පරාජිත තරගාවලියක උණුසුම

Sri Lanka tour of England

7
Sri Lanka tour of England

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය පසුගියදා නිමා වූයේ තරග 2-1ක පරාජයකට ශ්‍රී ලංකාව මුහුණ දෙමිනුයි.

මේ පරාජයේ අවමානය යම් තරමකට දුරස් කර ගැනීමට අවසන් තරගය සේ ම පෙර තරගවල යම් යම් දක්ෂතා ඉවහල් වූවා. විශේෂයෙන් ම පළමු තරගයේ දී මිලාන් රත්නායක පෑ දක්ෂතාත් සහ 2 වැනි තරගයේ දී අසිත ප්‍රනාන්දු පෑ දක්ෂතාත් ඊට උදාහරණ ලෙසින් ගත හැකියි.

  ක්‍රීඩාංගණය තරගයේ ප්‍රතිඵලය තරගයේ වීරයා
1 Old Trafford එංගලන්තයට කඩුලු 5ක ජයක්. Jamie Smith
2 Lord’s එංගලන්තයට ලකුණු 190ක ජයක්. Gus Atkinson
3 The Oval ශ්‍රී ලංකාවට කඩුලු 8ක ජයක් පැතුම් නිස්සංක

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එංගලන්තය සමඟින් වන තරගාවලියකට එක් වෙන්නේ වසර 8කට පසුවයි. එය ඒ තරමින් පරණ වෙද්දී ශ්‍රී ලංකාව එංගලන්තයට එරෙහි ව ජයග්‍රහණයක් නොලබමින් නිමා කළ වසර 10ක ඉතිහාසයක් ද ඊට ඇතුලත් වුනා.

කෙසේ වෙතත් නිමා වූ පළමු තරග 2 ප්‍රතිඵලත් සමඟින් 3 වැනි තරගයේ ප්‍රතිඵලය ද එලෙස ම වේ යැයි බොහෝ දෙනෙක් ගේ මතය වූවා. අවසන් තරගයේ 2 වැනි දිනය අවසන් වෙද්දීත් එවැන්නක් ම සිදු වේ යැයි නොසිතීමේ හැකියාවක් ශ්‍රී ලංකාව වෙතින් ලැබුණේ නැහැ. නමුත් 3 වැනි දිනයේ දී ඒ සියලු දේ කණපිට හැරී ගියා.

දෙරට අතර පැවැති 3 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයට The Oval ක්‍රීඩාංගණය සත්කාරකත්වය දැක් වූ අතර එම ක්‍රීඩාංගණයේ දී දෙරට ක්‍රීඩකයෝ ටෙස්ට් තරගයකට එක් වූයේ 1998 වසරට පසුවයි. එදා අර්ජුන රණතුංග ගේ නායකත්වයෙන් යුත් එම තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 10ක විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර ගත් අතර මෙදා ධනංජය ද සිල්වා ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 8ක ජයග්‍රහණයක් ලබා ගන්නවා.

එම ජයග්‍රහණයත් සමඟින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ වසර 10කින් එංගලන්ත කණ්ඩායමක් හමුවේ නොලැබූ ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වෙනවා. එමෙන් ම 2020 වසරේ දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි ව සිම්බාබ්වේ දී ලැබූ ජයග්‍රහණයෙන් පසුව ආසියාවෙන් පිටත කලාපයක කළ සංචාරක දී වසර 4කින් නොලද ටෙස්ට් තරග ජයග්‍රහණයක් ද ඔවුන් මෙම තරග ජයග්‍රහණයත් සමඟින් ලබා ගන්නවා.

එදා The Oval ක්‍රීඩාංගනයේ දී ද්විත්ව ශතකයක් (213) ලබා ගත් සනත් ජයසූරිය මෙදා ශ්‍රී ලංකා කණ්ඩායම හා පුහුණුකරු ලෙසින් එක් ව සිටීම ද විශේෂත්වයක්.

මිලාන් රත්නායක

2024 අගෝස්තු 21 වැනිදා එංගලන්තයට එරෙහිව ම ටෙස්ට් ක්‍රිකට් වරම් හිමි කර ගත් 28 හැවිරිදි වියේ පසුවෙන මිලාන් රත්නායක ශ්‍රී ලංකා කණ්ඩායම හා එක් වෙන්නේ වේග පන්දු යවන්නෙක් ලෙසින් වර්ගීකරණය වෙමිනුයි.

එලෙස කණ්ඩායමට එක් වූ මිලාන් රත්නායක අංක 9 පිතිකරු ලෙසින් පිටියට පිවිස තම ඉනිම අවසන් කරන්නේ ටෙස්ට් තරග ඉතිහාසයේ අංක 9න් පිටියට පිවිස කෝඩුකාර පිතිකරුවෙක් විසින් වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවේ හිමිකාරීත්වය ද ලබා ගනිමිනුයි.

