අපේ කෙල්ලන් එක්ක හැප්පෙන T20 නොරට්ටු

ICC Women's T20 World Cup

103
ICC Women's T20 World Cup

9 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට (03) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී රටවල් 10ක කණ්ඩායම්වල සහභාගීත්වයෙන් පැවැත්විමට නියමිතයි.

මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකාව A කාණ්ඩයෙන් තරග වදින අතර ඔවුන් සමඟින් ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, නවසීලන්තය සහ පාකිස්තානය ද ඊට එක් වෙනවා. මේ අතුරින් ඔස්ට්‍රේලියාව මෙවර තරගාවලිය එක් වෙන්නේ නිමා වූ ආසන්ත ම තරගාවලි ත්‍රිත්වයේ ජයග්‍රාහකයන් ලෙසයි. එමෙන් ම ඔවුන් මේ දක්වා පැවැති ලෝක කුසලාන තරගාවලි 8න් තරගාවලි 6ක ම ජයග්‍රාහකයන් වූ අභිමානය ද ඔවුන් සතු ව තිබෙනවා.

කෙසේ වෙතත් මෑත කාලීන දක්ෂතා අතර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට හිමි ව ඇත්තේ ද විශේෂ පිළිගැනීමක්. එම පිළිගැනීමත් සමඟින් මෙවර ඔවුන්ට මුහුණ දීමට සිදුවන කණ්ඩායම්වල තත්ත්වයන් සම්බන්ධයෙන් සොයා බැලෙන සටහනකි මේ.

A කාණ්ඩයේ කණ්ඩායම් විස්සයි විස්ස ලෝක කුසලාන තරග ඉතිහාසයේ තරග නිමා කර ඇති ආකාරය

  Team Span Mat Won Lost Draw Tied NR
1 ඔස්ට්‍රේලියාව 2009 – 2023 44 35 8 0 1 0
2 ඉන්දියාව 2009 – 2023 36 20 16 0 0 0
3 නවසීලන්තය 2009 – 2023 36 24 12 0 0 0
4 පාකිස්තානය 2009 – 2023 32 8 23 0 0 1
5 ශ්‍රී ලංකාව 2009 – 2023 31 10 21 0 0 0

පාකිස්තානය

  • ඔක්තෝබර් 03 වැනිදා (රාත්‍රී), Sharjahක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

මෙතෙක් ලෝක කුසලාන තරගාවලියන් හි දී පළමු වටයෙන් තම තරග ගමන නවතා ගත් පාකිස්තාන කණ්ඩායම මෙවර තරගාවලියට එක් වෙන්නේ Fatima Sana ගේ නායකත්වය යටතේ යි.

22 හැවිරිදි වියේ පසුවෙන Fatima Sana කණ්ඩායම හා එක් වෙන්නේ වේග පන්දු යවන්නියක ලෙසයි. ඇය මේ දක්වා විස්සයි විස්ස තරග 43කට සහභාගී වෙමින් කඩුලු 31ක් ලබා ඇති අතර පිතිකාරිනියක ලෙසින් ලකුණු 316ක් ලබා තිබෙනවා. පාකිස්තානය අවස්ථා 3ක දී පමණක් මෙහෙයවා ඇති ඇය මීට පෙර ලෝක කුසලාන තරග 4කට ද එක් ව තිබෙනවා.

කණ්ඩායමේ වඩාත් අවදානයට ලක් විය යුතු තුන් ඉරියව් ක්‍රීඩිකාවන් වෙන්නේ තරග 156ක දී ලකුණු 2021ක් සහ කඩුලු 143ක් ලබා සිටින Nida Dar, තරග 95ක දී ලකුණු 1112ක් සහ කඩුලු 20ක් ලබා සිටින Aliya Riaz වෙතයි.

