ඔෂද වීරයා වෙමින් තරගය ජය ගනී

Sri Lanka A tour of South Africa

5
Sri Lanka A tour of South Africa

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ දකුණු අප්‍රිකා A ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති පළමු සිවු දින නිල නොලත් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සංචාරක ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද (11) සමත් වුනා.

ඒ අනුව තරග 2කින් යුත් නිල නොලත් සිවු දින ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 1-0ක් ලෙසින් පෙරමුණ ගැනීමට ද ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූවා.

Kimberley හී Diamond Oval ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ සිවු වැනි සහ අවසන් දිනය වූ අද (11) දවස ආරම්භ වෙන්නේ ජයග්‍රහණය සොයා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට තවත් ලකුණු 140ක අවශ්‍යතාව සමඟිනුයි.

තරගයේ තෙවැනි දිනය අවසන් වන විට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දුවාර 9.5ක දී කඩුල්ලක් දැවී ලකුණු 34ක් ලබා සිටි අතර ඒ වෙද්දී ඔෂද ප්‍රනාන්දු පන්දු 27කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 6ක් ලබා සිටියා.

මේ ලකුණු හඹා යෑමේ දී අද දවසේ දී යැවුණ 10 වැනි පන්දුවේ දී නුවනිඳු ප්‍රනාන්දු කිසිදු ලකුණක් ලබා නොගෙන දැවී යනවා. ඒ වැටුණ අමාරුවෙන් පළමු ඉනිමේ දී සේ ම මෙම ඉනිමේ දී ද කණ්ඩායම ගොඩ ගැනීමට පෙරමුණ ගන්නේ ඔෂද ප්‍රනාන්දු සහ නායක පසිඳු සූරියබණ්ඩාරයි. ඔවුන් දෙදෙනා එක් ව 3 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 46ක සබඳතාවක් ගොඩ නගනවා.

පසිඳු සූරියබණ්ඩාර පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 22ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා. අනතුරු ව ඔෂඳ ප්‍රනාන්දු සහ ජනිත් ලියනගේ එක් ව සිවු වැනි කඩුල්ලට ලකුණු 66ක සබඳතාවක් එක් කරමින් තරගයේ ජයග්‍රහණය ආසන්නයට තම කණ්ඩායම ගෙන යනවා.

නමුත් ලකුණු පුවරුව 148ක් වෙද්දී ඔෂද ප්‍රනාන්දු ගේ ඉනිම ද අවසන් වෙනවා. ඒ වෙද්දී ඔහු පන්දු 122කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සමඟින් ලකුණු 80ක් ලබා සිටියා.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව තරගය ජයග්‍රහණයෙන් අවසන් වෙද්දී ජනිත් ලියනගේ පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 23ක් ද සහ සොනාල් දිනූෂ පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 14ක් ද ලබා සිටියා. ඔවුන් දෙදෙනා විසින් 5 වැනි කඩුල්ල වෙනුවෙන් නොදැවුණ ලකුණු 26ක සබඳතාවක් එක් කළා.

කඩුලු දවා ගැනීමේ දී Codi Yusuf ලකුණු 29කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව Prenelan Subrayen සහ Migael Pretorius කඩුල්ලක් බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

දකුණු අප්‍රිකා A කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 372 (108.2) Tshepang Dithole 52, Neil Brand 39, Matthew Breetzke 129, Marques Ackerman 69, Patrick Kruger 20, Rivaldo Moonsamy 34, චාමික ගුණසේකර 2/71, ඉසිත විජේසුන්දර 2/59, එශාන් මාලිංග 4/65, නිශාන් පීරිස් 2/98

ශ්‍රී ලංකා A කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 323 (91.5) ඔෂද ප්‍රනාන්දු 122, පසිඳු සූරියබණ්ඩාර 61, සොනාල් දිනූෂ 36, විශාද් රන්දික 35, Beyers Swanepoel 4/52, Prenelan Subrayen 2/63

දකුණු අප්‍රිකා A කණ්ඩායම – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 124 (31.0) Marques Ackerman 27, Beyers Swanepoel නොදැවී 38, ඉසිත විජේසුන්දර 7/34, එශාන් මාලිංග 2/28

ශ්‍රී ලංකා A කණ්ඩායම – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 34 (9.5) ඔෂද ප්‍රනාන්දු 80, ලහිරු උදාර 26, පසිඳු සූරියබණ්ඩාර 22, ජනිත් ලියනගේ නොදැවී 23, සොනාල් දිනූෂ නොදැවී 14, Codi Yusuf 2/29

තරගයේ වීරයා – ඔෂද ප්‍රනාන්දු (ශ්‍රී ලංකාව)

දෙරට අතර පැවැත්වෙන් 2 වැනි සහ අවසන් නිල නොලත් ටෙස්ට් ක්‍රිකට් තරගය මේ මස 15 වැනිදා Benoni හි Willowmoore Park ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා A කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරයේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<