T20 ලෝක කුසලානයට හැප්පෙන අපේ සිහ දෙනුන්

133

9 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන උණුසුමට තවත් ඇත්තේ හොරා කිහිපයක් පමණයි. පළමු ව බංග්ලාදේශයේ සත්කාරකත්වයෙන් පැවැත්විමට නියමිත ව තිබූ මෙම තරගාවලිය එරට මතු වූ අස්ථාවර දේශපාලන වාතාවරණයත් සමඟින් එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත විතැන් වුනා.  

රටවල් 10ක සහභාගීත්වයෙන් තරග 23කින් යුක්තව හෙට (03) සිට මේ මස 20 වැනිදා දක්වා ක්‍රියාත්මක වීමට නියමිත ව ඇත්තේ එම තරගාවලියයි.  

එම තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ A කාණ්ඩයෙන් තරග බිමට පිවිසීමට නියමිත අතර එම තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් ගැන තැබෙන සටහනක් මේ.  

චමරි අතපත්තු 

  • වමත් පිතිකාරිනී 
  • දකුණතින් පිට දඟ පන්දු යවයි 

34 හැවිරිදි වියේ පසුවෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව වන චමරි අතපත්තු කණ්ඩායමේ සිටින වඩාත් ම ජ්‍යෙෂ්ඨත ම ක්‍රීඩිකාවයි. ලෝක ශ්‍රේණිගත කිරීම් හී දැනට වසර කිහිපයක සිට ම ඉහළ ඉලක්කම් අතර රැඳී සිටින ඇය මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 139කට සහභාගී වෙමින් ශතක 3ක් සමඟින් ලකුණු 3326ක් ද සහ කඩුලු 56ක් ද ලබා ඇති ක්‍රීඩිකාවක්.  

තරග 93ක දී ශ්‍රී ලංකාව මෙහෙයවා ඇති චමරි අතපත්තු මීට පෙර 2016, 2018, 2020 සහ 2023 වසරවල පැවැති ලෝක කුසලාන තරග සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම්වල ද නායකත්වය දරා ඇති තිබෙනවා.  

එම තරගත් සමඟින් ඇය මෙතෙක් ලෝක කුසලාන තරග 28කට සහභාගී වී වෙමින්  එම තරගවල දී අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු  666ක් ලබා ගැනීමට සමත් වෙනවා. එහි සාමාන්‍ය 23.78ක් සේ ගණනය වන අතර ඇයගේ හොඳම ඉනිම ලෙසින් සැලකෙන්නේ නිමා වූ ආසන්ත ම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී දකුණු අප්‍රිකාවට එරෙහි ව පන්දු 50ක දී ලබා ගත් ලකුණු 68යි. 

විශ්මි ගුණරත්න 

  • දකුණත් පිතිකාරිනී 
  • දකුණතින් මඳ වේග පන්දු යවයි 

19 හැවිරිදි වියේ පසුවෙන විශ්මි ගුණරත්න ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකාරිනිය ලෙසින් වර්ගීකරණයට ලක් වෙමින් කණ්ඩායම හා එක් වෙනවා. මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 43කට ක්‍රීඩා කර ඇති ඇය අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 720ක් ලබා තිබෙනවා.  

නිමා වූ වසරේ දී පැවැති 8 වැනි ලෝක කුසලාන තරගාවලියට ද එක් වූ විශ්මි ගුණරත්න එහි දී තරග 4කට ක්‍රීඩා කරමින් ලකුණු 60ක් ලබා ගන්නවා 

ඇයගේ නිමා වූ ආසන්නත ම තරග 5 දී ශතකයක් ද සමඟින් ලකුණු 128ක් තිබෙනවා.  

හර්ෂිතා සමරවික්‍රම 

  • වමත් පිතිකාරිනී 
  • දකුණතින් මඳ වේග පන්දු යවයි 

26 හැවිරිදි වියේ පසුවෙන හර්ෂිතා සමරවික්‍රම කණ්ඩායමට එක් වෙන්නේ ඉදිරි පෙළ පිතිකාරිනියක ලෙසයි. ඇය මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 65කට සහභාගී වෙමින් අර්ධ ශතක 8ක් සමඟින් ලකුණු 1463ක් ලබා තිබෙනවා.  