ඊට අමතර ව පිතිකාරිනියක ලෙසින් දක්ෂතා දක්වන Muneeba Ali ද මේ ලැයිස්තුවට එක් වෙනවා. ඇය මේ දක්වා තරග 73ක සහභාගී වෙමින් ලකුණු 1261ක් ලබා සිටිනවා.

පන්දු යැවීමේ දී තරග 62ක දී කඩුලු 60ක් ලබා සිටින Nashra Sandhu සහ තරග 43ක දී කඩුලු 53ක් ලබා ඇති Sadia Iqbal ඉදිරියෙන් ම සිටින දක්ෂතා දක්වන පන්දු යවන්නෝයි.

දෙරට ක්‍රීඩකයෝ මීට පෙර අවස්ථා 3ක දී එකිනෙකා හමුව ඇති අතර එහි දී ශ්‍රී ලංකාව තරග 2ක් ද සහ පාකිස්තානය තරගයක් ද බැගින් දිනා තිබෙනවා.

පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම

 

Fatima Sana (නායිකාව), Aliya Riaz, Diana Baig, Gull Feroza (කඩුලු රකින්නිය), Iram Javed, Muneeba Ali (කඩුලු රකින්නිය), Nashra Sandhu, Nida Dar, Omaima Sohail, Sadaf Shamas, Sadia Iqbal, Sidra Amin, Syeda Aroob Shah, Tasmia Rubab, Tuba Hassan.

ඔස්ට්‍රේලියාව

  • ඔක්තෝබර් 05 වැනිදා (දිවා), Sharjah ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

ආසන්නත ම තරගාවලි ත්‍රිත්වයේ ශූරියන් වන ඔස්ට්‍රේලියා කණ්ඩායම මෙවර මෙහෙයවීමේ වගකීම පැවැරී ඇත්තේ කණ්ඩායමේ කඩුලු රකින්නිය ද වන Alyssa Healy වෙතයි.

34 වැනි වියේ පසුවෙන ඇය මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 159කට මුහුණ දෙමින් ශතකයක් සහ අර්ධ ශතක 17ක් සමඟින් ලකුණු 2987ක් ලබා සිටිනවා. ඇය ගේ ඉනිම් අතර ශ්‍රී ලංකාවට එරෙහි ව 2019 වසරේ දී නොදැවී ලබා ගත් ලකුණු 148ක් ඇති අතර එය ඇයගේ විස්සයි විස්ස තරග දිවියේ ඉහළ ම දක්ෂතාවයි.

කණ්ඩායම් සංයුතියේ දී වඩාත් අවදානයට ලක් වෙන තුන් ඉරියව් ක්‍රීඩිකාවන් වන්නේ  තරග 90ක දී ලකුණු 1380ක් සහ කඩුලු 72ක් ලබා සිටින Ashleigh Gardner, තරග 157ක දී ලකුණු 1956ක් සහ කඩුලු 126ක් ලබා සිටින Ellyse Perry සහ තරග 57ක දී ලකුණු 764ක් සහ කඩුලු 47ක් ලබා සිටින Kim Garth හැඳින්විය හැකියි.

ඊට අමතර ව පිතිකාරිනියක ලෙසින් තරග 101ක දී ශතක 2ක් සමඟින් ලකුණු 2858ක් ලබා සිටින Beth Mooney සහ පන්දු යවන්නියන් ලෙසින්  තරග 113ක දී කඩුලු 137ක් ලබා සිටින Megan Schutt සහ තරග 58ක දී කඩුලු 59ක් ලබා සිටින Georgia Wareham අවදානයට ලක් විය යුතු ක්‍රීඩිකාවන් සේ සැලකෙනවා.

දෙරට ක්‍රීඩිකාවෝ මේ දක්වා විස්සයි විස්ස ලෝක කුසලාන තරග 3ක දී එකිනෙකා හමුව ඇති අතර ඒ සෑම අවස්ථාවක දී ම ජයග්‍රහණය ලබා ඇත්තේ ඔස්ට්‍රේලියාවයි.

