පාකිස්තානයට පරාජය වීමෙන් ඉනික්බිතිව

ICC Women's T20 World Cup

147
ICC Women's T20 World Cup

9 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී දුර්වල ආරම්භයක් ලබා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ හෙට (05) වත්මන් ලෝක ශූරියන් වන ඔස්ට්‍රේලියාව සමඟින් තරග වැදීමට නියමිතයි.

Sharjah ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගය දිවා තරගයක් ලෙසයි ක්‍රියාත්මක වන්නේ.

ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේ තමන් සහභාගී වූ පළමු තරගය වූ පාකිස්තානය වෙතින් ලකුණු 31ක පරාජයක් ලබනවා. එම පරාජය ඔවුන් ලබන්නේ වත්මන් ආසියානු ශූරියන් ලෙසින් වීම වඩාත් ශෝචනීයයි. එමෙන් ම මෑත කාලයේ ඉතා ආකර්ශනීය තරග ජයග්‍රහණ කිහිපයක ම හිමිකාරීනියන් වූ ඔවුන් මෑත දක්ෂතා අනුව ඉතා පහළ තත්ත්වයක සිටින පාකිස්තානය වෙතින් පරාජය වීම මෙවන් තරගාවලියක දී දැරිය නොහැකි පාඩුවක්.

එම තරගයේ දී පන්දු යවන්නියන් ප්‍රතිවාදීන් පාලනය කරමින් පන්දු යැවීම කැපී පෙණුන ද පිතිකාරිනියන්ට එහි වාසිය ලබා දීමට නොහැකි වීම පරාජයට හේතු ලෙසින් දැක් විය හැකියි.

පන්දු යැවීමේ දී චමරි අතපත්තු, සුගන්දිකා කුමාරි සහ උදේශිකා ප්‍රබෝධනි කඩුලු 3ක් බැගින් දවා ගනිමින් දක්ෂතා දැක් වූව ද පිතිකාරිනියන් අතුරින් දක්ෂතා දැක් වූයේ නිලක්ෂිකා (22) සිල්වා සහ විශ්මි ගුණරත්න (20) පමණයි. අනෙකුත් කිසිදු පිතිකාරිනියකට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවකට පැමිණීමට හැකි වෙන්නේ නැහැ.

නමුත් මේ තත්ත්වය මේ තරගයේ දී කිසිවෙකුත් බලාපොරොත්තු නොවන්නක් බැවි ඔවුන් වටහා ගත යුතුයි.

එබැවින් මෙම තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට පැවැරී ඇති කාර්ය භාරය අතිමහත්. විශේෂයෙන් ම පාකිස්තානය හා සමඟ තරගයේ දී සිදු වූ දේ නැවත නැවතත් සිදු නොවීමට ඔවුන් වගබලා ගත යුතු වෙනවා. එහි දී වඩාත් වැඩි වගකීමක් නායිකා චමරි අතපත්තු වෙත පැවැරෙන අතර අනෙකුත් ක්‍රීඩිකාවන්ට ද එහි වගකීම්වලින් මිදිය නොහැකියි.

විශේෂයෙන් ම ඔවුන් හඳුනාගත යුත්තේ මේ වත්මන් ලෝක ශූරියන් බවයි.

දෙරට ක්‍රීඩිකාවෝ මීට පෙර මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 6ක දී එකිනෙකා හමුව ඇති අතර ඒ සෑම තරගයක දී ම ජයග්‍රහණය ලබා ඇත්තේ ඔස්ට්‍රේලියාවයි. එම තරග අතර විස්සයි විස්ස ලෝක කුසලාන තරග 3ක් ද ඇතුලත්.

ඔවුනොවුන් අවසන් වරට 2023 වසරේ පෙරවාරියේ දී 8 වැනි ලෝක කුසලානයේ දී හමු වූ අතර එම තරගයෙන් ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ කඩුලු 10ක පහසු ජයග්‍රහණයක් ලබා ගන්නවා. එදා ශ්‍රී ලංකාවට එරෙහි ව පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් අතුරින් අද නැත්තේ එදා කණ්ඩායම මෙහෙය වූ  Meg Lanning පමණයි.

අද එම කිරුළ Alyssa Healy වෙත හිමිව ඇති අතර, එදා තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලබන්නේ ද ඇයයි. ඇය ඊට සුදුසුකම් ලබා ගන්නේ කඩුල්ල පිටුපස සිටිමින් කඩුලු බිඳ දැමීම් 3ක් සිදු කරමින් සහ පිතිකාරිනියක ලෙසින් පිටියට පිවිස නොදැවී ලබා ගත් අර්ධ ශතකයත් හේතුවෙනුයි.

එදා එම තරගයේ දී අනෙක් අන්තයේ සිටිමින් නොදැවී අර්ධ ශතකයක් වාර්තා කළ Beth Mooney ද මෙම කණ්ඩායම නියෝජනය කරනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම ද ඊට නොදෙවෙනියි. එදා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වූ චමරි අතපත්තු ම අද ද ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවන අතර, පළපුරුදු සහ  ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවෝ කිහිප දෙනෙක් ම එදා සේ ම අද ද අප කණ්ඩායමේ රැදී සිටිනවා. අද නැත්තේ එදා කණ්ඩායමට එක් ව සිටි ඕෂදී රණසිංහ සහ මල්ෂා ෂෙහානි පමණයි.

එබැවින් මෙම තරගයේ දී දෙපිලේ ම නියෝජනය, හුරු-පුරුදු ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත වනු ඇතැයි අපගේ විශ්වාසයයි. එහෙත් එසේ වූව ද ඔවුනොවුන්ගේ දක්ෂතා ද එකලෙසින් ම වේ යැයි අප අනුමාන නොකරමු.

නමුත් මෙම තරගාවලියේ දී තව දුරටත් ශ්‍රී ලංකාවට රැඳී සිටිමට නම්, ශ්‍රී ලාංකීය බලාපොරොත්තු සඵල කිරීමට නම් මේ තරගයේ ජයග්‍රහණය වඩාත් වැදගත් වෙනු නියතයි.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් සංචිතය

 

චමරි අතපත්තු (නායිකාව), විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, හසිනි පෙරේරා, කවීෂා දිල්හාරි, නිලක්ෂිකා සිල්වා, අනුශ්කා සංජීවනී (කඩුලු රකින්නිය), සචිනි නිසංසලා, සුගන්දිකා කුමාරි, ඉනෝෂි ප්‍රියදර්ශනී, උදේශිකා ප්‍රබෝධනී, අචිනි කුලසූරිය, ඉනෝකා රණවීර, ශෂිනි ගිම්හානි, අමා කාංචනා.

ඔස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් සංචිතය

 

Alyssa Healy (නායිකාව සහ කඩුලු රකින්නිය), Darcie Brown, Ashleigh Gardner, Kim Garth, Grace Harris, Alana King, Phoebe Litchfield, Tahlia McGrath, Sophie Molineux, Beth Mooney (කඩුලු රකින්නිය), Ellyse Perry, Megan Schutt, Annabel Sutherland, Tayla Vlaeminck, Georgia Wareham.

9 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<