වමත් කසකරුවන්ගේ පෙරමුණේ රාළ “කමිඳු”

125
Kamindu Mendis

නවසීලන්ත සමඟ පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය නිමා වන විට 26 හැවිරිදි වියේ පසුවෙන කමිඳු මෙන්ඩිස් ලෝක ටෙස්ට් ක්‍රිකට් වාර්තා පොත් අතරට එකතු වීමට සමත් වූ අලුත් ම ක්‍රීඩකයා බවට පත් වූවා.

ඔහුගේ ටෙස්ට් තරග වාර්තා අතර ට එක් වූ සුවිශේෂී ම වාර්තාව බවට පත් වූ බැව් පැවැසුණේ ලෝක ටෙස්ට් තරග ඉතිහාසයේ වේගවත් ම ලකුණු 1000 වාර්තා කළ පිතිකරුවන් අතුරින් සිව් වැනියා බවට පත් වීමයි. නමුත් එම ලැයිස්තුව ම දකුණත් පිතිකරුවන් සහ වමත් පිතිකරුවන් ලෙසින් වර්ගීකරණය කිරීමේ දී කමිඳු මෙන්ඩිස්ට හිමි වෙන්නේ පළමු අසුනයි.

මෙම ලැයිස්තුවේ පළමු පිතිකරුවන් තිදෙනා ම දකුණත් පිතිකරුවන් වන අතර සිව් වැනියා බවට පත් කමිඳු මෙන්ඩිස් වමත් පිතිකරුවෙක්. ඔහු මෙම ස්ථානයට පිවිසීමත් සමඟ එතෙක් මෙම ලැයිස්තුවේ සිව් වැනියා ව සිටි පිතිකරුට 5 වැනි ස්ථානය දක්වා පසු බැසීමට සිදු වූ අතර එසේ වන්නේ එතෙක් වමත් පිතිකරුවන් අතර පෙරමුණේ සිටි ක්‍රීඩකයායි.

වේගවත් ම ටෙස්ට් ලකුණු 1000ක් වාර්තා කළ පිතිකරු ලැයිස්තුව…

  නම රට පිතිකරු ආරම්භක තරගය ලකුණු 1000 සම්පූර්ණ කළ තරගය කාලය තරග ඉනිම්
1 Herbert Sutcliffe එංගලන්තය දකුණත් 1924 1925 දින 244 12 9
2 Everton Weekes බ. ඉ. කොදෙව් දකුණත් 1948 1949 වසරයි දින 14 12 9
3 Donald Bradman ඔස්ට්‍රේලියාව දකුණත් 1928 1930 අවුරුද්දයි දින 223 13 7
4 කමිඳු මෙන්ඩිස් ශ්‍රී ලංකාව වමත් 2022 2024 අවුරුදු 2 දින 80 13 8
5 Neil Harvey ඔස්ට්‍රේලියාව වමත් 1948 1950 අවුරුදු 2 දින 321 14 10

Herbert Sutcliffe

o එංගලන්තය

o දකුණත් පිතිකරු

cricket

1924 වසරේ ජුනි මාසයේ දී දකුණු අප්‍රිකාවට එරෙහි ව ටෙස්ට් වරම් හිමිකර ගන්නා Herbert Sutcliffe දින 244ක දී තම ටෙස්ට් තරග දිවියේ ලකුණු 1000 සම්පූර්ණ කර ගනිමින් ටෙස්ට් තරග දිවියේ වේගවත් ම ලකුණු 1000 වාර්තා කළ පළමු වැනියා බවට පත් වෙනවා.

ඔහු මේ වෙනුවෙන් ටෙස්ට් තරග 9ක ඉනිම් 12කට එක් වෙමිනුයි මේ දක්ෂතාව සිදු කරන්නේ. එහි දී ටෙස්ට් ශතක 5ක් සහ අර්ධ ශතක 4ක් මේ ලකුණු අතරට එක් කිරීමට ඔහු සමත් වෙනවා.

මේ දක්වා 1924 වසරේ සිට 1935 වසර දක්වා එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 54කට ක්‍රීඩා කළ ඔහු ශතක 16ක් සහ අර්ධ ශතක 23ක් සමඟින් ලකුණු 4555ක් ලබා ගන්නවා. ඔහුගේ ටෙස්ට් තරග පිටියේ හොඳම ඉනිම බවට පත් වෙන්නේ ඔස්ට්‍රේලියාවට එරෙහි ව 1932 වසරේ දී පන්දු 496කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සමඟින් ලබා ගත් ලකුණු 194යි.

