ඉමන්ත, ශමල්ෂා සහ මේකලා දක්ෂතා දක්වයි

27th Asian Table Tennis Championships 2024

65
27th Asian Table Tennis Championships 2024

කසකස්තානයේ පැවැත්වෙන 27 වැනි ආසියානු කුසලාන මේස පන්දු ශූරතාවලිය සඳහා සහභාගී වී සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතුරින් අද (09) පැවැති තරගවල දී ජයග්‍රහණ වාර්තා කිරීමට ඉමන්ත උදන්ජය, ශමල්ෂා දෙව්මි පෙරේරා සහ මේකලා ප්‍රනාන්දු සමත් වූවා.

පිරිමි කණ්ඩායම් ඉසව්වට එක් වූ ඉමන්ත උදන්ජය ප්‍රතිවාදී උස්බකිස්තාන ක්‍රීඩකයා තරග වට 3-2කින් පරාජය කරද්දී, කාන්තා යුගල ඉසව්වට එක් වූ ශමල්ෂා දෙව්මි පෙරේරා සහ මේකලා ප්‍රනාන්දු එක්ව 3-2ක් ලෙසින් කසකස්තාන ක්‍රීඩිකාවන් පරාජය කිරිමට සමත් වුනා.

මේ අතර තරගාවලියේ පිරිමි කණ්ඩායම් ඉසව්වේ ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමේ ගමන අද අවසන් වූ අතර ඒ අනුව 18 වැනි ස්ථානයට පත් වීමට ඔවුන්ට හැකි වුනා. ඔවුන් සමඟින් අද එක් වූ උස්බකිස්තාන කණ්ඩායම 3-1ක් ලෙසින් ශ්‍රී ලංකාව පරාජයට පත් කරනවා.

කසකස්තානයේ Beeline Arena හි Daulet ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වෙන මෙම තරගාවලියේ දී අද මෙරට නියෝජනය කරමින් පළමුවෙන් පිටියට එක් වෙන්නේ පිරිමි කණ්ඩායම් ඉසව්ව වෙනුවෙන් සහභාගී වූ චමීර ගිනිගේ. ඔහුගේ ප්‍රතිවාදීයා වූයේ උස්බකිස්තානයේ Dilshodov Diyorbek. ඔහුත් සමඟ පැවැති තරගයේ දී 11-9ක්, 11-6ක් සහ 11-7ක් ලෙසින් චමීර ට පරාජය වීමට සිදු වූවා.

අනතුරු ව ශ්‍රී ලංකාව වෙනුවෙන් පිටියට එක් වූයේ ඉමන්ත උදන්ජය, Iskandarov Shokhrukh සමග තරගයට එක් වුණා. එහි දී ඉමන්ත වටයක් හැර වටයක දී ප්‍රතිවාදීයා 3-2ක් ලෙසින් ප්‍රතිවාදී ක්‍රීඩකයා පරාජයට පත් කළා. එහි ලකුණු පුවරුව කියැවුණේ 11-9ක්, 9-11ක්, 11-7ක්, 10-12ක් සහ 11-9ක් ලෙසයි.

ඉන් පසුව චනුල් දුල්සෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක් වෙද්දී Nurmonov Temurbek උස්බකිස්තානය වෙනුවෙන් එක් වූවා. ඔහු හා තරගයේ දී චනුල් 14-12ක්, 11-6ක් සහ 11-6ක් ලෙසින් තරග වට 3-0ක පරාජයට පත් වෙද්දී නැවත පිටියට පිවිසි චමීර ගිනිගේ ප්‍රතිවාදී Iskandarov Shokhrukh වෙතින් වට 4ක් දක්වා තම තරගය දීර්ඝ කර ගනිමින් 11-7ක්, 8-11ක්, 11-8ක් සහ 11-8ක් ලෙසින් 3-1ක පරාජයකට මුහුණ දීමට සිදු වෙනවා.


