නවසීලන්තයට එරෙහිව ලද ජයත් සමඟින් ශ්‍රී ලංකාව ලෝක ශූරතා සටනේ ඉදිරියට

New Zealand Tour of Sri Lanka 2024

106

නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් නවසීලන්තයට එරෙහිව ඉනිමක සහ ලකුණු 154ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ (29) සමත් වුනා. 

තරගය තෙවැනි දිනයට නතර කරන විට ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා සටනක නිරත වෙමින් සිටි නවසීලන්තය කඩුලු 5ක් දැවී ලකුණු 199ක් ලබා සිටියා.  

ඊයේ දිනය තුළ නවසීලන්තය විසින් සිය දෙවැනි ඉනිමට තවත් ලකුණු 161ක් එක් කර ගැනීමට සමත් වුනත්, එය ඔවුන්ට ඉනිමක පරාජයෙන් මිදීමට කිසි සේත් ම ප්‍රමාණවත් වුනේ නැහැ. ඊයේ දිනයේ දී නවසීලන්තය වෙනුවෙන් Tom Blundell, Glenn Phillips සහ Mitchell Santner අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වුනත් ඔවුන් කිසිවකු හෝ දීර්ඝ ඉනිමක් කරා යාමට සමත් වුනේ නැහැ. 

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ නිශාන් පීරිස් සිය මංගල ටෙස්ට් තරගයේ දී ම කඩුලු 5 දස්කමක් වෙත පිය මනිමින් කඩුලු 6ක් බිඳ හෙළීමට සමත් වුනා. 

මීට අමතරව ප්‍රභාත් ජයසූරිය කඩුලු තුනක් දවා ගැනීමට සමත් වුනා. 

තරගයෙන් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් ලබා ගැනීමට සමත් වන අතරේ, තරගයේ වීරයා සම්මානය කමිඳු මෙන්ඩිස් හට උරුම වුනා.  

මේ අතර මෙම තරගයේ දී ශ්‍රී ලංකා ප්‍රධාන දඟපන්දු යවන්නන් දෙදෙනා වන ප්‍රභාත් ජයසූරිය සහ නිශාන් පීරිස් යන දෙදෙනා ම කඩුලු 09 බැගින් බිඳ හෙළීමට සමත් වීමත් විශේෂත්වයක්. 

මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාව විසින් නවසීලන්තයට එරෙහිව ලද විශාලතම ටෙස්ට් ජයග්‍රහණය ලෙස ඉතිහාසගත වූ අතර, ශ්‍රී ලංකාව විසින් මෙසේ නවසීලන්තයට  එරෙහිව පූර්ණ ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුනේ වසර 15කට පසුව වීමත් විශේෂ සිදුවීමක්. 

මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාව මෙවර ටෙස්ට් ලෝක ශූරතා ලකුණු සටහනේ තෙවැනි ස්ථානය තවදුරටත් තහවුරු කර ගැනීමට සමත් වී තිබෙනවා. එමෙන්ම ඔවුන් මේ වන විට ශූරතාවයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ද වැඩි අවකාශයක් නිර්මාණය කර ගැනීමට සමත් වී තිබෙනවා. 

ඉදිරියේ දී දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලි ද්විත්වයේ තීරණ අනුව ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනී ද නැද්ද යන්න විසඳී යනු ඇති. 

දෙස්, විදෙස් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම්  තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<