Everton Weekes

o බටහිර ඉන්දීය කොදෙව්

o දකුණත් පිතිකරු

cricket

1948 ජනවාරි මාසයේ දී එංගලන්තයට එරෙහි ව ටෙස්ට් වරම් හිමි කර ගන්නා Everton Weekes තම ටෙස්ට් ලකුණු 1000 වසරකුත් දින 14ක් ඉක්ම වූ දා ලබා ගන්නවා. ඒ වෙද්දී ඔහු ක්‍රීඩා කරමින් සිටියේ තම ටෙස්ට් තරග දිවියේ 9 වැනි තරගයේ 12 වැනි ඉනිමයි.

ඉතා මන්දගාමි ටෙස්ට් ලකුණු ආරම්භයක් ලබා ගත් Everton Weekes ගේ පළමු ඉනිම් 5ට ම එකඳු හෝ අර්ධ ශතකයක් වාර්තා වන්නේ නැහැ. එම ඉනිම් 5 එකතුව වන්නේ ද ලකුණු 152ක්.

නමුත් ඔහු එතැන් සිට ක්‍රීඩා කළ ඉනිම් 5 දී පිට පිට ශතක 5ක් එක් කරන අතර ඊට පසුව එක් වූ ඉනිම් 2 දී අර්ධ ශතක 2ක් ද ලබා ගනිමින් මෙම කඩඉම පසු කළා. මෙම ඉනිම් අතර ඉන්දියාවට එරෙහි ව Eden Gardens පිටියේ දී ඉනිම 2 දී ම වාර්තා කරන ලද ශතක ද්විත්වයක් ද ඊට ඇතුලත් වෙනවා.

1958 වසරේ දී ටෙස්ට් තරග දිවියට සමු දෙන Everton Weekes ඒ වෙද්දි තරග 48ක ඉනිම් 81කට එක් වෙමින් ශතක 15ක් සහ අර්ධ ශතක 19ක් සමඟින් ටෙස්ට් ලකුණු 4455ක් ලබා සිටියා. ඔහුගේ ටෙස්ට් තරග දිවියේ හොඳම ඉනිම බවට පත් වූයේ 1953 වසරේ දී ඉන්දියාවට එරෙහි ව ලබා ගත් ලකුණු 207යි.

Donald Bradman

o ඔස්ට්‍රේලියාව

o දකුණත් පිතිකරු

Donald Bradman

1928 නොවැම්බර් මාසයේ දී එංගලන්තයට එරෙහි ව ටෙස්ට් වරම් හිමි කර ගන්නා Donald Bradman තමන් සහභාගී වූ 7 වැනි තරගයේ 13 වැනි ඉනිමේ දී ටෙස්ට් ලකුණු 1000 කඩඉම පසු කිරීමට සමත් වෙනවා. එය මෙම ලැයිස්තුවේ 3 වැනි ස්ථානය ලත් දක්ෂතාවයි.

නමුත් මෙම ලැයිස්තුවේ මෙම දක්ෂතාව කළ පිතිකරුවන් අතර ඔහු තෙවැනි අසුනට හිමිකම් කීව ද එය තවත් ආකාරයකින් ටෙස්ට් තරග පිටියේ ලෝක වාර්තාවක් බවට පත් වෙනවා. ඒ අඩු ම තරග ප්‍රමාණයකින් ලකුණු 1000ක් ලබා ගත් පුද්ගලයා ලෙසයි.

ඔහු මෙම කඩඉමට එක් වෙන්නේ තම ටෙස්ට් තරග දිවියේ හොඳම ඉනිම ක්‍රීඩා කරමින් වීම ද විශේෂත්වයක්. එංගලන්තයට එරෙහි ව 1930 ජුලි මාසයේ දී පන්දු 448කට මුහුණ දෙමින් හතරේ පහර 46ක් සමඟින් ලකුණු 334ක් ලබා ගන්නා  Donald Bradman මෙම වාර්තා ව හා එක් වෙද්දී ටෙස්ට් තරග පිටියට පිවිස ගතව තිබුණේ අවුරුද්දකුත් දින 223ක් පමණයි.