ශ්‍රී ලංකා පළමු ඉනිමේ කඩුලු 7ක් ලකුණු 113කට දැවී ගොස් තිබිය දී පිටියට පිවිසි මිලාන් රත්නායක තමන් මුහුණ දුන් 96 වැනි පන්දුවේ දී හයේ පහරක් එල්ල කරමින් සිය මංගල ටෙස්ට් අර්ධ ශතකය තම කෝඩුකාර ඉනිමේ දී වාර්තා කළ අතර ඔහු දැවී යන විට පන්දු 135කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 72ක් ලබා සිටියා.

මිලාන් රත්නායකගේ එම ඉනිම ලෝක ටෙස්ට් ක්‍රිකට් තරග ඉතිහාසයේ අංක 9යෙන් පිටියට පිවිසි, කෝඩුකාර ඉනිමක දී ලැබූ ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට පත් වෙන්නේ එවකට 28 හැවිරිදි වියේ පසු වූ ඉන්දියාවේ Balwinder Sandhu මීට වසර 41කට ඉහත දී එනම් 1983 වසරේ දී පාකිස්තානයට එරෙහි ව Hyderabad හි දී පැවැති තරගයේ දී ලකුණු 71ක් ලබා ගනිමින් වසර 41ක් පුරාවට ම හිමිකම් කී වාර්තාව අභිබවා යමිනුයි.

පන්දු යවන්නෙක් ලෙසින් මෙම සංචාරයට එක් වූ මිලාන් රත්නායක කඩුලු 10ක් ලබා ගන්නා ලද අතර පිතිකරුවෙක් ලෙසින් ද ඉනිම 5ක දී ලකුණු 151ක් ලබා ගැනීමට සමත් වෙනවා. එහි සාමාන්‍ය ලෙසින් 30.20ක අගයක් රඳවා ගැනීමට ඔහු සමත් විම කැපී පෙණෙනවා.

අසිත ප්‍රනාන්දු

නිමා වූ එංගලන්ත – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේ වැඩිම කඩුලුලාභියා ලෙසින් එම ලැයිස්තුවේ පෙරමුණ ගැනීමට දකුණතින් මඳ වේග පන්දු යැවූ අසිත ප්‍රනාන්දු සමත් වීම කැපී පෙණෙනවා. ඔහු තරග 3ක ඉනිම 6 දී කඩුලු 17ක් ලබා ගන්නේ Lord’s ක්‍රීඩාංගණයේ දී ලබා ගන්නා ලද වාර්තා ගත කඩුලු 5 ද සමඟිනුයි.

Lord’s ක්‍රීඩාංගණයේ දී පැවැති 2 වැනි ටෙස්ට් තරගයේ එංගලන්ත පළමු ඉනිමේ දී අසිත ප්‍රනාන්දු ලකුණු 102කට කඩුලු 5ක් දවා ගන්නා ලද අතර එය එම ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් කඩුලු 5ක් දවා ගත් 2 වැනි අවස්ථාව ලෙසයි සටහන් වූයේ.

එය ඉතිහාස පොත්වලට එක් වෙන්නේ Lord’s ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලාංකිකයෙක් මෙවන් දක්ෂතාවක් සිදුකර වසර 33කට පසුවයි.

එහි පළමු වැන්නා වූයේ දකුණතින් මඳ වේග පන්දු යැවූ රුමේෂ් රත්නායක යි. ඔහු 1991 වසරේ දී එංගලන්ත පළමු ඉනිමේ දී ලකුණු 69කට කඩුලු 5ක් දවා ගනිමින් මෙම දක්ෂතාව සිදු කර තිබුණා.

අසිත ප්‍රනාන්දු එම ඉනිමේ දී පෑ මෙම දක්ෂතාව ඔහුගේ ටෙස්ට් පන්දු දිවියේ කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් දවා ගත් 2 වැනි අවස්ථාව බවට පත් වුනා. ඔහු ඊට පෙර මෙම දක්ෂතාව සිදු කර තිබුණේ 2022 වසරේ දී බංග්ලාදේශයට එරෙහි ව Mirpur හි දී ලකුණු 51කට කඩුලු 6ක් දවා ගනිමිනුයි. එය ඔහුගේ මෙතෙක් ටෙස්ට් තරග දිවියේ හොඳම පන්දු යැවීම බවට ද පත් වූවා.

Lord’s ක්‍රීඩාංගණයේ දී කඩුලු 5ක් දවා ගත් ලොව 193 වැනි ක්‍රීඩකයා ලෙසයි අසිත ප්‍රනාන්දු ගේ නම එහි වාර්තා පොත් අතරට එක් වූයේ.

