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකාව කඩුලු 3කට ලබා ගත් ලකුණු 215ත් සහ බටහිර ඉන්දීය කොදෙව්වෝ ලබා ගත් ලකුණු 185ත් සමඟින් වන එකතු ව දෙරට ඉතිහාසයේ කණ්ඩායම් 2 එක් ව ලබා ගත් වැඩිම ලකුණු ප්‍රමාණයයි.

238: 2012 වසරේ දී කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී බටහිර ඉන්දීය කොදෙව්වෝ කඩුලු 6කට ලබා ගත් ලකුණු 137ත් සහ ශ්‍රී ලංකාව ලබා ගත් ලකුණු 101ත් සමඟින් වන එකතු ව දෙරට ඉතිහාසයේ කණ්ඩායම් 2 එක් ව ලබා ගත් අඩුම ලකුණු ප්‍රමාණයයි.

57: දෙරට ඉතිහාසයේ වැඩිම ලකුණු පරතරයකින් ජයග්‍රහණය කළ කණ්ඩායම වන්නේ ශ්‍රී ලංකාවයි.

98*: දෙරට ඉතිහාසයේ ක්‍රීඩකයෙක් විසින් ලබා ගත් වැඩි ම ලකුණු ප්‍රමාණයේ වාර්තාව සතු වෙන්නෙ මහේල ජයවර්ධන සතුවයි. ඒ 2010 වසරේ දී Bridgetown හි දී යි.

84*: ශ්‍රී ලංකාවට එරෙහි ව ඉනිමක වැඩිම ලකුණු ලබා ඇති බටහිර ඉන්දීය කොදෙව් පිතිකරු වන්නේ Andre Fletcher. ඔහු මෙම දක්ෂතාව සිදු කරන්නේ 2016 වසරේ දී Bengaluru හි දී.

5/28 (3.0): දෙරට ඉතිහාසයේ ඉනිමක හොඳම පන්දු යැවීම වාර්තා කරන්නේ 2020 වසරේ දී පල්ලෙකැලේ දී Oshane Thomas පෑ දක්ෂතාවයි.

4/12 (4.0): බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි ව ශ්‍රී ලංකාවේ හොඳම පන්දු යැවීම වාර්තා කරන්නේ 2012 වසරේ දී කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී අජන්ත මෙන්ඩිස් පෑ දක්ෂතාවයි.

166: දෙරට ඉතිහාසයේ ඕනෑ ම කඩුල්ලක් සඳහා වන වැඩිම ලකුණු සබඳතාව කුමාර සංගක්කාර  සහ මහේල ජයවර්ධන විසින් 2010 වසරේ දී Bridgetown හි දී 2 වැනි කඩුල්ලට ලබා ගන්නා ලද මෙම ලකුණු ප්‍රමාණයයි. මෙම ලකුණු සබඳතාව ශ්‍රී ලංකා විස්සයි විස්සයි ජාත්‍යන්තර තරග ඉතිහාසයේ ඕනෑ ම කඩුල්ලක් සඳහා ද වන ඉහළ ම ලකුණු ප්‍රමාණයයි.

77: බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහි ව වාර්තා කරන ලද හොඳම ලකුණු සබඳතාව වන්නේ 2009 වසරේ දී Trent Bridge හි දී 5 වැනි කඩුල්ලට Ramnaresh Sarwan සහ Dwayne Bravo එක් ව ලබා ගත් ලකුණු ප්‍රමාණයයි.

බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ මෙරට සංචාරයේ උණුසුම් තතු විත්ති සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<