1948 වසරේ අගෝස්තුවේ දී ටෙස්ට් තරග දිවියට සමුදෙන Donald Bradman ඒ වෙද්දී ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 52කට මුහුණ දෙමින් ඉනිම 80ක දී ශතක 29ක් සහ අර්ධ ශතක 13ක් සමඟින් ලකුණු 6996ක් ලබා සිටියා. එහි සාමාන්‍ය ලෙසින් දැක් වුණේ 99.94ක්.

කමිඳු මෙන්ඩිස්

O ශ්‍රී ලංකාව

o වමත් පිතිකරු

kamindu

2022 වසරේ ජුලි මාසයේ දී ඔස්ට්‍රේලියාවට එරෙහි ව ගාලු ක්‍රීඩාංගණයේ දී  ටෙස්ට් වරම් හිමිකර ගන්නා කමිඳු මෙන්ඩිස් ගාලු ක්‍රීඩාංගණයේ දී ම මෙම කඩඉමට පිවිසෙන්නේ තරග 8ක 13 වැනි ඉනිමට එක් වෙමිනුයි.

ඔහු මෙම දක්ෂතාව සිදු කිරීමට වසර 2කුත් දින 80ක් ගත කරනවා. මේ අතුරින් පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමෙන් අනතුරු ව 2024 මාර්තු මාසය දක්වා ම කාලය තුළ ඔහුට කිසිදු තරගයක් ලැබෙන්නේ නැහැ. එම කාලය වසරකුත් දින 164ක්.

එතැනින් පසු නැවත වරක් ඔහුට ටෙස්ට් තරග දිවියේ දොරටු විවර වෙන්නේ 2024 මාර්තු මාසයේ දී යි. එය ඉතා දීර්ඝ කාලයක්.

කෙසේ වෙතත් එතැන් සිට ඔහු මේ දක්වා ලබා ඇති ලකුණු ප්‍රමාණය වූ ලකුණු 1004න් ලකුණු 943ක් ම ලබා ගන්නේ එතැන් සිට මේ දක්වා ගෙවී ගිය දින 184 තුළ දී යි. එම කාලය තුළ ඔහු ශතක 5ක් සහ අර්ධ ශතක 4ක් තම ඉනිම් අතර ට එක් කර ගන්නවා.

මේ වෙද්දී කමිඳු මෙන්ඩිස් තරග 9ක ඉනිම 13ක දී ශතක 5ක් සහ අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 1004ක් ලබා තිබෙනවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙතෙක් මෙම ලැයිස්තුව හා එක් වූ ක්‍රීඩකයා බවට පත් ව සිටියේ රොයි ඩයස්. ඔහු තරග 12ක ඉනිම් 23කට සහභාගී වෙමින් මෙම කඩඉම පසු කර සිටියා.

Neil Harvey

o ඔස්ට්‍රේලියාව

o වමත් පිතිකරු

Neil Harvey

මෙම ලැයිස්තුවේ මීට පෙර වමත් පිතිකරුවන් අතුරින් පෙරමුණ ගෙන සිටි Neil Harvey ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමි කර ගන්නේ 1948 වසරේ ජනවාරියේ දී ඉන්දියාවට එරෙහි ව යි. එතැන් සිට වසර 2කුත් දින 312ක් ගිය තැන ඔහු ටෙස්ට් තරග 14ක ඉනිම් 10කට එක් වෙමින් මෙම කඩඉමට පිවිසෙනවා.

මේ දක්වා ම මෙතෙක් කමිඳු මෙන්ඩිස් ගෙන් අනතුරුව මෙතෙක් මෙම වාර්තාවේ ජීවත් ව සිටින එක ම වාර්තාලාභි පිතිකරු වන්නේ ඔහු යි. මේ වන විට ඔහු 95 වැනි වියේ පසුවෙනවා.

ඔහුගේ ටෙස්ට් තරග දිවියේ තරග 79ක ඉනිම් 137කට සහභාගී වී ඇති අතර එහි දී ශතක 21ක් සහ අර්ධ ශතක 24ක් සමඟින් ලකුණු 6149ක් ලබා තිබෙනවා. ඒ අතර ඔහුගේ ඉහළ ම ඉනිම බවට පත් වෙන්නේ 1953 වසරේ දී දකුණු අප්‍රිකාවට එරෙහි ව ලබා ගත් ලකුණු 205යි.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<