ආසියානු ශූරියන් සහ අනුශූරියන්ගේ ගැටුමට පෙර

ICC Women's T20 World Cup

90
ICC Women's T20 World Cup

9 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔක්තෝබර් 9 වැනිදා (හෙට) සුවිශේෂී තරගයක් යෙදී තිබෙනවා. ඒ මෙවර නිමා වූ කාන්තා විස්සයි විස්ස ආසියානු කුසලාන තරගාවලියේ ශූරතාව දිනූ ශ්‍රී ලංකාව සහ අනුශූරියන් වූ ඉන්දියාව අතර තරගයයි.

ලෝක කුසලාන තරගාවලියේ 12 වැනි තරගය ලෙසින් ක්‍රියාත්මක වීමට නියමිත මෙම තරගය Dubai ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී රාත්‍රී තරගයක් ලෙසයි ක්‍රියාත්මක වෙන්නේ.

මෙම තරගයට එක් වෙන විට A කාණ්ඩයේ ප්‍රසාද ලකුණු පුවරුවේ ඉන්දියාව සිව් වැන්නේ  සහ ශ්‍රී ලංකාව 5 වැනි ස්ථානය හෙවත් අවසන් ස්ථානයේයි රැඳී සිටින්නේ. ඉන්දියාව මේ දක්වා පැවැති තරගවල දී නවසීලන්තය වෙතින් ලකුණු 58ක පරාජයක් ද සහ පාකිස්තානය සමඟ තරගයේ දී කඩුලු 6ක ජයග්‍රහණයක් ද ලබා ගනිමින් නිමා කරනවා.

නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට එතරම් ම වාසනාවක් ගෙවී ගිය තරග ද්විත්වයේ දී ම ලැබෙන්නේ නැහැ. ඔවුන් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පාකිස්තානය හා තරගයේ දී ලකුණු 31ක පරාජයකට මුහුණ දෙන අතර වත්මන් ලෝක ශූරියන් වන ඔස්ට්‍රේලියාව හා ගැටුන 2 වැනි තරගයෙන් කඩුලු 6ක පරාජයකට මුහුණ දෙනවා.

මෙම තරග ද්විත්වයේ දී ම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ දුර්වල පිතිකරණය වඩාත් කැපී පෙණුන අතර පන්දු යවන්නියන් තම යුතුකම, ප්‍රශස්ථ මට්ටමේ ම නොවූවත් යම් සාර්ථක මට්ටමකට ගෙනැවිත් තිබුණා. නමුත් තරගයක යහපත් ප්‍රතිඵලයකට එය ප්‍රමාණවත් වන්නේ නැහැ.

මෙතෙක් තරගාවලියේ දී ආසාර්ථක වූයේ චමරි අතපත්තු ද, විශ්මි ගුණරත්න ද හෝ හර්ෂිතා සමරවික්‍රම ද යන්න අදාළ නොවේ. ඔවුන්ගේ වර්ථමාන සැලසුම විය යුත්තේ ගිලිහී ගිය පිතිහරඹ දක්ෂතා නැවත කරලියට ගෙන ඒමයි. එය සෑම පිතිකාරිනියකට ම අදාළ විය යුතුයි.

එසේ නොමැති ව හෙට තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පෙර තරග ද්විත්වයේ වැරදි අඩු-පාඩු හදා නොගන්නේ නම් මෙම සංචාරය ඉතා අවාසනාවන්ත තරග සංචාරයක් වීම ද වැලැක්විය නොහැකියි.

පෙර තරගයේ දී ජයග්‍රහණය ලැබූ ඉන්දීය ක්‍රීඩිකාවෝ මෙම තරගයට පිවිසෙන්නේ එම ජයග්‍රාහී ගමන තව දුරටත් දිගු කර ගැනීමේ අභිප්‍රායෙනුයි. ඔවුන්ට ඒ වෙනුවෙන් විවර වී තිබෙන සුවිශේෂී ම දොරටුව වන්නේ ශ්‍රී ලංකාව මේ වන විට වැටී සිටින දුර්වල තත්ත්වයයි.

ඒ කෙසේ වෙතත් එරට ආරංචි මාර්ග දක්වන පරිදි ප්‍රතිවාදී ඉන්දීය නායිකා Harmanpreet Kaur මේ වන විට ආබාධිත තත්ත්වයේ පසුවෙන බැවින් හෙට තරගයට එක් නොවන බැව් පැවැසෙනවා. එසේ වුවහොත් ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම Smriti Mandhana ට හිමි වෙන අතර ඇය ද විස්සයි විස්ස පිටියේ තරග 143ක අත්දැකීම් සපිරි ක්‍රීඩිකාවක්.

එමෙන් ම ඇය මේ දක්වා ලෝක කුසලාන තරග 23කට සහභාගී වී ඇති අතර ඉන්දීය කණ්ඩායම 14 වතාවක් මෙහෙයවා තිබෙනවා. ඇයත් සමඟින් පාකිස්තානය සමඟින් ක්‍රීඩා කළ කණ්ඩායම ම මෙම තරගයට පිවිසීමේ වැඩි අවකාශ ඇති අතර යම් ලෙසකින් නිත්‍ය නායිකාව නොමැති වන්නේ නම් දකුණතින් මඳ වේග පන්දු යවන Pooja Vastrakar කණ්ඩායමට කැඳවීමේ වැඩි ඉඩ කඩක් පවතිනවා. ඒ ශ්‍රී ලංකා පිතිකාරිනියන් මෙල්ල කිරීම වඩාත් වැදගත් වන බැවිනුයි.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් සංචිතය

 

චමරි අතපත්තු (නායිකාව), විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, කවීෂා දිල්හාරි, නිලක්ෂිකා සිල්වා, හසිනි පෙරේරා, අනුශ්කා සංජීවනී (කඩුලු රකින්නිය), සුගන්දිකා කුමාරි, ඉනෝෂි ප්‍රියදර්ශනී, උදේශිකා ප්‍රබෝධනී, ඉනෝකා රණවීර, සචිනි නිසංසලා, අචිනි කුලසූරිය, සචිනි ගිම්හානි, අමා කාංචනා.

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම් සංචිත

 

Harmanpreet Kaur (නායිකාව), Smriti Mandhana (උප නායිකාව), Yastika Bhatia (කඩුලු රකින්නිය), Shafali Verma, Deepti Sharma, Jemimah Rodrigues, Richa Ghosh (කඩුලු රකින්නිය), Pooja Vastrakar, Arundhati Reddy, Renuka Singh, D Hemalatha, Asha Sobhana, Radha Yadav, Shreyanka Patil, S Sajana

9 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<