අනතුරු ව ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක් වෙන්නේ කාන්තා යුගල ඉසව්ව වෙනුවෙනුයි. එම ඉසව්වේ ශ්‍රී ලංකා පළමු තරගකාරියන් වෙන්නේ ලෙසන්‍යා සිතුම්දී සහ මනීශා ශලින්දි. ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන්නේ උස්බකිස්තානයේ Tojiokhunova Nasibakhon සහ Khasanova Adelina. එම තරගයේ දී 11-7ක්, 11-3ක් සහ 11-8ක් ලෙසින් 3-0ක පරාජයකට මුහුණ දීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සිදු වෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රාහී ක්‍රීඩිකාවන් වූ ශමල්ෂා දෙව්මි පෙරේරා සහ මේකලා ප්‍රනාන්දු තරග පිටියට එක් වෙන්නේ ඉන් අනතුරුවයි. ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ කසකස්තානයේ Abdimitalipova Ramida සහ Muratalieva Raiana. එම තරගයේ දී පළමු සහ දෙවැනි වටයේ තරග ද්විත්වය 11-7ක් සහ 11-7ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි වූව ද 3 වැනි සහ 4 වැනි වටයන් හි දී 11-8ක් සහ 11-8ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ප්‍රතිවාදී ක්‍රීඩිකාවෝ සමත් වෙනවා. අවසන් වටයේ දී 13-11ක ජයග්‍රහණයක් ලබා ගන්නා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ප්‍රතිවාදීන් 3-2ක් ලෙසින් පරාජය කරමින් තරගයේ ජයග්‍රහණය වාර්තා කරනවා.

අනතුරු ව මිශ්‍ර යුගල ඉසව්වේ තරග ද ආරම්භ වූ අතර ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමුවෙන් ම සහභාගී වෙන්නේ චමීර ගිනිගේ සහ ලෙසන්‍යා සිතුම්දි. ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ පිලිපීනයේ Tormis Eljay සහ Cruz Kheith. එම තරගයෙන් 11-7ක්, 11-9ක් සහ 11-7ක් ලෙසින් 3-0ක පරාජයකට මුහුණ දීමට චමීරට සහ ලෙසන්‍යාට සිදු වුවා.

එම ඉසව්වේ අද දවසේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ අවසන් ක්‍රීඩක යුගලය වූයේ ඉමන්ත උදංජය සහ මනීශා ශලින්දි. ඔවුන් මෙම තරගයේ දී 11-4ක්, 11-6ක් සහ 11-7ක් ලෙසින් ජපන් ජාතික Matsushima Sara සහ Harimoto Miwa වෙතින් තරග වට 3-0ක පරාජයකට මුහුණ දෙනවා.

අනතුරු ව පිරිමි යුගල ඉසව්වන් සඳහා චනුල් දුල්සෙන් සහ ජනිත් බටුගෙදර එක් වූ අතර ඔවුන් දෙදෙනා ප්‍රතිවාදී මැලේසියාවේ Wann Sing Danny සහ Hong Yu Tey එක් ව තියුණු තරගයකට එක් වෙනවා. එහි දී පළමු වටයෙන් 11-6ක ජයග්‍රහණයක් ලබා ගැනීමට චනුල් සහ ජනිත් සමත් වූව ද ඊළඟ වට 2 දී ලකුණු 11-7ක් සහ 11-5ක් ලෙසින් ප්‍රතිවාදීන් ජයග්‍රහණය කරනවා. සිව් වැනි වටයේ දී නැවත 11-9ක් ලෙසින් චනුල් සහ ජනිත් සමත් වූවත් අවසන් වටයේ දී 11-5ක් ලෙස තරගය තමන් වෙත තබා ගැනීමට ප්‍රතිවාදීන් සමත් වෙනවා.

එම ඉසව්වේ ම චමීර ගිනිගේ සහ ඉමන්ත උදන්ජය තායිලන්තයේ Nuchchcart Sitisak සහ Thanmathikom Napat එක් ව තරග වැදුන අතර එම තරගය ද උණුසුම් තත්ත්වයකට ගෙන ඒමට දෙරටේ ක්‍රීඩකයෝ සමත් වුනා. එහි දී චමිර සහ ඉමන්ත පළමු වටය 11-9ක් ලෙසින් පරාජය වූව ද ඊළඟ වට ද්විත්වය 11-9ක් සහ 11-7ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ඔවුන් සමත් වෙනවා. නමුත් එතැන් සිට ප්‍රතිවාදින් තරගයේ ආදිපත්‍ය තමන් වෙත නතු කරමින් 11-7ක් සහ 11-1ක් ලෙසින් තරගය 3-2ක ජයග්‍රහණයකින් නිමා කරනවා.

තරගාවලියේ හෙට (10) තරගාවලියේ කාන්තා එකල ඉසව්වෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරග බිමට පිවිසිමට නියමිතයි.

පිරිමි කණ්ඩායම් ඉසව්වේ ශ්‍රී ලංකා සහභාගී වන උස්බකිස්තාන සමඟ තරගය පැවැත්වීමට නියමිත අතර ඉන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කාන්තා යුගල සහ මිශු යුගල සහ පිරිමි යුගල ඉසව්වන්වලට සහභාගී වීමට නියමිත ව තිබේ.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<