කමිඳු මෙන්ඩිස්

ඔවුන් දෙදෙනාට අමතර ව ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් කැපී පෙණෙන ක්‍රීඩකයෙක් බවට පත් වීමට කමිඳු මෙන්ඩිස් සමත් වුනා. ඔහු නිමා වූ මෙම තරගාවලියේ දී ශතකයක් සහ අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු  267ක් ලබා ගන්නවා.

එහි සාමාන්‍ය 53.40ක් වන අතර එය ශ්‍රී ලංකාව වෙනුවෙන් පිතිකරුවෙක් වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වූවා.

කමිඳු මෙන්ඩිස් මෙම තරගාවලියේ 1 වැනි ටෙස්ට් තරගයේ 2 වැනි ඉනිමේ දී පන්දු 183කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 113ක් ලබා ගන්නවා. එය Old Trafford ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකා පිතිකරුවෙක් වාර්තා කරන ලද 2 වැනි ශතකයයි. ඊට පෙර එම ක්‍රීඩාංගණයේ දී ශතකයක් වාර්තා කර තිබුනේ 2002 වසරේ දී රසල් ආනල්ඩ් විසින්. ඔහු එම තරගයේ දී පන්දු 236කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සමඟින් ලකුණු 109ක් ලබා ගන්නවා.

කමිඳු මෙන්ඩිස් නිමා වූ ටෙස්ට් තරග 3ත් සමඟින් මෙතෙක් ක්‍රීඩා කර ඇත්තේ ටෙස්ට් තරග 6කට පමණක් වන අතර එහි දී ඔහු ශතක 3ක් සහ අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 695ක් ලබා සිටිනවා. එහි සාමාන්‍ය ලෙසින් දැක් වෙන්නේ 77.22ක් වැනි ඉහළ අගයක්.

ඔස්ට්‍රේලියාව සමඟින් වන පළමු ටෙස්ට් තරගයේ දී අර්ධ ශතක ඉනිමක් ක්‍රීඩා කළ කමිඳුට නැවත ටෙස්ට් තරගයකට එක් වීමට අවස්ථාව හිමි වෙන්නේ 2024 වසරේ මාර්තුවේ දී යි. බංග්ලාදේශය සමඟ වන එම තරගයේ දී කමිඳු ඉනිම 2 දී ම ශතක ලබා ගනිමින් දක්ෂතා දක්වනවා. අනතුරුවයි ඔහුගේ මෙම තරග සංචාරය.

මෙම තරග සංචාරයේ පෑ දක්ෂතාත් සමඟින් මේ වන විට කමිඳු මේ වසරේ දී වැඩිම ටෙස්ට් ලකුණු ලබා ගත් පිතිකරුවන් අතුරින් 5 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙනවා. ඔහු මේ වසරේ මෙතෙක් වාර්තා කර ඇති ලකුණු සංඛ්‍යාව 634ක් වන අතර එහි සාමාන්‍ය 79.25ක් සේ රඳවා ගැනීමට ද ඔහු සමත් ව සිටිනවා.

පැතුම් නිස්සංක

මෙම තරග සංචාරයේ තරග 2ක දී පමණක් කැඳවීම් ලබන පැතුම් නිස්සංක දෙරට අතර පැවැති අවසන් ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී ලකුණු 64ක් ලබා ගන්නා ඔහු දෙවැනි ඉනිමේ දී පන්දු 124කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 127ක් ලබා ගන්නවා.

එමෙන් ම එම තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීමට ද පැතුම් නිස්සංක සමත් වෙනවා. එය මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව ලත් එක ම තරගයේ වීරයා සම්මානයයි.

ඔහුගේ මෙම තරගයේ දක්ෂතාත් සමඟින් තරග 2ක ක ඉනිම් 4ක දී ලකුණු 217ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලබා ගත් පිතිකරුවන් අතුරින් 2 වැනි ස්ථානයට පත් වීමට ද සමත් වෙනවා.

පැතුම් නිස්සංක දෙවැනි ඉනිමේ දී නොදැවී වාර්තා කරන ලද ලකුණු 127 ඔහුගේ 11ක් වන ටෙස්ට් තරග ඉතිහාසයේ හොඳම ඉනිම බවට ද පත් වුනා. ඊට පෙර ඔහුගේ හොඳම ඉනිම බවට පත් ව තිබුණේ 2021 වසරේ දී බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලට එරෙහි ව ලබා ගන්නා ලද ලකුණු 103යි.

ධනංජය ද සිල්වා

පිතිකරුවෙක් ලෙසින් මෙම තරග සංචාරයේ දී නායක ධනංජය ද සිල්වා ද දැක් වූ දක්ෂතා සැලකිය යුතු මට්ටමේ වූවා. ඔහු තරග 3ක ඉනිම් 5ක දී අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 204ක් ලබා ගන්නවා. එය ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවන් අතුරින් 3 වැනි තැනට පත් දක්ෂතාවයි.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<