කමිඳුගේ වාර්තාවත් සමඟ ශ්‍රී ලංකාව ප්‍රබල මට්ටමකට

New Zealand Tour Of Sri Lanka 2024

93
New Zealand Tour Of Sri Lanka 2024

නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය නිමා වන විට සිය පළමු ඉනිම දියත් කරමින් සිටි නවසීලන්තය කඩුලු 2ක් දැවී ලකුණු 22ක් ලබා සිටියා.

තරගය පළමු දිනයට නතර කරන විට ශ්‍රී ලංකාව කඩුලු 3ක් දැවී ලකුණු 306ක් ලබා ගැනීමට සමත් වී සිටියා. මෙහි දී නොදැවී කඩුල්ලේ රැඳී සිටි ඇන්ජලෝ මැතිව්ස් සහ කමිඳු මෙන්ඩිස් ඊයේ (27) දිනය තුළ ද සාර්ථක ලෙස පිතිකරණයේ ‍යෙදීමට සමත් වුනා.

මෙහි දී මැතිව්ස් සහ කමිඳු අතර සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 107ක් එක් වූ අතර, ඇන්ජලෝ මැතිව්ස් පන්දු 185ක් තුළ ලකුණු 88ක් ලබා ගැනීමට සමත් වුනා. මැතිව්ස් කඩුල්ලෙන් ඉවත් වීමත් සමඟම නායක ධනංජය ද සිල්වා කමිඳු සමඟින් පිටියේ එක් වුනා.

ඔවුන් දෙදෙනා විසින් පස් වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 74ක් එක් කිරීමට සමත් වූ අතර, මෙහි දී ධනංජය විසින් පන්දු 80ක් වැය කරමින් ලකුණු 44ක් ලබා ගැනීමට සමත් වුනා.

ධනංජය පිටියෙන් ඉවත් වීමෙන් පසුව කුසල් මෙන්ඩිස් කමිඳු සමඟින් කඩුල්ලේ එක් වුනා. ඔවුන් දෙදෙනා විසින් නොදැවී පිතිකරණයේ යෙදෙමින් හය වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 200ක සබඳතාවක් පැවැත්වීමට සමත් වූ අතර, මෙහි දී කුසල් මෙන්ඩිස් පන්දු 149කින් ලකුණු 106ක් ලබා ගැනීමට සමත් වුනා. කුසල්ගේ ඉනිම හතරේ පහර 6කින් සහ හයේ පහර 3කින් වර්ණවත් වුනා.

මේ අතර ඉතා සාර්ථක තරග රටාවක නිරත වෙමින් තම පස් වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් වූ කමිඳු මෙන්ඩිස් ශ්‍රී ලංකා පළමු ඉනිම අත් හිටුවීමට තීරණය කරනා විට පන්දු 250ක් වැය කරමින් ලකුණු 182ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඔහුගේ ඉනිම හතරේ පහර 16කින් සහ හයේ පහර 4කින් වර්ණවත් වුනා.

එමෙන්ම මෙම ඉනිම තුළ ඔහු විසින් තම ටෙස්ට් ලකුණු 1000 සීමාව ද තරණය කිරීමට සමත් වූ අතර, ඔහුට ඒ සඳහා වැය වුනේ ටෙස්ට් ඉනිම් 13ක් පමණක් වීම විශේෂත්වයක්. මෙහි දී ඔහු ටෙස්ට් ලකුණු 1000 සීමාවට ළඟා වූ වේගවත් ම ශ්‍රී ලාංකිකයා බවට මෙන්ම, ලොව දෙවැනියට (සම) වේගයෙන් ම ටෙස්ට් ලකුණු 1000 සීමාවට ළඟා වූ ක්‍රීඩකයා ලෙස ද වාර්තා අතර නම ලියා තැබීමට සමත් වීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා පළමු ඉනිම කඩුලු 5කට ලකුණු 602ක් ලෙස සටහන් වූ පසු නතර කිරීමට නායක ධනංජය තීරණය කළ අතර, ඉන් පසුව සිය පළමු ඉනිම ආරම්භ කළ නවසීලන්ත ඉනිමේ කඩුලු දෙකක් ඊයේ දිනය තුළ ම බිඳ දැමීමට ද ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා. මෙහි දී නවසීලන්තයේ දැවී ගිය කඩුලු ද්විත්වය අසිත ප්‍රනාන්දු සහ ප්‍රභාත් ජයසූරිය අතරේ බෙදී ගියා.

නවසීලන්තය මේ වන විට ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 580ක් පිටුපසින් පසුවනවා.

තරගයේ තෙවැනි දිනය අද (29) ක්‍රියාත්මක වීමට නියමිතයි.

තරගාවලියේ සියලු උණුසුම්  තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<