2016 වසරේ සිට විස්සයි විස්ස ලෝක කුසලාන තරග 9කට එක් ව ඇති හර්ෂිතා සමරවික්‍රම එහි දී ලකුණු 160ක් ලබා තිබෙනවා. මෙම ලකුණු අතර ඇයගේ ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට පත් වෙන්නේ නිමා වූ ආසන්නත ම ලෝක කුසලාන තරගාවලියේ දී බංග්ලාදේශයට එරෙහි ව නොදැවී වාර්තා කරන ලද ලකුණු 69 යි. ලෝක කුසලාන තරග දිවියේ ඇය ලත් එක ම අර්ධ ශතකය වන්නේ ද එයයි.  

හසිනි පෙරේරා 

  •  වමත් පිතිකාරිනී 
  • දකුණතින් මඳ වේග පන්දු යවයි 

29 වැනි වියේ පසුවෙන හිසිනි පෙරේරා කණ්ඩායම හා එක් වෙන්නේ විශ්වසනීය මැදි පෙළ පිතිකාරිනියක් ලෙසිනුයි. මේ දක්වා විස්සයි විස්ස තරග 82කට එක් ව ඇති ඇය ලබා ඇති ලකුණු ප්‍රමාණ්‍ය 773ක්.  

ඇය 2014 වසරේ සිට විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියන් හා එක් වෙමින් තරග 9කට ක්‍රීඩා කර තිබෙනවා. එම තරගවල දී ඇය ලබා ඇති ලකුණු ප්‍රමාණය 94ක්. 

කවීෂා දිල්හාරි 

  • දකුණත් පිතිකාරිනී 
  • දකුණතින් දඟ පන්දු යවයි 

23 හැවිරිදි වියේ පසුවෙන කවීෂා දිල්හාරි කණ්ඩායමේ සිටින තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩිකාවන් අතුරින් ඉදිරියෙන් ම විශ්වාසය දිනා තිබෙනවා. ඇය මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 62කට ක්‍රීඩා කරමින් ලකුණු 483ක් සහ කඩුලු 50ක් ලබා ගෙන තිබෙනවා.  

විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ 2018 වසරේ සිට රැඳී සිටින ඇය මේ දක්වා තරග 8කට සහභාගී වෙමින් ලබා ඇති ලකුණු සංඛ්‍යාව 37ක් පමණක් වන අතර ලබා ඇති කඩුලු සංඛ්‍යාව ලෙසින් දැක් වෙන්නේ කඩුලු 2ක් පමණයි.  

අනුශ්කා සංජීවනී 

  • දකුණත් පිතිකාරිනී 
  • කඩුලු රකින්නිය 

34 හැවිරිදි වියේ පසුවෙන අනුශ්කා සංජීවනී කඩුලු රකින්නිය ලෙසින් කණ්ඩායම හා එක් වෙනවා. මේ වසරේ අයර්ලන්තයට එරෙහි ව පැවැති තරග 2ක දී ශ්‍රී ලංකා නායකත්වයේ කටයුතු කිරීමේ වගකීම ද ඇය සතුවෙනවා.  

මැද පෙළ පිතිකාරිනියක් ලෙසින් ද දක්ෂතා දක්වන ඇය මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 79කට සහභාගී වෙමින් අර්ධ ශතකයක් සමඟින් ලකුණු 717ක් ලබා තිබෙනවා.  

2016 වසරේ සිට විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියන් හී තරග 10කට සහභාගී වී ඇති ඇය එහි දී ලකුණු 90ක් ලබා ගනිමින් දක්වා තිබෙනවා.  