ඔස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම

 

Alyssa Healy (නායිකාව සහ කඩුලු රකින්නිය), Darcie Brown, Ashleigh Gardner, Kim Garth, Grace Harris, Alana King, Phoebe Litchfield, Tahlia McGrath, Sophie Molineux, Beth Mooney (කඩුලු රකින්නිය), Ellyse Perry, Megan Schutt, Annabel Sutherland, Tayla Vlaeminck, Georgia Wareham.

ඉන්දියාව

  • ඔක්තෝබර් 09 වැනිදා (රාත්‍රී), Dubaiජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

පසුගිය වසරේ දී අවසන් පූර්ව වටය දක්වා පැමිණි ඉන්දීය කණ්ඩායම මෙවර තරගාවලියට එක් වෙන්නේ Harmanpreet Kaur ගේ නායකත්වය යටතේ යි. 35 වැනි වියේ පසුවෙන ඇය මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 173කට එක් වෙමින් ශතකයක් සහ අර්ධ ශතක 12ක් සමඟින් ලකුණු 3426ක් ලබා තිබෙනවා. අමතර පන්දු යවන්නෙක් ලෙසින් කටයුතු කර ඇති ඇය ලබා ඇති කඩුලු ප්‍රමාණය 32ක්.

මේ දක්වා ඉන්දියාව වෙනුවෙන් විස්සයි විස්ස තරග 118ක දී නායකත්වයේ කිරුළ පැළඳ ඇති Harmanpreet Kaur ලෝක කුසලාන තරග 35කට ද සහභාගී වී සිටින අතර ආසන්නත ම නිමා වූ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ද ඉන්දීය කණ්ඩායම මෙහෙය වූයේ ඇයයි.

ඉන්දීය කණ්ඩායමේ දක්ෂතා දක්වන ක්‍රීඩිකාවන් අතුරින් උප නායිකා Smriti Mandhana වෙත ද සුවිශේෂී ස්ථානයක් හිමි වෙනවා. ඇය මේ දක්වා විස්සයි විස්ස තරග 141කට සහභාගී වෙමින් අර්ධ ශතක 26ක් සමඟින් ලකුණු 3493ක් ලබා තිබෙනවා.

තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩිකාවන් අතුරින් ඉදිරියෙන් පසු වෙන්නේ තරග 117ක දී ලකුණු 1020ක් සහ කඩුලු 131ක් ලබා සිටින Deepti Sharma යි.

ඊට අමතර ව තරග 100ක දී ලකුණු 2074ක් ලබා සිටින Jemimah Rodrigues, තරග 81ක දී ලකුණු 1948ක් ලබා සිටින Shafali Verma

පන්දු යවන්නියන් අතුරින් ඉදිරියෙන් ම කියැවෙන්නේ 24 හැවිරිදි වියේ පසුවෙන වමතින් දඟ පන්දු යවන Radha Yadav ගේ නමයි. ඇය මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 80කට සහභාගී වෙමින් කඩුලු 90ක් දවා ගනිමින් මේ විශ්වාසය දිනා තිබෙනවා.

ඊට අමතර ව තරග 47ක දී කඩුලු 50ක් දවා ගෙන සිටින Renuka Singh සහ තරග 70ක දී කඩුලු 57ක් ලබා සිටින Pooja Vastrakar ගේ නම් ද මේ අතර වෙනවා.

දෙරට ක්‍රීඩිකාවෝ විස්සයි විස්ස ලෝක කුසලාන තරග ඉතිහාසයේ දී මීට පෙර අවස්ථා 4ක දී එකිනෙකා හමුව ඇති අතර ඒ අතුරින් ශ්‍රී ලංකාව තරගයක් ද සහ ඉන්දියාව තරග 3ක් ද ලෙසින් ජයග්‍රහණය ලබා තිබෙනවා.

