ශ්‍රී ලංකාව නැවතත් ඔස්ට්‍රේලියාවට පරාජය වෙයි

108
Women's Under-19 Tri-Nation in Australia 2024

ශ්‍රී ලංකාව, නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව සහභාගී වන වයස අවුරුදු 19න් පහළ කාන්තා තුන් කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (25) අවසන් වූ අතර එම තරගයේ දී ශ්‍රී ලංකාවට එරෙහි ව ලකුණු 4ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියාව සමත් වුනා.

Queensland හී, Bill Pippen Oval ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියා ක්‍රීඩිකාවෝ කඩුලු 6ක් දැවී ලකුණු 116ක් ලබා ගත් අතර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ලබා ගැනීමට හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 112ක් පමණයි.

අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සුපුරුදු කණ්ඩාය ම එක් කර තිබුණ ද ඔස්ට්‍රේලියා කණ්ඩායම වෙනස්කම් 3ක් සිදු කර තිබුණා. ඒ අනුව පෙර තරගයට ක්‍රීඩා කළ Lucy Hamilton, Eleanor Larosa, සහ Maggie Clark ඉවත් කර තිබුණා. ඒ වෙනුවටකඩුලු රකින්නිය ලෙසින් කටයුතු කළ Hayley Zauch, Caoimhe Bray සහ Lily Bassingthwaighte කැඳවා තිබුණා.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම

මනුදි නානායක්කාර (නායිකාව), සංජනා කාවින්දි, හිරුණි හංසිකා, විමෝක්ෂා බාලසූරිය, සුමුදු නිසංසලා (කඩුලු රකින්නිය), දැහැමි සනෙත්මා, රශ්මිකා සෙව්වන්දි, රශ්මි නේත්‍රාංජලී, ප්‍රමුදි මෙත්සරා, චමෝදි ප්‍රබෝධා සහ අශේනි තලගුණේ.

ඔස්ට්‍රේලියා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම

Hasrat Gill (නායිකා), Hayley Zauch (කඩුලු රකින්නිය), Ines Mckeon, Caoimhe Bray, Elizabeth Worthley, Ella Briscoe, Lucy Finn, Samara Dulvin, Amy Hunter, Lily Bassingthwaighte, Juliette Morton.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඔස්ට්‍රේලියා ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් පිතිකාරිනිය වූයේ Samara Dulvin. ඇය පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 45ක් ලබා ගත්තා.

ඊට අමතර ව කණ්ඩායමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ ආරම්භක පිතිකාරිනී Ines Mckeon. ඇය පන්දු 20ක දී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 22ක් ලබා ගන්නවා. පසු පෙළින් පිටියට පිවිසි Lucy Finn ද පන්දු 20ක දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 16ක් ලබා ගත් අතර අනෙක් කිසිදු පිතිකාරිනියකට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවක් කරා පැමිණීමට හැකි වූයේ නැහැ.

කඩුලු දවා ගැනීමේ දී හිරුණි හංසිකා ලකුණු 22කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව ප්‍රමුදි මෙත්සර, රශ්මිකා සෙව්වන්දි, රශ්මි නේත්‍රාංජලී සහ අශේනි තලගුණේ කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ පළමු කඩුල්ල එක් ලකුණක් ව තිබිය දී දැවී ගිය ද අනතුරු ව කඩුල්ලේ දී ලකුණු 68ක සබඳතාවක් එක් කිරීමට සංජනා කාවින්දි සහ විමෝක්ෂා බාලසූරිය සමත් වූවා.

ඒ අතුරින් පළමුවෙන් ම විමෝක්ෂා බාලසූරිය තම ඉනිම හැර යනවා. ඒ වෙද්දී ඇය පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 40ක් ලබා සිටියා.

අනතුරු ව සංජනා කාවින්දි ද දැවී යනවා. ඇය දැවී යද්දී පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 29ක් ලබා ගත්තා. මැද පෙළින් පිටියට පිවිසි මනුදි නානායක්කාර ද පන්දු 13කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 14ක් ලබා ගත්තා.

ඔවුන් ට අමතර ව ශ්‍රී ලංකා කණ්ඩායමේ අනෙක් කිසිදු ක්‍රීඩිකාවකට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවකට පැමිණීමට හැකි වූයේ නැහැ. ඒ අතර අවසන් පන්දු වාරයේ දී පන්දුවක් හැර පන්දුවක දී ක්‍රීඩිකාවෝ තිදෙනෙක් ම පිටිය හැර ගියා.

ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම අවසන් වෙද්දී පන්දු යැවීමේ දී Amy Hunter සහ Hasrat Gill කඩුලු 2ක් බැගින් දවා ගනිද්දී Lily Bassingthwaighte, Caoimhe Bray, Ella Briscoe සහ Juliette Morton කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

ඔස්ට්‍රේලියා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම – කඩුලු 6ක් දැවී 116 (20.0) Ines Mckeon 22, Samara Dulvin 45, Lucy Finn 16, හිරුණි හංසිකා 2/22

 

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම – සියලුම දෙනා දැවී 112 (20.0) සංජනා කාවින්දි 29, විමෝක්ෂා බාලසූරිය 40, මනුදි නානායක්කාර 14, Amy Hunter 2/09, Hasrat Gill 2/17

 

ඔස්ට්‍රේලියා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායමට ලකුණු 4ක ජයක්.

ඒ අනුව ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ දී මෙතෙක් තරග 3කට සහභාගී වී ඇති අතර එම තරග අතුරින් ඔස්ට්‍රේලියාව සමඟ සහභාගී වූ තරග ද්විත්වය ම පරාජයට පත් වූ අතර නවසීලන්තය හා සමඟ තරගය ජය්‍රහණය කිරීමට සමත් වෙනවා.

මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය මේ මස 26 වැනිදා හෙට Queensland හී, Bill Pippen Oval ක්‍රීඩාංගණයේ දී නවසීලන්තය සමඟින් පැවැත්වීමට නියමිතයි.

වයස අවුරුදු 19න් පහළ තුන් කොන් විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<