නිලක්ෂිකා සිල්වා 

  • දකුණත් පිතිකාරිනී 
  • දකුණතින් මඳ වේග පන්දු යවයි 

34 වැනි වියේ පසුවෙන නිලක්ෂිකා සිල්වා කණ්ඩායම හා එක් වෙන්නේ මැද පෙළ පිතිකාරිනියක ලෙසයි. එසේ නමුත් අවශ්‍ය අවස්ථාවක පන්දු යවන්නියක ලෙසින් ද කටයුතු කිරීමට ඇය දක්ෂතා දක්වනවා.  

මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 97කට සහභාගී වී ඇති අය එක් අර්ධ ශතකයක් සමඟින් ලකුණු 1046ක් ලබා තිබෙනවා. පන්දු යවන්නියක ලෙසින් ඇය ලබා ඇති කඩුලු සංඛ්‍යාව 11ක්.  

විස්සයි විස්ස ලෝක කුසලාන තරග පිටියේ 2014 වසරේ සිට රැඳි සිටින ඇය මේ දක්වා තරග 13කට සහභාගී වෙමින් ලකුණු 137ක් ලබා තිබෙනවා.  

අමා කාංචනා 

  • දකුණත් පිතිකාරිනී 
  • දකුණතින් මඳ වේග පන්දු යවයි 

33 හැවිරිදි වියේ පසුවෙන අමා කාංචනා කණ්ඩායම හා එක් වෙන්නේ පන්දු යවන්නියක ලෙසයි. ඇය මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 50ක දී ලබා ඇති කඩුලු සංඛ්‍යාව 15ක් වන අතර පිතිකාරිනියක ලෙසින් ඉනිම 41ක දී එක්කර ගත් ලකුණු 245ක් ද ඇයගේ ගිණුමේ තිබෙනවා.  

2016 වසරේ සිට විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියන් හා එක් ව ඇති අමා කාංචනා එහි දී පිතිකාරිනියක ලෙසින් එක් වූ ඉනිම් 7ක දී  ලකුණු 13ක් ගත්ත ද තවමත් කඩුල්ලක් දවා ගැනීමට ඇයට හැකි වී නැහැ.  

ඉනෝෂි ප්‍රියදර්ශනී 

  •  දකුණත් පිතිකාරිනී 
  •  දකුණතින් පිට දඟපන්දු යවයි 

37 හැවිරිදි වියේ පසුවෙන ඉනෝෂි ප්‍රියදර්ශනී කණ්ඩායමේ සිටින ප්‍රධාන පන්දු යවන්නියන් අතුරින් ඉදිරියෙන් පසු වෙන්නියක්. ඇය මේ දක්වා විස්සයි විස්ස තරග 33කට එක් වෙමින් කඩුලු 36ක් ලබා තිබෙනවා.  

ඇය මීට පෙර 2018 වසරේ දී විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය හා එක් ව දවා ගත් කඩුල්ලක් පමණක් එම සැමරුම් අතර තිබෙනවා.   

අචිනි කුලසූරිය 

  • වමත් පිතිකාරිනී 
  • දකුණතින් මඳ වේග පන්දු යවයි 

34 හැවිරිදි වියේ පසුවෙන අචිනි කුලසූරිය කණ්ඩායම හා එක් වෙන්නේ පන්දු යවන්නියක් ලෙසයි. ඇය මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 36කට ක්‍රීඩා කරමින් කඩුලු 18ක් ලබා තිබෙනවා. 

එමෙන් ම 2020 වසරේ සිට විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලි හා එක් ව ඇති ඇය ලෝක කුසලාන තරග 6ක දී ලබා ඇත්තේ කඩුලු 3ක් පමණයි.  

සුගන්දිකා කුමාරි 

  •  වමත් පිතිකාරිනී 
  •  වමතින් දඟ පන්දු යවයි 

32 හැවිරිදි වියේ පසුවෙන සුගන්දිකා කුමාරි කණ්ඩායම හා එක් වෙන්නේ දඟ පන්දු යවන්නියක ලෙසයි. විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ තරග 81කට සහභාගී වී ඇති ඇය ලබා ඇති කඩුලු සංඛ්‍යාව 58ක්.  

මේ අතර 2016 වසරේ සිට මේ දක්වා විස්සයි විස්ස ලෝක කුසලාන තරග 13කට ක්‍රීඩා කර ඇති ඇය එහි දී කඩුලු 7ක් තම ගිණුමට එක් කර ගෙන තිබෙනවා.  

