Duplantis ලෝක වාර්තාව එපා කියමින් 2024 Diamond League අවසන් වෙයි!

2024 Diamond League - Brussels

8
2024 Diamond League - Brussels

2024 Diamond League මලල ක්‍රීඩා ශූරතාවලියේ අවසන් අදියර බෙල්ජියම් Brussels හිදි ඊයේ (14) නිමාවට පත් වුනා.

2024 වර්ෂය පුරාවට ලොව පුරා විවිධ රටවල් ආවරණය කරමින් පැවැත්වුණු මෙම මලල ක්‍රීඩා ලීග් තරගමාලාවේ අවසන් අදියර දින දෙකක් (13 සහ 14) පුරාවට ක්‍රියාත්මක වූ අතර, මේත් සමඟින් ම 2024 වසරට අදාළ ව පැවැත්වෙන මලල ක්‍රීඩා ඉසව්වල අවසානය ද කෙමෙන් කෙමෙන් ආරම්භ වන බව ඉඟි කළා.

ගෙවුණු දින දෙක තුළ දී ලෝක මට්ටමේ විශිෂ්ට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් දැක්වූ දක්ෂතා සැකෙවින් මෙසේයි;

Duplantis ලෝක වාර්තාව අත් හරී

පිරිමි රිටි පැනීමේ ඉසව්වේ ලෝක වාර්තාවට හිමි කම් කියන මෙන්ම, වත්මන් ඔලිම්පික් ශූරයා ද වන ස්වීඩනයේ Mondo Duplantis මෙවර උත්සාහයන් තුනක් පමණක් උපයෝගී කර ගනිමින් මීටර් 6.11ක උසක් තරණය කිරීමට සමත් වුනා. ඔහු ඒත් සමඟම නව තරග වාර්තාවක් ද පිහිටුවීමට සමත් වූ නමුත්, එතැනින් එහාට නැවතත් ඉසව්වේ ලෝක වාර්තාව අලුත් කිරීමක් වෙනුවෙන් ඔහු උත්සාහ ගත්තේ නැහැ. අධික කාර්ය බහුල ක්‍රීඩා රටාව මඟින් තමන් වෙහෙසට පත් වී ඇති බවයි ඔහු පසුව සඳහන් කළේ.

Kenny Bednarek අවසානයේ සාර්ථකයි

2024 තරගවාරය පුරාවටම පිරිමි මීටර් 200 ඉසව්වෙන් පිළිගත හැකි මට්ටමේ ජයග්‍රහණයක් සොයමින් සිටි ඇමරිකාවේ Kenny Bednarek විසින් වත්මන් ඔලිම්පික් ශූර බොස්ට්වානා ජාතික Letsile Tebogo පරාජය කිරීමට සමත් වුනා.

මේ අතර තවත් ඔලිම්පික් ශූරයකු වන මොරොක්කෝවේ Soufiane El Bakkali 2021 වසරෙන් පසුව පිරිමි මීටර් 3000 බාධක දිවීම ඉසව්වකි පරාජය කිරීමට කෙන්යාවේ Amos Serem හට හැකියාව ලැබීම විශේෂත්වයක්.

Kipyegon තවමත් අපරාජිතයි

ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ටතම මීටර් 1500 ක්‍රීඩිකාව ලෙස සැලකුම් ලබන කෙන්යාවේ Faith Kipyegon විසින් මෙවරත් එම ඉසව්ව නව තරග වාර්තාවක් ද සමඟින් ඉතා පහසුවෙන් ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

මේ අතර පිරිමි මීටර් 1500 ඉසව්වට සහභාගී වූ නෝර්වේ දේශයේ Jakob Ingebrigtsen විසින් තමන්ට ඔලිම්පික් උළෙලේ දී අහිමි වූ ගෞරවය නැවතත් ළඟා කර ගැනීමට සමත් වුනේ වත්මන් ඔලිම්පික් ශූරයාව පරාජය කරමිනුයි.