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම

 

Harmanpreet Kaur (නායිකාව), Smriti Mandhana (උප නායිකාව), Yastika Bhatia (කඩුලු රකින්නිය), Richa Ghosh (කඩුලු රකින්නිය), Dayalan Hemalatha, Shreyanka Patil, Arundhati Reddy, Renuka Singh, Jemimah Rodrigues, Sajeevan Sajana, Shafali Verma, Deepti Sharma, Asha Sobhana, Pooja Vastrakar, Radha Yadav.

නවසීලන්තය

  • ඔක්තෝබර් 12 වැනිදා (දිවා), Sharjah ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය වන්නේ නවසීලන්තය හා සමඟ තරගයයි. ලෝක කුසලාන ඉතිහාසයේ ඔවුන් මේ දක්වා දිනා ඇති ඉහළ ම ස්ථානය වන්නේ 2009 සහ 2010 වසර ද්විත්වයේ දී ලත් අනුශූරතා ද්විත්වයයි.

මෙතෙක් දෙරට ක්‍රීඩිකාවෝ ලෝක කුසලාන තරග 6ක දී එකිනෙකා හමුව ඇති අතර ඉන් සෑම තරගයක දී ම ඔවුන් ජයග්‍රහණය කිරීමට සමත් ව තිබෙනවා.

නවසීලන්ත කණ්ඩායම මෙහෙයවීමේ වගකීම 35 හැවිරිදි Sophie Devine වෙත හිමි ව තිබෙනවා. ඇය මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 135කට සහභාගී වෙමින් ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 3277ක් ද සහ කඩුලු 117ක් ද ලබා ගනිමිනුයි මෙම තරගාවලිය හා එක් වෙන්නේ.

ඇය මීට පෙර ලෝක කුසලාන තරග 32කට සහභාගී වී ඇති අතර ඇය ශ්‍රී ලංකාව සමඟින් වූ සෑම තරගයකට ම සහභාගී වී තිබෙනවා.

ඔවුන් මෙවර තරගයට එක් වෙන්නේ වඩාත් දක්ෂතා දක්වන තුන් ඉරියව් ක්‍රීඩිකාවන් දෙදෙනෙක් ද සමඟයි. ඒ Suzie Bates සහ Amelia Kerr සමඟයි.

 Suzie Bates මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 165කට සහභාගී වෙමින් ලකුණු 4434ක් ලබා ඇති අතර ලබා ඇති කඩුලු සංඛ්‍යාව 58ක්.

ඇය නවසීලන්ත කණ්ඩායම 66 වතාවක් මෙහෙයවා ඇති අතර මීට පෙර ලෝක කුසලාන තරග 36කට ද සහභාගී වී තිබෙනවා. ඒ අතුරින් ශ්‍රී ලංකාවට එරෙහි පැවැති සෑම තරගයකට ම ඇය ද සහභාගී වෙමින් අර්ධ ශතක 2ක් ද සමඟින් ලකුණු 217ක් ලබා තිබෙනවා. පන්දු යවන්නියක් ලෙසින් ලෝක කුසලාන තරගවල දී ඇය සතු කඩුලු ප්‍රමාණය 10ක්.

Amelia Kerr මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 79කට සහභාගී වෙමින් ලකුණු 1161ක් සහ කඩුලු 78ක් ලබා ගනිමින් මෙම තරගාවලිය හා එක් වෙනවා. නවසීලන්ත කණ්ඩායම අවස්ථා 2ක දී මෙහෙයවා ඇති අතර මීට පෙර ලෝක කුසලාන තරග 12කට සහභාගී වී සිටිනවා.

නවසීලන්ත කණ්ඩායම

 

Sophie Devine (නායිකාව), Suzie Bates, Eden Carson, Isabella Gaze (කඩුලු රකින්නිය), Maddy Green, Brooke Halliday, Fran Jonas, Leigh Kasperek, Amelia Kerr, Jess Kerr, Rosemary Mair, Molly Penfold, Georgia Plimmer, Hannah Rowe, Lea Tahuhu.  

9 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<