උදේශිකා ප්‍රබෝධනී 

  • දකුණත් පිතිකාරිනී 
  • වමතින් මඳ වේග පන්දු යවයි 

39 හැවිරිදි වියේ පසුවෙන උදේශිකා ප්‍රබෝධනී කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන්නිය ලෙසින් කණ්ඩායම හා එක් වෙනවා. ඇය මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 102කට ක්‍රීඩා කර ඇති අතර ලබා ඇති කඩුලු සංඛ්‍යාව 80ක්.  

2009 වසරේ සිට 2020 වසර දක්වා වූ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියන් 7ක් හා එක් ව ඇති ඇය මෙතෙක් ක්‍රීඩා කර ඇති ලෝක කුසලාන තරග ප්‍රමාණය 25ක්.  එම තරගවල දී කඩුලු 21ක් දවා ගැනීමට ඇය සමත් ව තිබෙනවා. ඒ අතර ඇයගේ හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වෙන්නේ බංග්ලාදේශයට එරෙහි ව ලකුණු 06කට දවා ගත් කඩුලු 2යි. 

ඉනෝකා රණවීර 

  • වමත් පිතිකාරිනී 
  • වමතින් දඟ පන්දු යවයි 

38 හැවිරිදි වියේ පසුවෙන ඉනෝකා රණවීර ද කණ්ඩායමේ විශ්වසනීය දඟ පන්දු යවන්නියක ලෙසින් කණ්ඩායම හා එක් වෙනවා. ඇය මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 82කට ක්‍රීඩා කරමින් කඩුලු 91ක් ලබා සිටිනවා.  

2012 වසරේ සිට විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලීන් සඳහා සහභාගී වී ඇති ඇය මේ දක්වා කඩුලු 16ක් ලබා තිබෙනවා. ඒ අතර ඇයගේ ඉහළ ම දක්ෂතාව වෙන්නේ නිමා වූ ලෝක කුසලාන තරගාවලියේ දී දකුණු අප්‍රිකාවට එරෙහි ව ලකුණු 18කට දවා ගත් කඩුලු 3යි.  

ශෂිනි ගිම්හානි 

  • දකුණත් පිතිකාරිනී
  •  වමතින් දඟ පන්දු යවයි

15 හැවිරිදි වියේ පසුවෙන රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ ඉගෙනුම ලබන ශෂිනි ගිම්හානි කණ්ඩායමේ සිටින ලාබාලත ම ක්‍රීඩිකාවයි. ඇය මේ දක්වා ක්‍රීඩා කර ඇත්තේ ද විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 5ක් පමණයි. එම තරගවල දී ඇය කඩුලු 6ක් දවා ගැනීමට සමත් වෙනවා.  

ඇය මේ වසරේ මෙරට දී නිමා වූ කාන්තා ආසියානු කුසලාන තරගාවලියේ දී මැලේසියාවට එරෙහි ව ලකුණු 9කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වන අතර එය ඇයගේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ පෑ ඉහළ ම දක්ෂතාව බවට ද පත් වෙනවා.  

ඇය ගේ මංගල ලෝක කුසලාන තරග සංචාරය මෙයයි.  

සචිනි නිසංසලා 

  • වමත් පිතිකාරිනී 
  •  වමතින් දඟ පන්දු යවයි 

22 හැවිරිදි වියේ පසුවෙන සචිනි නිසංසලා ද කණ්ඩායම හා එක් වෙන්නේ දඟ පන්දු යවන්නියක ලෙසයි. ඇය මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 11කට ක්‍රීඩා කරමින් කඩුලු 6ක් දවා ගනිමින් දක්ෂතා දක්වා තිබෙනවා.  

ඇය ගේ ද මංගල ලෝක කුසලාන තරග සංචාරයයි මේ.  

තරගාවලිය සඳහා එක් වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ThePapare වෙතින් උණුසුම් සුබ පැතුම්! 

9 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<