චරිත් අසලංක ලබා ගත් ද්විත්ව ශතකයත් සහ අවිශ්ක ප්‍රනාන්දු ලබා ගත් ශතකයත් සමඟින් තරගාවලියේ මෙතෙක් වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව වාර්තා කළ Colombo ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ ජාතික සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ දී ප්‍රතිවාදී Jaffna කණ්ඩායමට එරෙහි ව ලකුණු 92ක ජයග්‍රහණයක් ලබා ගනිමින් ශූරතාව දිනා ගත්තා.
මෙතෙක් කලක් යාපනයට සහ දඹුල්ලට හිමි ව තිබූ මෙම ශූරතාව අගනුවර ක්‍රීඩකයන් විසින් දිනා ගන්නේ පළමු වරටයි.
කාසියේ වාසිය දිනා ගනිමින් මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිවිසි Colombo කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 413ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් Jaffna කණ්ඩායමට ලබා ගැනීමට හැකි වෙන්නේ තරගය අවසන් වීමට තවත් පන්දු 17ක් ඉතිරි ව තිබිය දී සියලුම දෙනා දැවී ලකුණු 321ක් පමණයි.
Colombo කණ්ඩායම
චරිත් අසලංක (නායක), අවිශ්ක ප්‍රනාන්දු, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා), නුවනිඳු ප්‍රනාන්දු, දසුන් ශානක, චමිඳු වික්‍රමසිංහ, විශාද් රන්දික, ප්‍රමෝද් මධුශාන්, නුවන් තුෂාර, දිලුම් සුදීර.
Jaffna කණ්ඩායම
ජනිත් ලියනගේ (නායක), සඳුන් වීරක්කොඩි, රොන් චන්ද්‍රගුප්ත, හසිත බොයගොඩ, මොහොමඩ් ශමාස් (කඩුලු රකින්නා), ලහිරු මධුශංක, රන්මිත් ජයසේන, ඉසිත විජේසුන්දර, විජයකාන්ත් වියස්කාන්ත්, ජෙෆ්රි වැන්ඩර්සේ, මතීෂ පතිරණ.
පළමුවෙන් පන්දුවට පහර දීමට පිවිසි අගනුවර ඉනිමේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 4ක් තිබිය දී දවා ගැනීමට යාපනය ක්‍රීඩකයෝ සමත් වූව ද ඔවුන් ඊළඟ කඩුල්ලට ලකුණු 264ක ලකුණු සංඛ්‍යාවක් ප්‍රතිවාදීන්ට ලබා දුන්නා. ඒ වෙනුවෙන් ඔවුන් වැය කරන්නේ පන්දු 206ක් පමණයි.
නායක චරිත් අසලංක සහ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ඊට පෙරමුණ ගත් අතර අවිශ්ක ප්‍රනාන්දු 113කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 113කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳී ගියා. එය මෙවර තරගාවලියේ ඕනෑ ම කඩුල්ලක් සඳහා වන ඉහළ ම ලකුණු සබඳතාවයි.
අවිශ්ක ප්‍රනාන්දු මේ රැස් කරන්නේ තමන්ගේ 109ක් වූ පළමු පෙළ එක්දින තරග ඉතිහාසයේ 12 වැනි ශතකය වූ අතර ඒ සමඟ ම ඔහු එම තරගවල ලකුණු 4000 කඩඉම පසු කිරීමට ද සමත් වුනා.
ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 20කට දැවී ගිය අතර අනතුරු ව අගනුවර ඉනිම අවසන් වීමට තවත් පන්දු 2ක් පමණක් ඉතිරි ව තිබිය දී චරිත් අසලංක තම පළමු පෙළ එක්දින තරග ඉතිහාසයේ හොඳම ඉනිමට සමු දුන්නා.
ඔහු පන්දු 142කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 16ක් සමඟින් ලකුණු 206ක් ලබා ගත්තා. එම ඉනිම මෙවර මෙම තරගාවලියේ වාර්තා වූ එක ම ද්විත්ව ශතකයයි.
අගනුවර අවසන් වන විට දසුන් ශානක පන්දු 18කට මුහණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 39ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී ලහිරු මධුශංක සහ මතීෂ පතිරණ කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර ඉසිත විජේසුන්දර ද කඩුල්ලක් දවා ගත්තා.