ඔලිම්පික් සිහින බොඳ වූ අය නැවතත් දස්කම් අතරට

Jakob මෙන්ම තවත් ඔලිම්පික් රන් පදක්කම් ගිලිහී ගිය කිහිප දෙනෙකු ම මෙම අදියරේ දී නැවතත් සුපුරුදු දක්ෂතා අතරට ළඟා වීමට සමත් වුනා.

හිටපු ඔලිම්පික් උස පැනීමේ ශූරයකු වන ඉතාලියේ Gianmarco Tamberi විසින් මීටර් 2.34ක උසක් තරණය කරමින් ඉසව්වේ ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත් වූ අතර, නෙදර්ලන්තයේ Femke Bol කාන්තා මීටර් 400 කඩුලු මතින් දිවීම ඉසව්ව ජයග්‍රහණය කිරීමට සමත් වුනා. කෙසේ වෙතත් වත්මන් ඔලිම්පික් ශූර Sydney McLaughlin-Levrone මෙම ඉසව්වට සහභාගී වුනේ නැහැ.

මේ අතර බ්‍රසීලයේ Alison Dos Santos තත්පර 47.93ක කාලයක් වාර්තා කරමින් පිරිමි මීටර් 400 කඩුලු පැන දිවීම ඉසව්ව ජයග්‍රහණය කිරීමට සමත් වුනා. මේ අතර කාන්තා මීටර් 100 කඩුලු පැන දිවීමේ ඉසව්වේ 2021 ඔලිම්පික් ශූරිය වූ Jasmine Camacho-Quinn තත්පර 12.38ක කාලයක් වාර්තා කරමින් ඉසව්ව ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

ලෝක ශූර Sha’Carri නැවතත් පසු බසී

කාන්තා මීටර් 100 ඉසව්ව ජයග්‍රහණය කිරීමට Julien Alfred විසින් සමත් වූ අතර, මෙහි දී ඉසව්වේ වත්මන් ලෝක ශූරිය වන ඇමරිකාවේ Sha’Carri Richardson විශාල පසු බෑමට ලක් වීම විශේෂ අවධානයක් දිනාගත්තා.

මේ අතර පිරිමි මීටර් 100 ඉසව්ව ජයග්‍රහණය කිරීමට ජැමෙයිකාවේ Ackeem Blake විසින් සමත් වුනේ තත්පර 9.93කින් තරගය නිම කරමිනුයි.

කාන්තා උස පැනීම එලෙසමයි

නිමා වූ ඔලිම්පික් උළෙලේ දී කාන්තා උස පැනීම ඉසව්වේ රන් පදක්කම දිනූ යුක්‍රේනයේ Yaroslava Mahuchikh මෙවරත් ඉසව්ව ජයග්‍රහණය කිරීමට සමත් වූ අතරේ, රිදී පදක්කම ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියාවේ Nicola Olyslagers දෙවැනි ස්ථානයට පත් වුනා.

මේ අතර කාන්තා රිටි පැනීම ඉසව්ව ජයග්‍රහණය කිරීමට වත්මන් ඔලිම්පික් ශූරිය වන ඕස්ට්‍රේලියාවේ Nina Kennedy විසින් සමත් වුනා. එමෙන්ම එහි දෙවැනි ස්ථානය ඇමරිකාවේ Sandi Morris සහ තෙවැනි ස්ථානය කැනඩාවේ Alysha Newman හට හිමි වුනා.

මේ අයුරින් 2024 Diamond League ශූරතාවලියේ අවසන් අදියර ඉතා සාර්ථක ඊයේ දිනයෙන් අවසන් වූ අතර, ඉදිරි වර්ෂාවසාන කාල සීමාව මෙම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තරමක විවේකයක් හිමි කර දෙනු ඇති.

දෙස් විදෙස් මලල ක්‍රීඩාවේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<