- Ace Capital යොවුන් ශූරතාව දිනා ගනී
- චරිත් – ජනිත් ගැටෙන NSL අවසන් ගැටුම
- Colombo සහ Jaffna අවසන් මහා තරගයට
- වමත් කසකරුවන්ගේ පෙරමුණේ රාළ “කමිඳු”
- NSL පිටියට ශතක වැස්සක්
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි යාපනය ඉනිමට හොඳ ආරම්භයක් ලබා දීමට ආරම්භක පිතිකරුවන් වූ සඳුන් වීරක්කොඩි සහ රොන් චන්ද්‍රගුප්තට හැකි වෙන්නේ නැහැ. ඔවුන්ගේ සබඳතාව ලකුණු 23කට සීමා වෙනවා. අනතුරු ව හසිත බෝයගොඩ (6) සහ නායක ජනිත් ලියනගේ (16) අඩු ලකුණුවලට සීමා වෙනවා.
කෙසේ වෙතත් ඉනිමේ 4 වැනි කඩුල්ල සඳහා රොන් චන්ද්‍රගුප්ත සහ මොහොමඩ් ශමාස් එක් ව පන්දු 48ක දී ලකුණු 50ක සබඳතාවක් එක් කිරීමට සමත් වුනා. රොන් චන්ද්‍රගුප්ත පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් ලකුණු 56කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව අවසන් වුනා.
අනතුරු ව මොහොමඩ් ශමාස් ගේ ඉනිම ද ලකුණු 49කට සීමා වෙනවා. ඒ වෙද්දී ඔහු පන්දු 39කට මුහුණ දී හතරේ පහර 5ක් සහ හයේ පහරක් තම ඉනිමට එක් කරගෙන තිබුණා.
යාපනය ඉනිමේ හොඳම ලකුණු සබඳතාව ලහිරු මධුශංක සහ රන්මිත් ජයසේන එක් ව 6 වැනි කඩුල්ලට එක් කරනවා. ඔවුන් පන්දු 66ක දී ලකුණු 76ක් එක් කරද්දී, රන්මිත් ජයසේන පන්දු 28කට හතරේ පහරක් සමඟින් ලකුණු 22ක් ලබා සිටිය දී දැවී යමින් එම කඩුල්ලේ සබඳතාව අවසන් කරනවා.
එක් අන්තයක් ආරක්ෂා කරගනිමින් පන්දුවට පහර දෙමින් අසීරු ඉලක්කයක් ගොඩ නැගීමට උත්සාහ කළ ලහිරු මධුශංක ඉනිමේ අවසන් කඩුල්ල ලෙසින් දැවී යද්දී ලකුණු 104ක් ලබා සිටියා. ඔහුගේ ඉනිම පන්දු 86කින් සමන්විත වූ අතර ඊට හතරේ පහර 10ක් සහ හයේ පහර 4ක් ඇතුලත් ව තිබුණා. එය ඔහුගේ පළමු පෙළ එක්දින තරග දිවියේ මංගල ශතකයයි.
කඩුලු දවා ගැනීමේ දී දිලුම් සුදීර ලකුණු 53කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව චරිත් අසලංක, නුවන් තුෂාර සහ දසුන් ශානක කඩුලු 2 බැගින් ද චමිඳු වික්‍රමසිංහ කඩුල්ලක් ද දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
Colombo – කඩුලු 6ක් දැවී 413 (50.0) අවිශ්ක ප්‍රනාන්දු 126, චරිත් අසලංක 206, නුවනිඳු ප්‍රනාන්දු 20, දසුන් ශානක නොදැවී 39, මතීෂ පතිරණ 2/85, ලහිරු මධුශංක 2/77
Jaffna – සියලුම දෙනා දැවී 321 (47.1) රොන් චන්ද්‍රගුප්ත 56, මොහොමඩ් ශමාස් 49, ලහිරු මධුශංක 104, රන්මිත් ජයසේන 22, නුවන් තුෂාර 2/62, දිලුම් සුදීර 3/53, දසුන් ශානක 2/67, චරිත් අසලංක 2/51
Colombo කණ්ඩායමට ලකුණු 92ක ජයක්.
- අවසන් මහා තරගයේ වීරයා – චරිත් අසලංක (Colombo)
- තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා – මුදිත ලක්ෂාන් (Galle)
- තරගාවලියේ දක්ෂතම පිතිකරු – අහන් වික්‍රමසිංහ (Kandy)
- තරගාවලියේ වීරයා – චරිත් අසලංක (Colombo)
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<